කතුවරිය, කාන්තා විමුක්තිය, කාන්තා ක්‍රියාකාරිත්වය හා ස්ත්‍රීදෘෂ්ටිවාදය ගෙනහැර දැක්වීමට මෙහි වැඩි ඉඩක් වෙන්කරයි

Share post:

ජාත්‍යන්තරය ජයගත් පළමු ලතින් ඇමෙරිකානු ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඉසබෙල් අයියන්ඩේ. ලතින් ඇමෙරිකානු සාහිත්‍ය තුළ හොදම නවකතාකරුවන් දස දෙනා අතර නිරතුරුවම ඇගේ නම ස්ථානගත වෙලා තියෙනවා. අයියන්ඩේගේ කෘතීන් මේ වනවිට ලොව පුරා විවිධ භාෂාවන් 30 කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය කර ඇති අතර, පිටපත් මිලියන 67 වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇතැයි සැලකේ.

චිලී ජාතික මව්පිය යුවලකට දාව පේරුහිදී උපත ලද අයියන්ඩේගේ නිර්මාණ තුළින් ලතින් ඇමෙරිකානු රටවල ජනතාවට පොදු සමාජ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ප්‍රශ්න ගණනාවක් කතිකාවට ලක්කර ඇත. ආදරය, මානව ප්‍රේමය, කාන්තා විමුක්තිය, සමානාත්මතාවය හා ලිංගික හා ශ්‍රම සූරාකෑම හෙළිදරව් කරමින් සෑම විටම නිර්මාණ ගොඩනගන්නට ඇය කටයුතු කර ඇත. ඇගේ නවකතා බොහොමයක් තුළ නිරූපණය වන්නේ ස්ත්‍රීදෘෂ්ටිවාදයයි.
අයියන්ඩේ විසින් 2017 වසරේදී ස්පාඤ්ඤ භාෂාවෙන් alla del invierno නමින් රචනා කරන ලද නවකතාව In the Midst of Winter නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. එකී ඉංග්‍රීසි පරිවර්තන කෘතිය සිසිරයේ මැද යනුවෙන් නම් කරමින් 2021 වසරේදී සිංහලට පරිවර්තනය කරන්නට ගාමිණී පලිහේන මහතා විසින් කටයුතු කර ඇත.

සිසිරයේ මැද අප කියවන වෙනත් නවකතා මෙන්ම එක දිගට කියවාගෙන යා හැකි නවකතාවක් නොවන බව මුලින්ම කිවයුතු ය. ගැඹුරු අදහස්, සැගවුණු යටි අරුත් සහිත පරිච්ඡේදයන් බහුලව තිබීම හේතුවෙන් සමහර පාඨකයෙකුට මෙය වෙහෙසකර කියවීමක් ලෙස දැනීමට ඉඩ ඇත. ඒ නිසා මෙය මනා සංයමයකින් කියවන ලෙසත්, නීරසයැයි පිටු කිහිපයක් කියවා අත් නොහරින ලෙසත් ඉල්ලා සිටිමි.

මෙහි මුල් ඉංග්‍රීසි පරිවර්තනය කියවා හෝ එය මා සන්තකයේ නැත. මුල් ඉංග්‍රීසි කෘතියේ රසයට හානියක් නොකර සිංහලට පරිවර්තනය කිරීමට උත්සාහ කල බව කතුවරයා පෙරවදනේ සඳහන් කර ඇත. එය විශ්වාස කරමින් ඉදිරි සටහන් තබමි.

අයියන්ඩේ මෙහි චරිතවල සිතුවිලි හෝ ක්‍රියාකාරිත්වයන්, එකී චරිතවල ප්‍රකාශනයන් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කර නැත. සරලවම කියතොත් මෙහි දෙබස් නොමැති තරම්ය. පිටු 386 පුරාම ලියවී ඇති දෙබස් අඩංගු පිටු ගණන පිටු 20 කට අඩු තරම්ය. මෙය දීර්ඝ වාර්තා ස්වරූපයෙන් පැවතීම කියවන්නන් අධෛර්‍යමත් කිරීමට හා කියවීමේ උත්තේජනය අඩු කිරීමට හේතුවක් වනු ඇත.

එක් අවස්ථාවක පාඨකයා වර්තමානයටත්, තවත් අවස්ථාවක අතීතයටත්, නැවත මාරුවෙන් මාරුවට අතීතය හා වර්තමානය වෙත රැගෙන යමින් ලතින් ඇමෙරිකානු රටවලට ආවේණික ඒකාධිපතිවාදය, සන්නද්ධ කැරලි, පාතාල හා මාෆියා කල්ලි ක්‍රියාකාරිත්වයන්, දරිද්‍රතාවය, සරණාගතභාවය, ලිංගික සූරාකෑම හා ගණිකා වෘත්තීය, ශ්‍රමය සූරාකෑම, නීතිවිරෝධී සංක්‍රමණික ප්‍රශ්න , ලතින් ඇමෙරිකානු රටවල් කෙරෙහි එක්සත් ජනපද ක්‍රියාකාරිත්වය, සී . අයි. ඒ ක්‍රියාවන්, ආගම හා බැදුනු මිත්‍යාවන් සහ ලතින් ඇමෙරිකානු මහාද්වීපික රටවලට අනන්‍ය වූ සංස්කෘතික සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රශ්න ගණනාවක් කතිකාවකට ලක් කරයි. එකී ගැටළු සමාජගත කිරීමට රිචඩ්, ලුසියා හා එව්ලින් යන චරිත මනා ලෙස ආධාර කරගෙන ඇත.

