රබර් කර්මාන්ත ශාලාවේ රසායනික ටැංකියට වැටී 5ක් මියයෑම : කම්කරු අමාත්‍යංශ ලේකම් දින 7ක් තුළ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් : විනාශය ගැන ගම කිව්වේ කුමක්ද ?

Share post:

හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයකු වූ කම්කරු අමාත්‍යංශයේ වර්තමාන ලේකම් ආර්.පී.ඒ.  විමලවීර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය වරෙන්තු නිකුත් කර තිබේ.

පෙරේදා (24) නිකුත් කරන ලද එම වරෙන්තුව පොලිස්පතිවරයා මගින් දින 7ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියකට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මීට වසර 05කට පෙර ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකට අදාළ ව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරුවරයෙකුට බලපෑම් කළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.

එම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු එසේ ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ ව එවකට එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරීන් පිරිසකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව මගින් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත. එම නඩුවට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍රට හිටපු කම්කරු කොමසාරිස්වරයා මෙන් ම හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ද බලපෑම් කර ඇති බවට කරුණු හෙළි වී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තම කාර්යාලයට පැමිණෙන ලෙස කම්කරු අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයා වන විමලවීරට අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කළ නමුත් ඔහු තම කාර්යාලයට නොපැමිණි නිසා ඔහුගේ කාර්යාලයට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බව ද එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධියේ සාක්ෂිකාර රුක්මන් කුමාර හේමචන්ද්‍රට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම නිසා ඔහු ව එසේ පීඩනයට ලක් කර ඇති බවට කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණුවලින් තමන්ට පෙනී යන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත.

හොරණ – බැල්ලපිටිය ජනතාව එදා කී දේ !

2018 අප්‍රේල් 19 දින පස්දෙනකුට ජීවිත අහිමි කළ අනාරක්ෂිත ඇමෝනියා ටැංකියක් සහිත අවිධිමත් අයුරින් පවත්වාගෙන ගිය රබර් කර්මාන්ත ශාලාව හේතුවෙන් මියගිය අය අතර දෙදෙනෙකු වන ආරියපාල සහ රසික කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වූහ. සිද්ධියෙන් මියගිය සෙසු තිදෙනා කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවෝ වෙති.

ටික දවසකින් මිනිස්සුන්ට අමතක වෙයි – මියගිය කසුන්ගේ මව

මෙහිදී මියගිය දිලිප් කසුන් ලොකුපතිරගේගේ (අවු. 33) මෑණියන් වන දමයන්ති සිදුවීමෙන් පසු මාධ්‍යයට මෙසේ කීවාය.

‘මම මේ කතා කරන්නේ මගේ පුතා වෙනුවෙන් විතරක් නෙමෙයි. අහිංසක දරුවෝ හැමෝම වෙනුවෙන්. අපට දේශපාලනය අවශ්‍ය වැඩක් නෙමෙයි. මනුස්සකමයි තියෙන්න ඕනෑ. මේ තරම් විනාශයක් සිද්ධවෙලා තියෙනවා. කවුද ඔය නරක වැඩවලට උදව් කරන්නේ? කවුද මේකට අවසර බලපත්‍ර දුන්නේ? මට මගේ පුතා රත්තරන් පුතෙක්. එයා එයාගේ වයසට තනිවමයි දියුණු වුණේ. අමාරුවෙන් මහන්සි වෙලා හරිහම්බ කළේ. ණයවෙලා තියෙනවා. තරුණ බිරිඳ සහ අවුරුදු තුනක දරුපැටියා දැන් බලාගන්නේ කවුද?

මේ සිද්ධිය ටික දවසකින් රටේ මිනිස්සුන්ට අමතක වෙයි. ඒත් මැරුණු මිනිස්සුන්ගේ ගෑනු, දරුවො, පවුලේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? පුංචි පුතාට කනත්තෙදි තාත්තට වඳින්න කීවම බෑ එතැන ඉන්නෙ තාත්තා නෙමෙයි, වෙන කෙනෙක් කියලා වැන්දේ නෑ. දරුවා කැමති නෑ තාත්තා මැරුණා කියලා පිළිගන්න. ඒ අයගේ හිත හදන්නවත් අපිට පුළුවන්ද? මේ වගේ අනාරක්ෂිත ආයතන තව රටේ ඇති. සේරම තහනම් කරවන්න ඕනෑ. ඒකට මුලින්ම මේ ආයතනය වහලා කටයුතු කරන්න ඕනෑ.

