පරමල්වත් නොපාගා කවිය සමඟ ආදරණීය ගමනක යෙදෙන නිරෝෂ ප්‍රනාන්දුගේ ‘‘ නොපාගා එන්න පරමල්‘‘ කෘතිය ගැන පුංචි හෝ අදහසක් ලියන්නට මා පෙළඹ වූයේ එහි සමස්තය මඟින් මගේ හදවත පාරවන බොහෝ ජීවිතවල පැතිකඩ එමඟින් ප්‍රතිනිර්මාණය වී ඇති නිසාය. සොබාව සෞන්දර්යය, ගහ කොළ, මල් ඵල, අහස පොළොව, හිරු සඳු තරු ආදිය සමඟ බද්ධ වී නිරෝෂ නිමවා ඇති කවිවලින් සමහර විට එක කොටසක් ළඟ නතර වී විඳින්නට හෝ ජීවිත ගැන විඳවමින් සමාජය ගැන හිතන්නට හැකිය. ඒවායින් කවි දෙකක් ගැන පමණක් සටහනක් තබන්නට හිතන්නේ, එමඟින් අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කරනා නිසාය. එයින් මා තෝරා ගන්නා එක කවියක මාතෘකාව ‘‘ උතුරු සුළඟ‘‘ නම් වෙයි.
‘‘තබා ලියුමක් මා අත
තාත්තා නමට
යයි ඉගිල
පියුං හිතවත.
අදිරද අකුරින් ඇති ලිපිනය
දින නැති මුද්‍රාවකි
ධම්ම චක්ක මුද්දරය මත
ඇතුළත හතරට නැවූ ලිපියකි
පළින් පළ තෙමී බොඳ වූ
උතුරු අකුරින් ලියවුණ.
වෙරළු ගෙඩියක් බෙදාගෙන
පැටිවියේ එකට සෙල්ලම් කළ
උතුරු සිංහලෙන් අප ඇමතූ
මිතුරු කැලක් සිටි බව
මතක මියැදුණු සඳ
සොයාගත නොහැක
උන් තැනක සලකුණක්
පදනම් බිඳුණු උස් පවුරු ඇත
ජාතික මාමක චිත්‍රයෙන් හැඩ කර.
අසූතුන කාලයේ
දහතුනෙන් එහා තිබුණු
අප ගම්දොර
දොර දොර නැඟුණ දුම් වලා මඟහැර
අඳුරේම පොදි ගැසී වහං වී ගිය
ඉන්
එක්
මිනිස්
හදවතකින්
ආවාද
තාත්තාට මේ ලියමන.
කවදාකවත් උගන්වා නැත
උතුරු අකුරක් සුසර කරන මග
කියවාගත නොහැක
තාත්තාට ආ
මේ ලියමන.
(කෞශල්‍යගේ නිම්නාට ආදරයෙන් කියා පාද සටහනක් තබා ඇති) මේ කවිය නිරෝෂ ප්‍රනාන්දුගේ ‘නොපාගා එන්න පරමල්’ කෘතියේ 30 සහ 31 වැනි පිටුවල අන්තර්ගත වී ඇත. කෙනෙකුට මෙය අලුත් තේමාවක් නොවේ යැයි සිතෙන්නට පුලුවන. නමුත් තවමත් අප සමාජය පෙළන මේ දේශපාලන යථාර්ථයට පිළියම් නොයොදා සමාජයක්, ජනතාවක්, රටක් වශයෙන් අපට ඉදිරි යට යා නොහැක. එහෙයින් කලාකරුවන්/කාරිනියන්ට, ලේඛක/ලේඛිකාවන්ට මේ සමාජ යථාර්ථයට පිළියම් යෙදීමේ පාලම හදන්නට තවමත් ප්‍රකාශනය ඉතිරිව ඇත. ඔවුනට ඒ සඳහා වඩා ප්රයබල කාර්යභාරයක් තවමත් අඩුවක් නැතිවම ඉතිරිව පවතී. එය කළ හැක්කේද වැඩියෙන්ම ඔවුනටය.