කතුවරිය මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇත්තේ කාන්තා විමුක්තිය, කාන්තා ක්‍රියාකාරිත්වය හා ස්ත්‍රීදෘෂ්ටිවාදය ගෙනහැර දැක්වීමටයි. මුළුගැන්වුන සම්ප්‍රදායික ලතින් ස්ත්‍රිය අභිබවමින් පුරුෂයාට වඩා ඉදිරිගාමී හා නූතනවාදී කාන්තාවන් කිහිප දෙනෙකුට මේ තුළින් ජීවය දෙන්නට ඉසබෙල් අයියන්ඩේ සමත් වී ඇත. සඟවන ලද, අවහිර කරන ලද, නිද්‍රාශීලී කරන ලද කාන්තා ශක්තිය හා ක්‍රියාකාරිත්වය ඉස්මතු කර සඵල ලෙස ප්‍රයෝජනයට ගතහොත් බොහෝ ගැටළු නිරාකරණය වී මේ ලෝකය මීට වඩ සුමට ස්ථානයක් බවට පත්වන ආකාරය උදාහරණ සහිතව පෙන්වා දී ඇත. මුලුගන්වා, සඟවා, යටපත් කර ඇති කාන්තාව පුරුෂයා දක්වා ඔසවා තැබීම යනු සමානාත්මතාවයි.

වයස අවුරුදු 60 පසු කල ජීවිතයේ අග්ගිස්සේ සිටින යුවලක් ආදරයෙන් බැඳුණහොත්, විවාහ වුවහොත්, එකට වාසය ආරම්භ කලහොත්, එය අපේ ගතානුගතික සමාජය කෙසේ දකිනු ඇද්ද? එය කෙසේ භාරගනු ඇද්ද?? කිහිප දෙනෙක් හැර අනෙකුත් අය එය වනචරකමක්, පොළොව නුහුලන අපරාධයක් ලෙස දකිනු ඇත. සිතනු ඇත. අවසානයේ ප්‍රකාශ කරනු ඇත. මෙහි රිචඩ් හා ලුසියා ආදරයෙන් බැදෙන්නේ ඔවුන්ගේ ජීවිතවල හයවන දශකය පසු කල පසුවයි.

අවුරුදු 50, 60 පසු කල පසුත් මිනිසුන් වන අපට ආදරය ප්‍රේමය වැනි හැඟීම් ඇති වෙයි. ලිංගික පහස අවශ්‍ය වේ. අවුරුදු 50 , 60 සම්පූර්ණ කල පසු තම හැඟීම් ආයාසයකින් යටපත් කර ලොවට පෙනෙන්නට සුපේක්ෂාකාමි ජීවිත ගත කිරීම අවශ්‍ය නොවේ. පින් දහම් කිරීමට, බණ භාවනා කිරීමට, පන්සල්, පල්ලි, කෝවිල් යෑමට වයස්ගත වෙනකල් සිටීමටද අවශ්‍ය නොවේ.

එහෙයින් ආදරය ප්‍රේමය ලිංගිකත්වය යනු වයස්ගත වනවිට විවිධ සංස්කෘතික බන්ධන මත අකමැත්තෙන්, ආයාසයෙන් අත්හල යුත්තක් නොවේ. ඇත්තෙන්ම අප ජීවත් වන්නේ සංස්කෘතික කාන්තාරයකය. බහුතරයක් ලිංගික දරිද්‍රතාවයෙන් පෙලෙන්නෝය. වයස, ජාති, කුල, ආගම්, සංස්කෘතික සීමා හා දේශ සීමාවන්ට සීමා කල හෝ යටත් කල නොහැකි අනන්තයටත් ඔබ්බෙන් පැතිරෙන සිතුවිල්ලක් බව රිචඩ් – ලුසියා ආදර කතාවෙන් අවබෝධ කරගත යුතුය. සැබෑ ආදරය නිදහසේ භුක්ති විදීමට අවශ්‍ය වන්නේ එකම දෙයකි. තමන්ගේ සිතුවිලි වටා බැද ඇති සංස්කෘතික හා අධ්‍යාත්මක බැදීම් මුදා හැරීම පමණි. කූඩු කරන ලද සියොතුන්, නිදහසේ සරන විහඟුන් දුටු විට සිතන්නේ පියාඹීම වැරැද්දක් ලෙසයි. සංස්කෘතික රාමු තුලට සිරවූ මිනිසුන්ද නිදහස් මිනිසුන් දකින්නේ මහා අපරාධකරුවන් ලෙසයි..

මෙය හුදෙක්ම ලතින් ඇමෙරිකානුවන් සතු ආදරය, ප්‍රේමය, මානව දයාව වැනි මිනිස් හැඟීම්වල සීමාවන් සනිටුහන් කරන ලේඛනයක් පමණක් නොවේ..ලොව පුරා සියළු තැන්හි මිනිස් හැඟීම් ප්‍රකට කරන පොදු ලියවිල්ලකි. එමෙන්ම ඔවුන් සතු ඉවසීම, දරාගැනීම් හා අරගල මධ්‍යයේ තම ශක්තිය හා නොපසුබට උත්සහයෙන් ජීවිතය ජයගනු ලැබීමට සාක්ෂි සපයන්නකි.

චතුරංග අමරතුංග

2022,02,05 දිනැති සටහනක්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...