මිනිසත්කමේ ආකෘතික නියෝජනය – ගුවර්නිකා

Share post:

පිකාසෝගේ කෘති අතර වඩාත්ම ප්‍රසිද්ධියක් ගත් කෘතියක් ලෙස ගුවර්නිකා චිත්‍රය නම් කළ හැකිය. දේශපාලන ප්‍රකාශනයක් වශයෙන් මෙය ඔහු දැක්වූ අතිමහත් ප්‍රතිචාරයක් විය. ස්පාඤ්ඤ සිවිල් යුද සමයේදී ගුවර්නිකා නගරයට ව්‍යසනකාරී ලෙස හෙලූ බෝම්බ ප්‍රහාරය හා ඇති වූ විනාශය අභිමුඛ කිරීම මෙම කෘතිය තුළින් ප්‍රතිනිර්මාණය කෙරේ.

සිවිල් වැසියන් ඉලක්ක කරගත් මෙම ප්‍රහාරයේ ඛේදවාචකය යුද විරෝධී මුහුණුවරක් ගත් ශෝකාලාපයක් මෙන්ම සාමය අයැද සිටීමක් ද වේ. එය යාවත්කාලීන මෙන්ම පුළුල් කතිකාවක් ලෙස එදාමෙදාතුර ගෝලීයව ගමන් කරමින් සිටී.

එම කලාකෘතිය පිළිබඳව විග්‍රහ කිරීමේ දී හැඟීම් ප්‍රකාශනය සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය මෙහි ඉහළම සළකුණකි. හුදෙකලා මිනිසුන්, යුක්තිය ඉල්ලා කෑ මොර දීම්, වැළපීම පමණක් නොව මළවුන් සමග ශෝකජනක ලෙස හඬාවැටෙන්නන් මෙන්ම අතිශය චංචල හැඟීම් මාලාවකින්ම ගහණ නිර්මාණයකි. මිනිසුන් පමණක් නොව ගවයන්, අශ්වයන් ද මෙහි ප්‍රකාශනයට රුකුලකි. දාරක ස්නේහනය කැටි කරගත් මවක මිය ගිය දරුවා ළයෙහි හොවාගෙන වැළපෙන රුවකි. මෙහි උත්පාද කරන මානසික ස්වභාවය සොදුරු දිග හැරුමක් නොවේ. බාහිර කාය ව්‍යවච්ජේද ලක්ෂණ අභිබවා අභ්‍යන්තර මනෝමූලික කාරණා රැසක් ප්‍රකාශයට පත් කිරීමට සමත් වී ඇත. කොලාජ් ක්‍රමය උපයුක්ත කරගනිමින් කරන ලද නිර්මාණයකි. කලු සුදු මූලිකව නිර්මාණය සඳහා ගෙනෙමින් මෙන්ම මෙහි ඝනිකවාදී ආකෘතිය උපයෝගී කරගනිමින් කරන ලද මෙම කෘතිය තාක්ෂණික කාරණා සමතික්‍රමණය කරමින් මිනිසත්කමේ ආකෘතිය නියෝජනය කරයි.

සොබාදහමෙන් මිනිස්සු කණ්ඩනය වූ පසු අපේ ජිවිත එක එක විදියට සංස්කරණය වෙමින් පවතී. එය සමහර විට ව්‍යාපෘතියකි. එහි දේශපාලන දිශානතියක් හැමතිස්සෙම ක්‍රියාත්මකයි. කිසිවිටෙකත් අහිංසක නොවන බල ව්‍යාපෘතියක නිම නොවන ක්‍රියාවලියකි. යුද්ධය කියන්නේ බලය ක්‍රියාත්මක කරන පිරිසක් විසින් අනෙකා වෙත කුමන හෝ ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමකි. එවිට ඉතිහාසයේ විවිධ අන්දමේ මිනිස් ජීවිතවල පැවැත්ම දෙදරමින් මිනිසා විසින්ම සමාජය වෙත ප්‍රචණ්ඩත්වය මුදාහරී. මිනිස් කතිකාව තුළ අප අසමත් කියා පෙන්නමින් මේ මොහොතේත් මනුස්ස ජිවිත උදුරා ගන්නේ තිරස්චීන ගති පෙන්නමිනි. ඓතිහසිකව යුද්ධයය ,ත්‍රස්තවාදයට එරෙහිව කලාකරුවන් තම මෙහෙයුම දියත් කළේ සමහර විට සන්දර්භීය මෙන්ම විශ්වව්‍යපී අදහසකින්. ඒ අර්ථයෙන් ගත්තොත් පැබ්ලෝ පිකාසෝ ගුවර්නිකා චිත්‍රය හරහා විශ්ව විශ්වව්‍යාපී වේදනාවක් ප්‍රකාශ කරනවා. ගෝලීය වශයෙන් අපත් ත්‍රස්තවාදයකට සහ යුද්ධයකට විවෘත වූ ඉතිහාසයකට උරුමකරුවන්.වූ අවකාශයක මෙවැනි කලාකෘතියක් බිහිනොවන්නට වගබලාගැනීම මනුස්ස කුලයේ ඉන්න සියලුම කොටස්වලට අයිතියක් සහ වගකීමක් තියෙනව.

ප්‍රගීත් රත්නායක

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...