මං සාධාරණව වැඩ කළා – මෛත්‍රී : රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව ලබාදුන් ආකාරය අදහාගත නොහැකි තීරණයක් – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

Share post:

රෝයල් පාක් ඝාතන සිදුවීමට අධිකරණයෙන් වරදකරු කරන ලද ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමේදී තමන් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළ බවත්, සෑමවිට ම සාධාරණව කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණි.

මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා  මෙම දැනුම්දීම සිදු කළේය.

බලපෑම

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය ජුනි 12දා අනාවරණය විය.

විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මෙම කරුණ අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි.

මොන බලයක් ද ?

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබූ ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේය.

එම ලිපියේ අන්තර්ගත කරුණුවලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

මේ ආකාරයේ ඉල්ලීමක් කිරීමට මෙම පුද්ගලයන්ට පවතින නෛතික බලය කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බවත් අනාවරණය කළේය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේ මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බව පෙනී යන බවය.

මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.

නොමග ගිය ජනාධිපති ?

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමඟ යැවීමක් කර තිබේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනකියා සිටියේ, මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ යැවීමක් කර ඇතැයි පෙනී යන බවය.

කැබිනට් කමිටුවකට පුළුවන් ද ?

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන ලේඛන පිරික්සීමේදී අදාළ සමාව ප්‍රදානය කිරීමේ කටයුත්ත එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදු වී ඇතැයි පෙනී යන්නේ යැයි කියා සිටියේය.

මෙම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම වරදකරුට සමාව ලබාදීමට නිර්දේශ කිරීමේ දී අදාළ කමිටුව විසින් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණයේ තීන්දුව වැරැදි ලෙස අර්ථකථනය කරමින් අදාළ කමිටුව තම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල පවතින ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බව මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා විවෘත අධිකරණයේදී පෙන්වා දෙනු ලැබීය.

වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටළු සහගත බව විනිසුරු තුරයිරාජා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබීය.

සිදුවීම කුමක්ද ?

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 ජුනි 30දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේදී ම අත්අඩංගුවට ගැනිණි.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවෝන් ජොන්සන්ගේ ගෙල ඇඟලා සිටි ඇඳුමකින් සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට වසර 12ක සිර දඬුවමක් නියම කෙරිණි.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබාදුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබාදුන්නේය.

මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට අදාළ ව තීන්දුව ලබාදෙන ලදි.

Related articles

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...