1919 ඔක්තෝබර් 22 වැනිදා යටත්විජිත සිම්බාබ්වේ හි උපත ලැබූ ඩොරිස් ලෙසිං Doris Lessing (1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාවයි. ඇගේ ‘The Grass is Singing’, සහ ‘The Golden Notebook’ ලොව පුරා ජනාදරයට පත්විය. බ්‍රිතාන්‍යය සිය යටත්විජිතවල වැසියන්ට සැලකූ පහත් ආකාරය පිළිබඳව සිය විරෝධය පළ කරනුවස් වරක් ඩොරිස් ලෙසිං ඇයට එලිසබෙත් රැජින විසින් 1977 දී පිරිණැමුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මානය (Order of British Empire) යන නම්බුනාමය ප්‍රතික්ෂේප කළේ නොපවතින අධිරාජ්‍යයක සම්මානයක් බාරගත නොහැකි බව පවසමිනි. එමෙන්ම 1992 දී ඇයට පිරිණැමුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව (Dame of British Empire) සම්මානයද එළෙසින්ම පිළිකෙව් කළාය. නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබෙන විට 94 හැවිරිදි වූ ඩොරිස් තමා නොබෙල් ත්‍යාගය දිනා තිබෙන බව දැනගන්නේ නිවසට බඩු ගෙන ඒමට මාකට්ටුවට ගොස් යළි නිවසට පැමිණීමේදී, සිය ගේට්ටුව පිටත රැස්ව සිටි මාධ්‍යවේදීන්ගෙනි. ලේඛකයකුට තම ජීවිත කාලයේ ලැබිය හැකි ඉතාමත් ඉහළ පිළිගැනීම වන නොබෙල් සම්මානය තමාට ලැබී තිබෙන බව ඇසූ ඇගේ මුවින් පිටවූයේ, “අනේ ජේසුනේ,” යන වදන්ය. සියල්ල සම සිතින් ඉවසන නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ ඩොරිස් ලෙසිං ඉන්පසුව මාධ්‍යවේදීන් සමග සාකච්ඡාව පැවැත්වූයේ සිය නිවසේ එළිපත්තේ හිඳගෙනය. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව ඇගේ අදහස් පවසන ලෙස මාධ්‍යවේදීන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් ඈ කීවේ, “මම යුරෝපයේ තියෙන හැම සම්මානයක්ම දිනාගෙන තිබෙනවා, හැම මගුලක්ම. ඒ ඔක්කොම දිනීම ගැන සතුටක් මට තියෙනව, මොන තරම් ගොඩක්ද… හරියට රාජකීය වැසිකිලියකට ගහපු වතුරපාරක් වගේ,” යැයි කීවේ ගුත්තිලයේ එන, “පර සතු මලින් පුද – ලද මුනි සඳුට දිය නද, වන පස මලින් පුද – කළ යි පවසනු කවර වරදද” යන පැදිය සිහිගන්වමිනි. ඩොරිස් ලෙසිං මිය යනවිට ඇගේ සම්පූර්ණ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 5කි.
The Grass is Singing (තණනිල්ල ගී ගයයි) කියන්නේ මගේ පළමු කෘතිය. ඒක ලිව්වේ දකුණු රොඩේෂියාවෙදි. ඒ කියන්නේ… දකුණු රොඩේෂියාව තිබුණෙ මුගාබේටත් සිම්බාබ්වේටත් කලින්. ඔන්න මම කතා කළේ සහ හැසිරිලා තියෙන්නෙ හරියට ගත්කතුවරයක් වගේ; ඒත් මං කරල තියෙන්නේ දකුණු අප්‍රිකානු සඟරාවලට කෙටිකතා කිහිපයක් ලියපු එක තමයි, ඒවා ඒතරම් හොඳ ඒවත් නෙවෙයි. ඒවා නිකම් දිලිසෙන කඩවසම් කතා, ඒ මොකද, සඟරාවලුත් ඒ විදියයි නේ. ඒ මොනව වුණත්, ලස්සනම වැඩේ තමයි මිනිස්සු මාව හැබෑම ලේඛිකාවක් හැටියට සලකපු එක; ඒගොල්ල නිතරම මට එයාලගෙ අත්පිටපත් ගෙනැවිත් දුන්නා. ඒවගේම මමත් ඒවා ගැන හොඳට අදහස් දැක්වීම් කළා මං හිතන්නේ, ඇත්තටම. මට ඒක කරන්න පුළුවන් වුණ් මං බොහොම කියවපු හින්දයි.