මේ ආයතනය නිසා ගමේ කුඹුරු ටික ඉවරයි. ගලන දොළ පාර විනාශ වෙලා. නාන්න සෝදන්න තිබුණු දොළ පාර ගන්න දෙයක් නෑ. මිනිස්සු මීට කලින් ඔය ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළා. අවට ගෙවල්වලට ගඳ එනවා. හුස්ම ගන්න අමාරුයි. දැන් නැතිවුණු මිනිස්සු නැතිවුණා. මේ අසරණ මිනිස්සුන්ට දරුවන්ට මොනවා හරි සුබසාධනයක් කරන්න වුවමනායි. අනුන්ගේ ජීවිත බේරන්න ගිය මේ දරුවෝ බෝධිසත්ත්වවරු.’

ලෙඩ්ඩු ගෙනියන්න වාහන දුන්නේවත් නෑ – මියගිය ලාල්ගේ බිරිඳ

මෙහිදී මියගිය තවත් අයෙකි, ලාල් පුෂ්පකුමාර. ඔහුගේ බිරිඳ චන්ද්‍රිකා මාධ්‍යයට එදවස මෙසේ කීවාය.

‘එදා අපි හොරණ ගිහින් බයිසිකලයෙන් එන ගමන් ගේට්ටුව ළඟ මිනිස්සු කෑගහලා උදව් ඉල්ලුවා. මහත්තයා බයිසිකලය අතෑරලා මට ඉන්න කියල දිව්වේ. මාත් පස්සෙන් ගියා. ගේට්ටුව ඇරලා තිබුණෙ. සිකුරිටිලා නෑ. මහත්තුරු කවුරුත් හිටියේ නෑ. මම ඇමෝනියා වළ ළඟට යද්දී මහත්තයයි තව දෙන්නකුයි වළට වැටිලා හිටියා. දෙන්නෙක් ගොඩට අරගෙන තිබුණා. කර්මාන්ත ශාලාවේ වාහන තිබුණා. ලෙඩ්ඩු ගෙනියන්න ඒ වාහන දුන්නේ නෑ. පිට වාහනවල තමයි ලෙඩ්ඩු අරන් ගියේ. සුවසැරිය ගිලන් රථය ආවා. ඒ වෙනකම් ආයතනයේ වාහනයක් දෙන්න එතැන පාලකයන් හිතුවේ නෑ. එයාල කපටිකමට නඩු කටයුතුවලින් ඉවත් වෙන්න තමයි එහෙම කරලා තියෙන්නේ.

ඒ වාහනවල අරන් ගියා නම් එයාල අහුවෙනවා. මේක නීතියෙන් තහනම් තැනක්. අනාරක්ෂිත ආයතනයක්. එතැන ටොන් ගාණක් ඇමෝනියා ඇති. සිද්ධිය වෙලාවෙ සුවසැරිය ගිලන් රථයේ ආපු නර්ස්ලා තුන්දෙනකුටත් විෂ වායුව වැදිලා සිහි නැතිවුණා. අල්ලපු වත්තේ ගාමන්ට් එකක් තියෙනවා. එතැන වැඩ කරපු ළමයි හතරකටත් සිහි නැතිවෙලා. විෂ වායුව ගම පුරා පැතිරෙනවා. මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි ගමක් වෙනවා මෙතැන. ළිඳක වතුර බොන්න බයයි. කුඹුරු ටික පුරන් වෙනවා. ගමේ මිනිස්සුන්ට වකුගඩු රෝග හැදිලා. සමහරුන්ට පිළිකා ඇතිවෙලා. ඔයට ගිහින් නාන්න බෑ. ඇඟ කසනවා. පළු දානවා. අක්‍රමවත් විදිහට අපද්‍රව්‍ය බැහැර කරනවා. වෙලේ සහ ඔයේ ගෙම්බෙක් මාළුවෙක් නෑ. වෙලේ වතුර බීපු හරක් හතර පස් දෙනෙක් මැරිලා තියෙනවා. කුඹුරු වැඩ කරන්න යන්න මිනිස්සු බයයි. දැන් යාය පුරන්වෙලා තියෙන්නේ.’

උඩින් ඔපේ යටින් හපේ – ප්‍රදේශවාසී කාන්තාවක්

මෙම රබර් කර්මාන්ත ශාලාව අසල ම පදිංචි කාන්තාවක අදහස් දැක්වූයේ මෙසේ ය.