නිරෝෂ මෙහිදී ඒ අඳුරු දේශපාලන ඉතිහාසයේ ඡායාව මතක් කරන ගමන් වැඩි අවධානය යොමු කරන්නේ මේ සහෝදර ජනතාවන් අතර අන්යෝන්ය අවබෝධය වැඩි වර්ධනය කර ගැනීමට ඇති භාෂාව පිළිබඳ කාරණයටය. එය වැදගත්ය. දෙමළ ජනතාව උතුරු සිංහලෙන් හෝ අප ඇමතුවත්, දකුණේ දෙමළෙන් අපට ඔවුන් අමතන්නට හැකියාව ලබා ගන්නට අප උත්සාහ නොකළේ මහජාතික මානසිකත්වය නිසා විය හැකිය. එමෙන්ම උතුරු අකුරු සුසර කරන හැටි උගන්වා නැති හෙයින් උතුරු අකුරෙන් ආ සංවේදී විය හැකියැයි අඟවන ලිපිය කියවා ගත නොහැක. තමන් සමඟ එකට සිටි සගයින්ගෙන් සියල්ල අහිමිව ජීවිතය පමණක් රැකගෙන අඳුරේම වහං වී ගිය මිනිස් හදවතකින් තාත්තාට මේ ලියමන ආවාදැයි කවියා කල්පනා කරයි.‘‘මිනිස් හදවතකින්‘‘ යැයි යෙදුම තුළින් කවියා තුළ ඇති සමාන මිනිස්කම පිළිබඳ ආකල්පය තව දුරටත් ඉස්මතු කරයි.
මේ ඉතා කෙටි සටහන තබන අවස්ථාවේ මගේ අවධානයට ලක් කරන අනෙක් කවිය වන්නේ පොතේ 44 වැනි පිටුවේ ඇති ‘‘මේ නත්තලටවත් ගෙදර එන්න‘‘ නම් කවියයි.
‘‘ඔබ එනවානම් මේ නත්තලට
නිදි බිඳෙන අලුයම යන්න ඉක්මන් නොවී
දිගටම ඉන්න බලන් එන්න,
සර්ප්‍රයිස් ප්‍රසන්ට් මොකටද
හිස් අතින් ඔබ එන්න
ජේසු සුරුවමේ රතු පැල්ලම් අතගා
තාත්තා සොයන දූ සිඟිත්තට,
දලු කිනිති අග රිදී තාරකා එල්ලන්න
ඔබ ම ඇවිත් නත්තල් ගස ඉන්දන්න.
පිටව යන මොහොතක නළලත තවරන
සෙනෙහසේ හාදුව
මුදුන් දල්ල මත
තාරකාවක්ව රඳවන්න
නත්තල් සීනු හඩවන්න අපට ඉඩ දෙන්න‘‘
(44 පිටුව – නොපාගා එන්න පරමල් – නිරෝෂ ප්‍රනාන්දු)
මේ නත්තලටවත් ගෙදර එන්න කිව්වාට මේ ආදරණීය බිරිඳට ආරාධනා කරන්නේ ජීවතුන් අතර සිටින සැමියකුට නොවන බව පෙනේ. ජේසු සුරුවමේ රතු පැල්ලම් අතගා, දූ සිඟිත්ත තාත්තා සොයන්නේ සමහර විට ජේසු සුරුවම් ඉදිරිපිට පාස්කු ප්‍රහාරයෙන් තාත්තා මිය ගිය බව ව්‍යංගයෙන් ප්‍රකාශ කරන්නට විය හැකිය. කෙසේ වුවත් ඉතා සංයමයෙන් යුතුව කවියා මියගිය සැමියකු පිළිබඳ මතකය බිරිඳකගේ සිතිවිලිවලට ඇතුලු කරයි. අළුයමේ අවදිවීමත් සමඟ හීනෙන් ඈත් වී නොයා නත්තල සමරන්න, නත්තල් ගස සරසන්න ඇය සැමියාට ආරාධනා කරයි. ඔහු ඇවිත් හෝ නැතිව හෝ ජීවිතය ගෙන යන්නට ඇය සූදානම්ය. ජීවිතයට මුහුණ දෙන්නේ එලෙසය. එහෙයින් නත්තල් සමරන්න අවසර පතයි. මේ අත්දැකීම දත් කෙනෙකුට එය ඉතා සංවේදී වන ආකාරයට කවියා අත්දැකීම කවියට නගා ඇත.
මුලිනුත් සඳහන් කළ පරිදි සමහර විට කවියක කොටසක් කියවා ඒ ගැන නැවත නැවත හිතන්නට පොළඹවන සංවේදී හඩ තානයක් කවි පොතේ බොහෝ කවිවලින් සොයා ගත හැකිය. ආගම්, ජාති, භූ දේශ සීමා ඉක්මවා ගිය කවිත්වයක පෙරනිමිති පෙන්වන ‘නොපාගා එන්න පරමල්‘ කෘතිය කවියාගේ පළමු කෘතිය වශයෙන් රසවත් අත්දැකීමකි.
සීතා රංජනී
- 07.17