ඔන්න එක තැනකදි මම හිතුවා, කතා කර කර හිටියා ඇති, වැඩේට බහිමු! කියල. ඒක හිතෙනකොට මං වැඩකරමින් හිටියේ නීතිඥයකුගේ කාර්යාලයක. වැඩි මුදලක් ඉපයුවේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් – ජීවත්වීම සඳහා මම කරන්න ඕන මොනවද කියන එක. කොහොම වුණත් මම මගේ බොස් ළඟට ගියා. මං එයාට කිව්වා,
“මම අස්වෙන්න යන්නේ. අස්වෙලා මං නවකතාවක් ලියනවා.”
එතැන හිනා සාගරයක් වුණා. ඇත්තටම, එහෙම නොවී තියෙයිද? ඒ වෙනකොට මම ගොඩ්ෆ්‍රි ලෙසිං එක්ක විවාහ වෙලා හිටියේ. එයා පුදුමාකාර විදි මහා ගොඩකින් මුදල් උපයමින් හිටියා. සැලිස්බරියේ දුම්කොළ වෙන්දේසිය ඉන් එකක්. ඒවා තාමත් කෙරෙනවා. මිනිස්සු පාන්දර පහට විතර නැගිටලා එතැනට යනවා දුම්කොල වෙන්දේසියේ වැඩකරන්න. ඒකෙන් අමතර මුදල් ටිකක් උපයාගන්න පුළුවන්. අපි හැමෝම ඒ කාලෙ එහෙමයි. අඩමාන ක්‍රම මහ ගොඩකින් අපි මුදල් හෙව්වා. ඉතිං එයා කිව්වා, කොයිතරම් හොඳ අදහසක්ද!
ඉතින් මම රස්සාවක් හොයාගත්තා. රස්සාවක් තිබුණා ලඝුලේඛනය කියල – ඒ රස්සාව දැන් නැහැ. ලඝුලේඛකයෝ පාර්ලිමේන්තුවෙ වැඩට යනව – හරියට අපේ පාර්ලිමේන්තුව වගේමයි – විනාඩි විස්සක් කතාවුණ දේවල් ලියාගෙන එළියට ඇවිල්ලා යතුරුලියනය කරන අයට කියවනවා. ඒ යතුරුලියන්නන්ගෙන් කෙනෙක් මම. යතුරුලියන්නන් කණ්ඩායමක්ම හිටියා. ඇත්තටම අපි සෑහෙන මුදලක් හෙව්වා. ඒ විදියටම, ඒ ලඝුලේඛකයන්ම ආණ්ඩුවේ කොමිසම්වලට යනවා. ගිහින් ඇවිත් යතුරුලියන අයට ලියාගෙන ආපු දේ කියවනවා. අර කලින් කී විදියම තමයි.
එහෙම අය අතරේ එක්කෙනෙක් හිටියා, එයාගෙ නම ලෑම්බ් – ලෑම්බ් මහත්තයා. එයා කවුද? ඔන්න දැන් ඔබට පේනවා නේද මම දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දුර ඈත අතීතයට එකපාරටම යන බව… මිල්නර්ගේ මොන්ටිසෝරිය .(1.1899-1902 සිදුවූ දෙවැනි බෝයර් යුද්ධය සහ 1910 දී දකුණු අප්‍රිකානු සංගමය බිහිවීම අතර කාලය තුළ මහකොමසාරිස් ඇල්ෆ්‍රඩ් මිල්නර් සාමි යටතේ දකුණු අප්‍රිකානු සිවිල් සේවාවේ යෙදුණු ඉංග්‍රීසි ජාතිකයින් කණ්ඩායම හඳුන්වනු ලැබූ අන්වර්ථ නාමය වේ.) ඕන ඔට්ටුවක් ඔබ මිල්නර්ගෙ මොන්ටිසෝරිය ගැන අහල නැතුවට. මිල්නර්ට හිටියා බොහොම දක්ෂ තරුණ කණ්ඩායමක්. ලෑම්බ් මහත්තයත් තරුණ කාලේ ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. එයා පාර්ලිමේන්තුවේ ලඝුලේඛකයෙක් බවට පත් වෙලා හිටියා – බොහොම නැණවත්, බොහොම පොතපත කියවපු කෙනෙක්. කිව්වට විශ්වාස කරන්න, එහෙම අය ඒ සංස්කෘතිය ඇතුළේ කැපී පෙනුණේ හරියට ඉදිමිච්ච මහපටඇඟිලි වගේ. ඔන්න මම යතුරුලියන වැඩ කරන්න එයාගෙ ගෙදරට යනවා. උදාහරණයකට කිව්වොත් ඒක හරියට, ස්වදේශික ශ්‍රමය පිළිබඳ රාජ්‍ය කොමිසම, එහෙම නැත්තං සෙට්සෙ මැස්සා පිළිබඳ රාජ්‍ය කොමිසම, එහෙමත් නැත්තං අහවල් රාජ්‍ය කොමිසම… ඔන්න ඔය වගේ එකක්.