‘මේ ෆැක්ටරිය නිසා ගමේ මිනිස්සුන්ට ළිඳේ වතුර ටික බය නැතුව බොන්න බෑ. පරීක්ෂා කළොත් වතුර බොන්න සුදුසු නෑ කියයි. මේ ආයතනය මිනිස්සු ගැන හිතන්නේ නෑ. හිතුමතේට වැඩ. අපද්‍රව්‍ය ඇළට හරවනවා. වැහි දවසට එකතු කරලා තියාගෙන අතාරිනවා. ගමේ පළාතම ගඳ ගස්සනවා. වෙලක, ඇළක මාළුවෙක් තියා ගෙම්බෙක්වත් නෑ. රෑට රෑට බවුසර්වලින් සමහර අපද්‍රව්‍ය ගෙනියනවා. කොහේ හලනවද දන්නෙ නෑ. දේශපාලන බලය අල්ලාගෙන මේක ගෙනියන්නේ. කලින් මිනිස්සු විරුද්ධ වෙලා උද්ඝෝෂණය කළා. එහෙම දෙයක් කළාම ආයතනය කරන්නේ ටික දවසකින් ආයතනයේ නම වෙනස් කරලා ඒ බිස්නස් එකම කරගෙන යන එක. උන් සල්ලි හොයනවා. ගම විනාශ කරනවා. ආයතනයේ හිමිකරුවන් අවිහිංසාවාදී සංගමය කියලා එකක් හදාගෙන වැදිබණ කියනවා. හැබැයි මෙහේ ඇවිත් ගමේ මිනිස්සු මරාගෙන ගම විනාශ කරනවා. උඩින් ඔපේ යටින් හපේ වගේ මේකෙ අයිතිකාරයෝ වැඩ කරන්නේ. මේ වගේ තව පළාත්වලත් ඔවුන්ගේ ආයතන තියෙනවලු.’

කළුතර මිනිස්සු බිව්වෙත් මේ වතුර – සිද්ධිය ඇසින් දුටු අයෙක්

අවුරුදු 29ක් වයසැති මහේෂ් ප්‍රභාත් යනු මෙම ඛේදවාචකය ඇසින් දුටු අයෙකි. මේ ඔහුගේ කතාව ය.

‘කට්ටියක් වළට වැටිලා කියපු නිසා මමත් දිව්වා. ඇමෝනියා කතාවක් කවුරුත් කිව්වේ නෑ. අන්තිමට මාත් ඉස්පිරිතාලෙ නැවතුණා. ඇස් ඉදිමුණා, රතුවුණා, ඔළුවේ කැක්කුම ආවා. ගිනි නිවන ඒකකයේ අය කීවා ඉක්මනට නාන්න කියලා. මම ඉක්මනට නාපු නිසා මට වැඩි අපහසුවක් වුණේ නෑ.

ඔය ආයතනය ගමට හිරිහැරයක්. එතැන පරිපාලනය අන්තිම අසුන්දරයි. අනාරක්ෂිතයි. අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම අවට ගම් සේරටම හිරිහැරයක්. විෂ වතුර කලවම් වෙලා තියෙද්දී වතුර බීලා හරක් කීපදෙනෙක් මැරුණා. ඔයේ මාළුවෙක් නෑ. මිනිහකුට නාන්න බෑ. වතුර ගෑවුණොත් කහනවා. පළු දානවා. පළාතෙ ගෙම්බෙක්වත් ඉතුරු වෙලා නෑ. අපි දැකලා තියෙනවා කෙමිකල් වතුර දාපු දවසට ඔයේ මාළුවෝ මැරිලා පාවෙනවා. උන්ගේ ඇස් පිපිරිලා උඩබැලි අතට හැරිලා තියෙනවා. මේ ෆැක්ටරිය ගමට විතරක් නෙමෙයි පළාතටම විනාශයක්. මේ අපද්‍රව්‍ය පිරුණු විෂ සහිත වතුර නාරගල ප්‍රදේශයෙන් කළු ගඟට වැටෙනවා. කළුතර මිනිස්සු බොන්නේ මේ ජරා වතුර. මේ ෆැක්ටරිය නිසා මහ ඔයේ කිලෝමීටර් හතරක පහක ප්‍රදේශයක් ගන්නම දෙයක් නෑ.’

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...