කොටුව මහේස්ත්‍රාත් සහ මහාධිකරණ විනිසුරු නියෝගවලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් : සුවිශේෂී කරුණු සලකා බැලීමට අධිකරණය කටයුතු කරලා නෑ ?

Share post:

කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත්බද කොළඹ මහාධිකරණය ගත් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අභියාචනයක් ගොනු කර තිබේ.

මාධ්‍ය සාකච්ඡාවක් සිදුකරමින් අධිකරණයට අපහාසයක් සිදුකළාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මහාධිකරණයට අභියාචනයක් යොමු කර තිබිණි. එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවාම නිශ්ප්‍රභ  කිරීමට කොළඹ අංක 8 මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්. නිශ්ශංක පසුගිය ජූලි 06දා නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය දෝෂ සහිත බැවින් එම නියෝගය අහෝසි කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය ද අහෝසි කර බල රහිත කරන ලෙසත් ඉල්ලමින් නීතිඥ සුරේන් ඩී. පෙරේරාගේ උපදෙස් මත නීතිඥ මනුෂිකා කුරේ මගින් තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ප්‍රහසන වැඩසටහනකදී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදී ඇති නිර්දේශ හා මගපෙන්වීම් කඩ වී ඇති බවත් කියමින් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියා ඇතුළුව මාධ්‍යවේදීන්, නීතිඥවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව එම අභියාචනා පෙත්සමේ සඳහන් වේ.

ඉන් අනතුරුව ජුනි 07දා නතාෂා එදිරිසූරියට අදාළ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත අධිකරණයට අපහාසයක්  වී දැයි සෙවීමට තමන් ඇතුළු පස්දෙනෙකුගේ ප්‍රකාශ ගැන පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවත්, එම නියෝගය පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකරන ලෙස ජුනි 21දා කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් එම පෙත්සමේ සඳහන් කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අධිකරණයට අපහාස කිරීමක් ගැන සොයාබැලීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති වීම සහ නිසි පැමිණිල්ලක් නොමැතිව හුදෙක් අගතියට පත් පාර්ශ්වයේ යැයි සඳහන් කෙරුණු නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත පමණක් එවැනි නියෝගයක් කිරීම වැරදි බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා මහාධිකරණයට ප්‍රතිශෝධනයක් යොමු කළ බව ද, මහාධිකරණ විනිසුරුවරයා එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවා ම ප්‍රතික්ෂේප කිරීමට ජූලි 06දා නියෝග කළ බව ද තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ සඳහන් වෙයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 07දා කළ නියෝගයේ අභියාචක මාධ්‍යවේදියාගේ නම සඳහන් කර තිබියදී මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ තුන් වැනි පිටුවේ සහ හතර වැනි පිටුවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට සදහන් කර නැතැයි තීන්දු කර ඇති බවත්, එක්ස් ලෙස සටහන් කර ඇති නඩු වාර්තාවේ එක්ස් එක ලෙස සටහන් කර ඇති කොටසේ අභියාචකගේ නම සඳහන් කර ඇති බවත්, එය සොයාගැනීමට විනිසුරුවරයා අපොහොසත් වී ඇති බවත් අභියාචනා පෙත්සමේ දැක්වේ.

විමර්ශනයක් සඳහා බලය ඇති බවට නිගමනයකට එළඹීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9 (ආ) (i) වගන්තිය උපුටා දක්වා ඇති බව ද, එසේ වුවද එම වගන්තියේ පළමු කොටස මහාධිකරණ විනිසුරුවරයා නොසලකා ඇති බව ද, ‘ස්වකීය ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළ’ ලෙස එහි සඳහන් වන බව ද, මෙම සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ නොව මාලිගාකන්ද ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුළ බව ද මෙම අභියාචනයේ සඳහන් කර තිබේ.

එසේම එම වගන්තියේ ‘යම් වැරදි සම්බන්ධයෙන් මේ සංග්‍රහය යටතේ ඒ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ ද’ යනුවෙන් සඳහන් වන බව ද, අධිකරණයේ අධිකරණ බලය මෙම සංග්‍රහය යටතේ ඇති වැරදිවලට සීමා වී ඇති බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ. 

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කරද්දී අභියාචක විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී කරුණු සලකා බැලීමට මහාධිකරණ විනිසුරුවරයා අපහොසත් වී ඇති බව ද අභියාචක මාධ්‍යවේදියා සඳහන් කරයි.

ඒ අනුව මෙම පෙත්සම බාරගෙන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මහාධිකරණ විනිසුරුවරයාගේ ජූලි 06 දිනැති නියෝගය අවලංගු කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයාගේ ජුනි 07 සහ ජුනි 21 දිනැතිව නිතුත් කළ නියෝගය අවලංගු කර බලරහිත කරන ලෙසත් අවසන් වශයෙන් පෙත්සම්කරු ඉල්ලා ඇත.

මෙම අභියාචනය අභියාචනාධිකරණයට යොමු කරන ලෙස මෝසමක් මගින් මහාධිකරණයෙන් ඉල්ලීමක් කෙරිණි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...