ආ, විහිළුම එක තමයි කරිබා වේල්ල. මොකද කියනව නම්, කරිබා වේල්ල පිළිබඳ විශේෂඥයින්ගෙන් බාගයක්ම කිව්වා, කරිබා කියල වේල්ලක් හදන්න බැහැ, හැදුවොත් පොළවේ ගැඹුරු පැළුම් ඇතිවෙලා වතුර ටික ගුඩු ගුඩු ගාලා පොළවේ ගැඹුරටම බැහැලා එහෙම පිටින්ම අතුරුදහන් වේවිය කියල. මං ඔබට කියන්නේ, මමයි මේවා ඔක්කොම යතුරුලියනය කළේ.
මේරි ටර්නර්ව මැරුවේ ඇයි?
ඔන්න ඉතින් මම ඒ වැඩෙන් සෑහෙන මුදලක් හොයන ගමන්, ඒ මුදල් පාවිච්චි කරලා හවස් වරුවලදී පොතක් ලියන්න පටන් ගත්තා. ඒ කාලෙ මට දරුවෙකුත් හිටියා. හැබැයි වාසනාවකට ඔහු ඉතා හොඳ දරුවෙක්, ඇඬුවේ නැහැ. ඉතිං මම ‘තණනිල්ල ගී ගයයි’ ලිව්වා. ඒ ගැන ප්‍රශ්නත් තිබුණා. මට මතකයි මං කල්පනා කරනව, මං මොනව ගැනද ලියන්න යන්නේ කියල, මොකද මගේ ළඟ ඕනෑවටත් වැඩිය දේවල් තිබුණ ලියන්න. ඔබ දන්නවද, මං හරිම අහිංසක කෙනෙක් වුණත්, මට තේරුණා මගේ ජීවිතය බොහොම පුදුමාකාර එකක් බව. සමාජයේ දුර්වලතා ගැන මගේ ළඟ කොයිතරම් කරුණු තිබුණාද කියනව නම්, මම දැනගෙන හිටියෙ නෑ ඒවට පහර දෙමින් ලියන්න ඕන කොහොමද කියලා.
මගේ ළඟ තිබුණා පත්තරේකින් කපාගත්ත කොළ කෑල්ලක මෙන්න මේ වගේ දෙයක්: රොඩේෂියා හෙරල්ඩ් පුවත්පත, ලෝකයේ විශිෂ්ටතම පුවත්පත්වලින් එකකි; පසුගිය සතියේ අහවල් ප්‍රදේශයේ අහවල් තැන වැඩකළ කෝකියා ඔහුගේ ස්වාමිදුව මරාදමා ඇති අතර, දැන් ඔහු ඊට දඬුවම – මොකක් හරි දඬුවමක්, එල්ලා මරා දැමීම වෙන්න ඕනෑ – ලැබෙනතුරු බලා සිටියි. එහෙත් ඔහු එම අපරාධය කළේ ඇයි දැයි කිසිවකු දන්නේ නැත.
