OICට තර්ජනය කළ විල්පත්තුව වනසන තාඹුගලට පොලිසියෙන් විශේෂ සැලකිලි : සාමාන්‍ය ජනතාවටත් මේ වරප්‍රසාද දෙනවද? – මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දැඩි දෝෂාරෝපණයක් !

Share post:

නීතිය ඉදිරියේ සාමාන්‍ය ජනතාවට නොමැති වරප්‍රසාද වෙනත් පුද්ගලයන්ට ලබාදීම බරපතළ කරුණක් බව නොච්චියාගම මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න අද (26) විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසර සංවේදී කලාපයේ අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස සංගීත සැණකෙළියක් පැවැත්වූ විරන්ජිත් තාඹුගල නම් ව්‍යාපාරිකයා විසින් රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අංක 03 සහකාර පොලිස් අධිකාරිවරයා අද අධිකරණයට කරුණු වාර්තා කළේය.

සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට කරුණු වාර්තා කොට පිටත්වනවාත් සමග ම නීතිඥවරියක මාර්ගයෙන් විරන්ජිත් තාඹුගල අධිකරණයට බාර විය.

මේ සම්බන්ධයෙන් පොලිසියට දැඩි ලෙස දෝෂාරෝපණය කළ මහේස්ත්‍රාත්වරයා, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වරදක් සම්බන්ධයෙන් වන චූදිතයකු මෙසේ පොලිසිය පිටුපසින් පැමිණ අධිකරණයට බාරවීම වැනි අවස්ථා සාමාන්‍ය ජනතාවට තිබේ දැයි ප්‍රශ්න කළේය.

විත්තිකාර විරන්ජිත් තාඹුගලට රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, නැවත රාජ්‍ය නිලධාරියෙකුට මෙසේ තර්ජනය කළහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව ද සඳහන් කළේය.

රාජාංගනය යාය 18 ප්‍රදේශයේ දින 20ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබානොදීම නිසා අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල විසින් සංගීත සැණකෙළි භූමියේදී තමන්ට බැණ තර්ජනය කර, රාජකාරියට බාධා කළ බව රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ විසින් පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහනක් තබා තිබිණි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අමිල සෙනෙවිරත්න විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී. දමින්දගේ සහ අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

විල්පත්තු පරිසර සංවේදී කලාපයේදී පසුගිය 10දා සිට විශාල ශබ්දවාහිනී පද්ධති හා විදුලි ආලෝක ධාරා යොදාගනිමින් දින 14ක් තිස්සේ අදාළ ප්‍රසංගය රාත්‍රිය පුරා පවත්වන ලදි. එම සංගීත සැණකෙළිය තවත් දින 06ක් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙසේ තාඹුගල විසින් ඔහුට තර්ජනය කර තිබිණි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප්‍රජාවට සංගීත සැණකෙළියේ ශබ්දය හා ආලෝක ධාරා දැඩි පීඩාකාරී තත්ත්වයක් බැවින් එම සැණකෙළිය පැවැත්වීම සඳහා ඉදිරියටත් අවසර ලබානොදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියෙන් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ පොලීසිය, සංගීත සැණකෙළියට ශබ්ද විකාශන භාවිතයට බලපත්‍ර ලබානොදීමට තීරණය කර තිබිණි.

ස්ථානාධිපතිවරයා විසින් තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇත්තේ ඒ මොහොතේ එම භූමියේ 5,000ක් පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් බත් දන්සැලක් පැවති නිසා එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ නම් මහජන සාමය කඩවීමට ඉඩ තිබූ බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...