‘මං චිත්‍රපටියක’ – කාංචනා ප්‍රියකාන්ත
අප සිටිනුයේ අතිශය බියකරු අගාධයක වුව ඒ ගැන එතරම් බරක් පතලක් අප කිසිවකුට හෝ නැති තරම්ය. දරාගත නොහෙන ජීවන වියදම, ඖෂධ හිඟය, දූෂණ ආදී වශයෙන් විවිධ බරපතල සාධකයන් අප වටා තිබුණද තවමත් අපට ජීවිතය පවත්වාගෙනයාමට තරම් විනෝදජනක වපසරියක් ඇති සෙයකි. අපි වේගයෙන් පවත්නා සියළු තත්වයනට අනුගත වෙමින් සිටිමු. බඩු මිල අඩු කිරීම යනු වැඩි කරන ලද මිලෙන් ස්වල්පයක් අඩු කිරීම බව සිතන්නට අපි සැදී පැහැදී සිටිමු. බලය ලබාගත් පාලකයා ඒ සඳහා අනුගමනය කළ පිලිවෙත සාධාරණද යන්න නොසිතා අප අන්ත සටකපට දේශපාලකයන් ඉවසන්නට හුරු වෙමින් සිටිමු. මුළු ජීවිතයම බරපතල ඛේදයක් වුවද අපට එය විවිධ ප්‍රසංගයක් මෙන් නැරඹීමට හැකියාව තිබේ. දේශපාලනය, ආගම, යුක්තිය, සාධාරණත්වය, සදාචාරය යන මේ කිසිවක තවත් අර්ථයක් නැති බව දනිතත් අප ඒ වෙනුවෙන් පෙනී සිටින්නට නොපැකිලෙමු. ඊයෙ යතිවරයා අද තක්කඩියා බවට හෙලිදරවු වුවද අපට ඒ තක්කඩියා හමුවේ වැඳවැටෙන්නට කිසිදු හිරිකිතක් නැත. මේ අපේ දෛනික නරකාදියයි. එහෙත් අපි එයට ස්වර්ගය යයි කියමින් සැනසෙන්නට බලා සිටිමු.
එහෙත් මේ මායාව බිඳ වැටෙනා අවස්ථාවන්ද ජීවිතයට එළඹෙයි. එවන් එක් අවස්ථාවක් වනුයේ සාහිත්‍යකරුවා, කලාකරුවා සිය පරිකල්පන ශක්තිය මෙහෙයවා අප ඉදිරියේ අප නග්න කරනා විටය. එවිට නම් අපට ඒ පරිකල්පිත ලෝකය තුළ අප දකින්නට කැඩපතක් හමුවෙයි. නිර්මාණකරුවාගේ සාර්ථකත්වයට එක් හේතුවක් වනුයේ ඔහු හෝ ඇය මේ කැඩපත තැනීමට දක්වන දක්ෂතාවයි.
කාංචනා ප්‍රියයකාන්ත නම් නිර්මාණකාරිය වසර හතක ඉසිඹුවකින් පසුව සිය තෙවන කෙටිකතා සංග්‍රහය එලිදක්වන්නීය. ඇගේ නව කෙටිකතා සංග්‍රහය යනු ගෙවී ගිය වසර හතක කාලය අපතේ නොහැරිය බව සනාථ කරනා සාක්ෂියකි. ඇය තම තෙවන කෙටිකතා සංග්‍රහයේදී ආකෘතිකමය වශයෙන් වෙනස් ප්‍රවේශයන්ට යත්න දරනා අතරම සමාජය විනිවිදින්නට සිතගන්නා සුළු උත්සාහයක යෙදෙන්නීය. ඇය මෙහිදී සාකච්ඡාවට ගන්නා එක් ප්‍රධාන කාරණාවක් වනුයේ අප දීර්ඝ කාලයක් නඩත්තු කරමින් ඉන්නා අපටම සාපයක් වූ ක්‍රමය සහ එහි අහිතකර බලපෑම්ය. ඔරළෝසු කනුව නම් පළමු කෙටිකතාවෙහිදීම ඇය මේ සඳහා සාර්ථක උත්සාහයක් දරයි. ඇගේ ඒ කතාව දේශපාලකයා මතු නොව පුරවැසියාද නග්න කරනා හෙළිදරවුවකි. ඔරළෝසු කනුවක් රූපකය සේ ගෙන ඇය වර්තමාන දේශපාලන පිලිකාවක අක්මුල් මතු කරන්නට වෙර දරයි. එහිදී අපට යළිත් කල්පනා කරන්නට සිදුවන කරුණක් වනුයේ කපටි දේශපාලකයන් සහ අහිංසක පාලිතයන් වෙනුවට එකිනෙකා පරයන කපටිකමින් යුත් දෙපාර්ශවයකි. ඇගේ කෙටිකතා තුළ යළි යළි අපට හමුවන ඒ චරිත මේ අන්ත දෙකම සිය අභ්‍යන්තරයේ දරාගත් මිනිසුන් බව පසක් කරවයි. ඔරළෝසු කනුව තට්ටු මාරුවට නඩත්තු කරනුයේ දේශපාලකයන් විසිනි. එය වෙලාව දක්වන්නේද නැතිද යන්න එහිදී අදාල නැත. අලුත් ඔරලෝසුවක් පරිකල්පනය කරන්නට සමාජයටද දැක්මක් නැත. ඔරළෝසු කනුවේ බලවත්කම විදහන්නට මිථ්‍යාව ඇතුළු සියළු අඩුම කුඩුම භාවිතා කෙරෙයි. ඇගේ මේ කෙටි කතාව ඒ සංග්‍රහයේ සාර්ථකම කෙටිකතාව බවට පත් වන අතරම වඩා පුලුල් දේශපාලන කියවීමක්ද එහි අන්තර්ගත වෙයි.
