පරාක්‍රම කොඩිතුවක්කු, ටිම් රාන් කීර්ති, මහින්ද ප්‍රසාද් මස් ඉඹුල වැනි කවීන්ගේ අත්දැකීම හෙවත් විෂය හා අදහස ව්‍යුහමය සැකැස්මට වඩා ප්‍රබලය.
_ ලියනගේ අමරකීර්ති _නවකවි සලකුණ කවියක
අර්ථය එහි සංකල්පනාව මත පමණක් නොව ආකෘතිය හා භාෂාව මත ද රඳා පවතින බව එම විවේචක තර්කණයේ (critical argument) හරය විය .මෙහිදී අරථය යනුවෙන් අප අදහස් කරන්නේ කවියේ භාවය නොව කවිය එනමින් වූ ලේබලය යටතේ පැවතීමට හැකි ප්‍රපංචමය ස්වරූපයයි.ඒ මත සාධ්‍යතා තර්ක (ontological argument) හා ශානරීය විචාරය (genere criticism) ගොඩ නැගීමට ඇති හැකියාවයි .
එරික් ඉලයප්ප ආරච්චි_විචාර පත්‍රිකා
නදුන් යසිතගේ නවතම කව්‍ය සංග්‍රහය වෙත එළඹෙන කෙනෙකුට ඉහත සඳහන් අදහස් දෙක දෙස සංසන්දනාත්මකව සිතා බැලීම වැදගත්වේ . නඳුන්ගේ සුළඟෙහිම සුළඟක්ව කෘතියේ සිට මේ නවතම කාව්‍ය සංග්‍රහය වෙත එන ගමන දෙස පරීක්ෂාකාරිව බැලූ විට පෙනෙන්නෙ ඔහුගේ කවිය හුදෙක් සිත සසල කරන අත්දැකීමක් මතින් පාඨකයා වසඟ කරගන්නා කවියක් නොවන බවයි . නඳුන්ගේ කවිය තුළ නිශ්චිත ලෙස අත්දැකීම යැයි වෙන් කර ගත හැකි දෙයක් නැති තරම් ය. ටී.එස්. එලියට්ගේ වාස්තවික සහසම්බන්ධතාවය යන ඉගැන්වීමේ දී කියවෙන පරිදි එකිනෙකට වෙනස් අවස්ථා රැසක් සමෝධානයෙන් කවිය බිහිවන ලකුණු නඳුන්ගේ කවියෙන් ප්‍රකට වෙයි .
නදුන්ගේ කවියේ ශිල්පීය උපක්‍රම පමණක් නොව ඔහුගේ අධ්‍යාත්මයේ සිදුවෙමින් පවතින පරිවර්තනය ද වටහා ගත හැකි කවියක් ලෙස පහත දැක්වෙන කවිය ගෙන හැර දැක්විය හැකිය.
භූවිෂමතා වෙනස් වූ භූමියකි මම
භූකම්පනයකින් පසුව
ඉරිතලා ගිය තැනක
භූවිෂමතා වෙනස් වුණු
භූමියකි මම
දැන මම ඉරිතලා ගිය බැවින්
අලුත් වී ගිය තැනකි
ඔබ මින් පෙරදි නොපැමිණි
මා මතින් ගමන් කළ ගඟ,
ඔබ වෙන මගක යා යුතුය
සිතියම වෙනස් කළ යුතුය
කමටහන් ලෙස දෑතට
කුඩා වැලි අහුරක්
අරන් යායුතුය
කොහේ හෝ නඳුනන පෙදෙසක
මලක් සුපිපෙන නිම්නෙක
ඒ මතක භූමිදානය කර
අලුත් ගමනක් යායුතුය.
මේ කවියේ එන භූමිකම්පාව කවියේ කේන්ද්‍රීය රූපකය ලෙස ගත හැකිය. භූමිය මතින් ගලායන ගඟ වෙනස් දිශානතියක් ගත යුතු වන්නේ ඒ භූමිකම්පනය හේතුවෙනි . සැබෑ පරිවර්තනයක් වෙනුවෙන් වැළඳගත් බොහෝ දේ අත් හළ යුතුය. එලියට්ගේ මේජායිවරුන්ගේ ගමන වැනි කවියකින් ද ස්පර්ශ කරන්නේ මෙබඳු තේමාවකි .
