ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක් – චෝදනා ගොනු නොකොට වසර එක හමාරක් රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප දෙමින් අභියාචනාධිකරණය කියයි !

Share post:

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලවත් අගතියක් සිදු වන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතළකම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවන බවත්, අධිකරණය නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ද සැලකිල්ලට ගත යුතු බවත් වසර එක හමාරක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට ඇප ලබාදෙමින් අභියාචනාධිකරණය පසුගියදා අවධාරණය කළේය.

අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 116ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2022 ජනවාරි 01දා සිට රිමාන්ඩ් බාරයේ පසුවූ කොළඹ, මට්ටක්කුලියේ පදිංචිකරුවකුට ඇප නියම කරමිනි.

අදාළ සැකකරුගේ බිරිඳ ගොනු කළ මෙම අභියාචනය සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් විභාග කරන ලද අතර, සම්පත් බී. අබේකෝන් විනිසුරුවරයාගේ එකඟත්වයෙන් පී. කුමාරරත්නම් විනිසුරුවරයා පසුගිය 11දා මෙම තීන්දුව ලබාදුන්නේය.

පහරදීම්

තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කළ බිරිඳ එම පෙත්සමේ සඳහන් කර ඇත්තේ සැමියා කොළඹ ප්‍රධාන හෝටලයක සීසීටීවී කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන බවත්, ඔහු නිවාඩු දිනවල පෞද්ගලිකව සීසීටීවී අලුත්වැඩියා කටයුතුවල නිරත වන බවත් ය. දිනක් කාන්තාවක් සීසීටීවී අලුත්වැඩියාවකට බව කියමින් නිවසට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත්, මෙම සැකකරු ඒ අනුව එම නිවසට ගිය බවත්, එම නිවසට යද්දී ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තමන්ගේ නිවසට රැගෙන ආ බවත්, එසේ රැගෙන එන විට සැකකරුගෙන් ලේ ගලමින් හා ඇඳුම් ඉරී ගොස් තිබුණු බවත් ඔහුගේ බිරිඳ පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ වන විට සැකකරුගේ බිරිඳ වන පෙත්සම්කාරිය සිටියේ ගර්භණි තත්ත්වයේ මුල් අවදියේ බවත්, ඇය සහ ඇගේ දරුවා ඉදිරිපිටදී ද පොලිස් නිලධාරීන් සැකකරුට පහර දුන් බවත් ඇය පෙත්සමේ සඳහන් කර තිබේ.

මහේස්ත්‍රාත් නියෝග

සැකකරු මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියත්, සැකකරුගේ තුවාල නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රඳවා ගන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇත.

එසේම සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලෙස ද බන්ධනාගාරයට නියෝග කළ බව පෙත්සමේ සඳහන් වේ.

මෙම සැකකරුගේ සන්තකයේ තිබී සැකකටයුතු කිසිවක් අත්අඩංගුවට ගෙන නැති නිසාත්, අදාළ වාර්තාවල ඇති හෙරොයින් පොලිසිය විසින් දැමූ හෙරොයින් නිසාත්, පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරු දරුණු ලෙස පහරකෑමට ලක්වී ඇති නිසාත්, 2022 ජනවාරි 01දා සිට රිමාන්ඩ් බාරයේ පසුවන නිසාත් ඔහුට ඇප ලබාදෙන ලෙස සැකකරුගේ බිරිඳ අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඇපදීමට සුවිශේෂී හේතුවක් ?

කෙසේ වෙතත් පොලිසියේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු යතුරුපැදියකින් යමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 116ක් සමග අත්අඩංගුවට ගත් බවයි. එහි ග්‍රෑම් 91.25ක ශුද්ධ හෙරොයින් තිබෙන බවට රස පරීක්ෂක දැනුම් දුන් බව ඇප ලබාදීමට විරෝධය දක්වමින් රජයේ නීතිඥවරිය දැනුම් දුන්නාය. ඇප ලබාදීම සඳහා සුවිශේෂී හේතුවක් ඉදිරිපත් වී නැති බව ද මෙහිදී නීතිඥවරිය සඳහන් කළාය.

බරපතළ අඩුපාඩුවක් !

සියලු කරුණු සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය සඳහන් කළේ ඇප ලබාදීමට ඇති සුවිශේෂී අවස්ථා මොනවාදැයි යන්න ඒ ඒ සිද්ධියට අනුව එහි ඇති කරුණු සහ තත්ත්වයන් මත තීරණය කළ යුතු බවයි.

මෙම නඩුවේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලැබී ඇත්තේ 2022 නොවැම්බර් 17 දින බවත්, එසේ වුවද මේ දක්වා අධිචෝදනා ගොනු කිරීමට පැමිණිල්ලට නොහැකි වී ඇති බවත්, මෙය නඩු පවරන පාර්ශ්වයේ බරපතළ අඩුපාඩුවක් බවත් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

අයිතියක් !!

අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නඩු විභාගයක් පවත්වා ගැනීමට ඇති අයිතිය බොහොමයක් අන්තර්ජාතික හා කලාපීය මානව හිමිකම් යන්ත්‍රණවල සඳහන් වන බව, ඊට උදාහරණ ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ, මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා සම්මුතියේ, මානව සහ ජනතා අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තියේ සහ මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා වන යුරෝපා සමුම්තියේ අදාළ වගන්ති ගෙන හැර දක්වමින් අභියාචනාධිකරණය නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

දඬුවමක් ?

යම් පුද්ගලයකු සැලකිය යුතු කාලයක් චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තබාගෙන සිටින්නේ නම් ඔහු හෝ ඇය අධිචෝදනා ඉදිරිපත් කරන තෙක් ඇප මත මුදාහැරිය යුතු බව ද, එසේ නොවුවහොත් එය බන්ධනාගාර තදබදයට හේතු වනු ඇති බව ද, දඬුවම් ලෙස කිසිවිටෙක ඇපදීම නොතැබිය යුතු බව ද, ඇප ලබාදීම මූලික වශයෙන් අධිකරණයේ අභිමතය බව ද, එම අභිමතය එක් එක් සිද්ධියේ කරුණු සහ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද අභියාචනාධිකරණය මෙහිදී අවධාරණය කර තිබේ.

අධික පීඩාකාරීයි !

නඩු නොපවරා රිමාන්ඩ් බාරයේ දීර්ඝ කාලයක් තබාගැනීම අධික පීඩාකාරී බවත්, කිසිදු චෝදනාවක් ගොනුනොකර සැකකරුවකු රිමාන්ඩ් බාරයට පත්කිරීමෙන් ඔහුගේ අයිතිවාසිකම්වලට සහ ඔහුගේ පවුලට ද අගතියක් වනු ඇති ඇති බවත් සඳහන් කරමින් මෙම සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අභියාචනාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංදීපනී විජේසූරිය පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ රිද්මා කුරුවිට පෙනීසිටියාය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටියහ.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...