ඔන්න ඕකට තමයි මගේ හිත ගියේ. මොකද, මම හැදී වැඩුණු විදිය නිසා මම දැනගෙන හිටියා ඇයි ඔහු ඒ අපරාධය කළේ කියන එක. දැන් ඉන්න කිසිම කෙනෙකුට ඒක හිතාගන්න බැහැ. උදාහරණයක් හැටියට, අල්ලපු ගොවිපොළේ හිටියා කටකතා හැදිච්ච ගෑනු කෙනෙක්. මොකද, ඈ ඇගේ කෝකි කොලුවා ලවා ඇගේ ඇඳුමේ පිටුපස බොත්තම් පියවාගන්නවා, ඇගේ හිසකේ පීරවා ගන්නවා. ඒක කොතරම් අප්‍රසන්න වැඩක්ද කියනවා නම්, ඉන් අපේ හැසිරීම කොතරම් බාල වනවාද කියා ඔබට කියන්න පවා මට බැහැ. මම කියන්නේ, එවැනි දෙයක් කිරීම නොහොබිනා වැඩක්. එය හරිම ජුගුප්සාජනකයි. මේ ඕපාදූපය ගෙවල්වල ඉස්තෝප්පු හරහා හමාගෙන යද්දි කටහඬවල් බාල වුණ හැටි. ඈ ඔහුට ඉඩදෙනවා ඇගේ ඇඳුමේ බොත්තම් පියවන්න! මෙහෙමත් වැඩ… මම හිතුවා, මේක නියම, හැබෑම හේතුවක් අර විදියේ දෙයක් වෙන්න… මොකද, එක් මොහොතකදී ඇය ඔහුට ඉඩ දෙනව ඇගේ ඇඳුමේ බොත්තම් පියවන්න, ඇගේ හිසකේ පීරන්න – ඒත් ඊළඟ මොහොතෙදි ඈ ඔහු කෙරෙහි හැසිරෙන්නේ සුදු ස්වාමිදුවක් ඇගේ සේවකයන් කෙරෙහි හැසිරෙන ස්වරූපයෙන් නම්? මට පැහැදිළිව පෙනුණා ඒක සිද්ධවුණ හැටි: ඈ ඔහුට මිතුරකු මෙන් සලකා, ඊළඟට සේවකයකු මෙන් සැලකීමට පටන් ගැනීම.
ඒ වගේම, මාව විශ්වාස කරන්න; ඔවුන් ඔහුට සැලකුවේ තුච්ඡ විදියට. ඒ ඔවුන්ට එසේ කිරීමේ උවමනාවක් තිබුණ නිසා නෙවෙයි, ඔවුන් මෝඩයි – අනිත් බොහෝ දේවල් වගේ, මෝඩකම තමයි. මෙහෙම කියමනක් තියෙනව… මෙහෙම මතයක්; සුදු ගෑනු ඒ අයගෙ සේවකයන්ට සලකන්නෙ කොහොමද කියල දන්නෙ නෑ – ඒක ඇත්ත වශයෙන්ම ලිංගිකත්වයට සම්බන්ධ සැඟවුණු දෙයක්, පැහැදිළිවම. මොකද, මේ අප්‍රිකානු සංස්කෘතිය ඇතුළේ ගෑනියක් පිරිමියෙකු ලවා වැඩක් කරගැනීම කළ නොහැකි දෙයක්. ඒ වුණත් හැම ගෙදරකම හිටියේ පිරිමි සේවකයෝ, ගෑනු නෙවෙයි – හරියට දකුණු අප්‍රිකාවේ වගේ, හැමෝම පිරිමි සේවකයෝ. ඒ හැම පිරිමි සේවකයෙකුටම හිටියා නිතරම ඔවුන්ට මහ හඬින්, පීඩාකාරී හඬින්, කෝපයට පත්වූ විදියට කතාකරපු සුදු ස්වාමිදුවක්. ඔවුන් දැනගෙන හිටියෙ නැහැ ඒ අයට කතා කරන්න ඕන කොහොමද කියන එක. ඒ අයට මනුශ්‍යයන් වගේ කතාකරන්න ඔවුන්ට බෑ. ඒක ඔවුන්ට කරන්න බැරි දෙයක්. ඉතින් ඒක කළේ කොහොමද? දෙවියෝ – දෙවියන්ගේ වගේ කටහඬකින්. මට සමහර වෙලාවට ඒක තවමත් ඇහෙනවා වගේ – බියජනක, නිතර වැරදි සොයන හඬකින් තමයි ඒ අසරණ කළු සේවකයින්ට අමතනු ලැබුවේ. එ්ගොල්ල ඔවුන්ට කතා කළේ එහෙම. මම ඒ කටහඬ අනුකරණය කරන්න උත්සාහ කරන්නෙ නැහැ. මට ඕන නෑ ඒ විෂබීජය පතුරන්න. හැබැයි ඔබ ඒක ඇහුවොත්, ලැජ්ජාවෙන් ඇඹරිලා යාවි.
කොහොම වුණත්, මේරි ටර්නර්ව මැරුවේ ඔය හේතුව නිසා. මට ඒක ඉතාම පැහැදිලිව වැටහුණා. ඉතින් මම හිතුවා ලියන්න… ඔව්. ඒත් මම දැනට ඒ ගැන කීම පොඩ්ඩකට තියන්නම්, මොකද, මම ඒක ලියන්න පෙර පොත් දෙකක් ලියල හිටියේ.
(ඊළඟ දිනයට “මම ඒ පොත් දෙකම ඉරලා දැම්මා” )