නඳුන්ගේ ‘ඔබෙ වලාකුළු වචන මට දෙන්න’නම් නිමැවුම ඉතා සියුම් නිර්මාණයක් ලෙස දැනෙයි. ඒ කවිය මෙතෙක් සිංහල කවියන්ගේ භාවිතයට වඩා වෙනස්කම් පෙන්වන කවියක් යැයි කීම අතිශයෝක්තියක් නොවෙතැයි සිතමි.
හෙමින් ඈතට පාවෙමින් යන
ඔබෙ වලාකුළු වචන මට දෙන්න සවසක
නිහැඬියාවක කල්පනාවක
මිදී ගන වී ඉන්න මොහොතක්
ඝනව පාවී යන්න ඈතට
වැස්ස අහුලා ගන්න හැකි වෙද
බිඳිති පමණද අරුත වැස්සක?
වසින වැහි ස්වර එහිම තෙත බර
නොදැවටී වැසි විඳිනු කෙලෙසද?
වලාකුළ නම් වචන ඇතුළත
කැටිවෙමින් ඇති අරුත කෙබඳුද
එවැනි අරුතක වචන ඇති ඔබ
වැස්ස ලෙස රවටා අපේ සිත
සිනාසෙන්නෙද අහස කෙළවර?
එවන් වූ ඔබෙ තෙත වලාකුළු
අරුත් බර ඒ වචන දෙනු මැන
එහෙම කැටිකර එකට බැඳ ඇති
වචන අතරෙහි මැවෙන අරුතෙහි
ගිලී මොහොතක් ඉන්න දෙනු මැන
වචන නම් වූ වලාකුළකට
වහින්නට ඉඩ දෙන්න නිහැඬිය
ඉන්පසුව වුව නොවෙනස්ව යළි
පාව යන්නට හැකි බවක් ඇති
අන්න එවැනිවු ඔබෙ වලාකුළු
වචන අරුතක් දෙන්න මා හට
නෙක හැඩැති රූ මවා ගන්නට
යළිදු විසිරී බිඳී යන්නට
වලාකළුවල ඇති විව්ධ ලක්ෂණ නඳුන් සියුම් ලෙස කවියට රැගෙන එයි . වලාකුළු හැඩය වෙනස්වෙමින් තුනී වී යැම, වලාකුළු තුළින් සියුම් වැසි බිඳු හට ගැනීම, වලාකුළුවල ඇති පාවෙන ස්වභාවය ආදී ලක්ෂණ කථකයා ඔබ යැයි අමතන තැනැත්තියගේ වචන යන දෙය ඉසියුම් ලෙස ස්පර්ශ කරයි . කවියේ අත්දැකීම මෙයයි. කවියේ අර්ථය මෙයැයි ආදී වශයෙන් කෙරෙන සරල විමසීම්වලට ඉඩ නොදෙන මේ කවිය නඳුන් දීරඝකාලීන අභ්‍යාසයෙන් අත්පත් කර ගත් සම්පතක් බඳු යැයි සිතෙයි .
නඳුන්ගේ කවියේ සංරචන ක්‍රම එක් වරම පාඨකයා වසඟ කරන භාවිතයක් නොවේ. තනි තනි වචන ඔපමට්ටම් කිරීම වෙනුවට කවිය තුළ ඔහු සකස් කරන ව්‍යුහය තුළ අර්ථජනනීය ශක්‍යතාවයක් ගැබ් කරන්නට ඔහු වෙහෙසෙයි . නඳුන්ගේ මේ නිමැවුම් කෙරෙහි අවසන් විනිශ්චයක් ලෙස යමක් නොකියමින් මේ කවිය සිංහල කාව්‍යභූමියේ මුල් අදින ස්භාවය,ඊට ගතවන කාලය, ඒ සඳහා අවශ්‍ය කතිකා අවකාශ බිහිවීම ආදිය දෙස ඉවසීමෙන් බලා සිටින්නටත්, ඔහුගේ කවියේ මට අසුනොවන මාන වෙන පුහුණු පාඨකයකුගේ ඇසින් බලන්නටත් මම මග බලා සිටිමි.