පාඨකයා ප්‍රේක්ෂකයකු බවට පත් කරන දෘශ්‍ය රෑප පිටාර ගලන බසක් පිරුණු ‘කුකුළෙක් අතින් ගත් කිකිළි’

Share post:

සිතුවමක අර්ථය සෙවීම මෙන්ම ජීවිතයේ අර්ථය සෙවීමත් නිස්සාර ප්‍රයත්නයක් ද? ලුම්පන් ජීවිතයක් තුළ බොහීමියානු රිද්මයක් පැවතිය නොහැකි ද? එමෙන්ම බොහීමියානු පැවැත්මක ලුම්පන් ලාලසාවක් නොතිබේ ද? අතීතය සහ අනාගතය යනු වර්තමානයම ද? බැඳීම සහ අත්හැරීම අතර ඇත්තේ වෙනසක් ද නැතහොත් සාම්‍යයක් ද?

මංජුල වෙඩිවර්ධනගේ නවතම කෙටිකතා සංග්‍රහය වන කුකුළෙක් අතින් ගත් කිකිළි සහ රත්මලානේ වෙනත් කතා කියවූ විට ඉහත ප්‍රශ්න නිරායාසයෙන් සිතට නැඟේ. මෙය මීට පෙර ඔහු රචනා කළ දුෂ්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා කෘතියේ දිගුවක් ලෙස සැලකිය හැකිය. ඔහුට රත්මලාන යනු නොසිඳෙන කතාසරිත් සාගරයකි.

අර්ධ නාගරික ලුම්පන් චරිත මෙම කෙටිකතා බහුතරයකට විෂය වේ. මෙම චරිතවලට ජීවිතය යනු අහස පොළොව ගැටලන කල්පනාවන්⁣ සමඟ කරන පොරබැදීමක් නොවේ. ඊට වඩා ඔවුනට එය දෛනිකත්වයේ වත්මන් නිමේෂය සමඟ සහවාසයේ යෙදීමකි.ඔවුන්ගේ ජීවිත තුළ සෞන්දර්ය ගොඩ නැඟෙනුයේ අතීතයත් අනාගතයත් වර්තමානයට නාභිගත කිරීමෙනි. එවිට අතීතය, වර්තමානය සහ අනාගතය ද දෛනිකත්වය සහ උත්කෘෂ්ටත්වය ද යථාර්ථය සහ මායාව ද එකම මොහොතක පවතී. ලුම්පනීයත්වය තුළ බොහීමියානු බවත් බොහීමියානු බව තුළ ලුම්පනීයත්වයත් පවතී. මංජුලගේ පරිකල්පනය සැරිසරන්නෙ මෙවන් ප්‍රතිවිරෝධතා ඒකාත්මික වන ප්‍රබන්ධ අවකාශයකය.

මංජුල මෙම කෙටිකතා බොහොමයක රත්මලානීය ලුම්පත් බස්වහර නොඅඩුව යොදා ගනී. එය පාඨකයා ප්‍රේක්ෂකයකු බවට පත් කරන දෘශ්‍ය රෑප පිටාර ගලන බසකි. එමෙන්ම එය භාෂාවේ දෘශ්‍යමය අලංකාරය තුළ පවත්නා අනෙකාගේ බැල්මට පාඨකයා ගොදුරු කර ගැනීමට සමත් භාෂා ව්‍යවහාරයකි. ලුම්පන් අවකාශය ඉක්මවා යාමට පාඨකයාට හැකියාව සලසන ලුම්පන් ව්‍යවහාරයකි. එම දෘශ්‍යමය හැඟවුම් ආත්මීයය; දේශපාලනිකය; සාමාජීයය; සංස්කෘතිකය. මේ ආකාරයේ බහුවිධ හැඟවුම් දැකීමට සලස්වන දෙබස් ඛණ්ඩයක් නිදසුනක් ලෙස දැක්විය හැකිය. එය වාම දේශපාලනික අදහස් ඇතැයි සිතිය හැකි තරුණයන් දෙදෙනෙකු සමඟ වෙසෙන තරුණියක් ඔවුන් දෙදෙනාගේ අතීරණාත්මක බව උපහාසයට ලක් කරන ප්‍රකාශයකි.
“යකෝ හැමිණෙද්දි විතරද තොපේ පිරිමිකම? තොපේ සෙල්ලම් හැටහුටාමාරම? ඇත්ත මානුෂීය ප්‍රශ්නයක් ගෙනැල්ලා ඇස් ගෙඩි ඉස්සරහින් තිබ්බහම…..මෙන්න ඇට දෙකත් එක්ක හීතල වෙලා.”

සැබැවින්ම , මංජුල වෙඩිවර්ධනගේ ‘කුකුළෙක් අතින් ගත් කිකිළි’ කියවීමෙන් භාෂාවේ දෘශ්‍යමය අලංකාරය නම් වූ අනෙකාගේ බැල්මෙන් සලිතවීමේ අත්දැකීම පාඨකයාට නොමඳව ලබා ගත හැකිය. අර්ථ සොයා යාමේ නිරර්ථක උත්සාහයට වඩා ජීවිතයේ සෞන්දර්ය පවතින්නේ මෙම සලිත වීමේ ලාලසාව තුළ නොවේද ?

උදිත අලහකෝන්

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...