ඇගේ කතාවන් තුළ දක්නට ලැබෙන තවත් වැදගත් සාධකයක් වනුයේ මනුෂ්‍ය ස්වභාවයෙහි ගුප්ත අහුමුලු ස්පර්ශ කිරීමට දරනා තැතය. එහෙත් ඒ අතාර්කික පිවිසුමක් නොව මනුෂ්‍ය ජීවිතයේ සෑම තත්පරයක්ම තීරණය කරනා සාධක පිළිබඳව කල්පනාකාරී බවකින් යුතුව කරනු ලබනා පිවිසුමකි. රඟ මඩළක සහ විශේෂණ මැයෙන් එන කෙටිකතා මේ සංවේදී ස්පර්ශය ට සාක්ෂි දරනා නිර්මාණයන්ය. ඒ නිර්මාණ හරහා සමාජයේ පවත්නා ඊනියා සම්මතයන් හමුවේ පීඩාවට ලක්වන චරිත කෙරෙහි අවධානය යොමු කෙරෙයි. දහිර වාට්ටුව යනු මියගිය සමාජයක ඇවිදින මිනිස් සැකිළි සමග කරනා සවාරියකි. එසේම එය සත්‍ය සහ අසත්‍ය අතර වන සියුම් සීමාව එමගින් විමසුමට ලක් කෙරෙයි.
කිසියම් නිර්මාණයක් කියවන්නට ගන්නා පාඨකයා හට එහි අන්තර්ගතය තුළ කිසියම් නව්‍ය බවක්, තමනට සියල්ල අමතක කර සිටින්නට බැරි කරනා ගතියක් පැවතිය යුතුය. ඕ හෙන්රිගේ කතාවල මේ ලක්ෂණය කැපී පෙනෙයි. ජීවිතයේ සියළු අපේක්ෂාවන් අතර තමන් අපේක්ෂිත මොහොතේ අනපේක්ෂිත ලෙස ජීවිතය නග්න කෙරෙනා අවස්ථාවන් හෙන්රිගේ කතාවන්හී නිතර දක්නට ලැබෙයි. ආකෘතිමය වශයෙන් යථාර්තවාදයෙන් ඔබ්බට නොගියද ඒ කෙටි කතාවන් පාඨකයා තුළ ඇති කරන කම්පනය ඉතා බලවත්ය. කාංචනාගේ කෙටි කතාවන්හිද මේ කම්පනය අපට දනවන අවස්ථා පවතියි. දහිර වාට්ටුව කතාවෙහි ඇය චරිත සහ අවස්ථා ගොඩනංවන ආකාරය හේතුවෙන් ඇයට පාඨකයා තුළ සියුම් කම්පනයක් ඇති කළ හැකිව තිබේ. එහෙත් ඇගේ කෙටිකතාවන්හී භාෂාමය සත්කාරය තවත් සියුම් විය යුතුයයි පැවසීම ඇයට කරනා අසාධාරණයක් නොවේ. ඇය තම නව කෙටිකතාවන්හිදී ආකෘතිකමය වශයෙන් විවිධත්වය සොයා යන්නට දරන තැත භාෂාව තවත් පදම් කරන්නට සමත් වන්නේ නම් වඩාත් ඔපවත් කරගත හැකිවනු ඇත.