මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…

Share post:

නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක මගේ ෆැන්ටසි පරමාදර්ශ ඇතුලේ ”විප්ලවයක්” වෙනකල් බලාන හිටිය. හැබැයි මම කවදාවත් විසි වෙනි සියවසේ පරණ ආකෘතියේ විප්ලවයක් සිදුවෙයි කියල හිතුවේ නැහැ.

මම හිතුවේ 1917 රුසියන් විප්ලවයත් නොවන, 1949 චීන විප්ලවයත් නොවන, 1959 කියුබන් විප්ලවයත් නොවන වෙනස්ම මාදිලියේ ලාංකික විප්ලවයක් ගැන.

එහෙම එකක් සිද්ද උනෙත් නැහැ. පරණ එක සිද්ද උනෙත් නැහැ. ඒ වෙනුවට බලය අමුතු විදියකට හුවමාරු වෙලා තියනවා. අලුත් මාස්ටර් කෙනෙක් ඇවිල්ල ඉන්නවා.

හැබැයි අරගලයේ හිටපු හුඟක් අය අනුරාගික උනේ තම තමන් අරගලය ඇතුලේ විකසිත කළ අනන්‍යතාවට. ලිබරල් අය ලිබරල් අනන්‍යතාවට ආශා කළා. වමේ අය වමේ අනන්‍යතාවට ආශා කළා. පක්ෂ වලින් ආපු අය පක්ෂ අනන්‍යතාවට ආශක්ත වෙලා හිටිය. ලිංගික අනන්‍යතා එක්ක ආපු අය එයාලගේ එකට අනන්‍ය උණා. අතුරුදහන් වූවන් වෙනුවෙන් ආපු අය එයාලගේ එකට. ආගමික අය ඒ පැත්තට. ෆන් එකට ආපු අය ඒ පැත්තට. චිත්‍ර අඳින්න ආපු අය ඒකට. සින්දු කියන්න ආපු අය ඒ පැත්තට. රඟපාන්න ආපු අය ඒ පැත්තට. විකල්ප බලශක්ති අය ඒ එක්ක. පරිසරවාදීන් ඒ එක්ක. සත්ව අයිතීන් එක්ක ආපු අය ඒ එක්ක. …සහ මෙකී නොකී බොහෝ අනන්‍යතා රැගෙන ආපු අය ඒ එක්ක එයාලට හැකි පමණ කළා.

ඒ නිසා අරගලයට වෙන කවදාවත් නැති ලස්සනක් ආව.

හැබැයි කවුරුවත් ඒ අනන්‍යතා එක මොහොතක සම්පුර්ණයෙන් අමතක කරලා වෙනත් හැඟවුමක් (unknown signifier) වටා එකතු වෙන්න පුළුවන් පොදුවේ විප්ලවීය මොහොතක් එළඹිය හැකි බවටත්, ඒ මොහොත විසින් සියල්ල එකවර කණපිට ගැසිය හැකි බවටත්, මුල්වරට ලෝක ගෝලයේ පුංචි ඇටේක ඓතිහාසික නිමේශයක් එළඹෙන්න පුළුවන් කියල වත් පරිකල්පනය කළේ නැහැ කියල හිතෙනවා.

අපි එවන් මොහොතක් ගැන අතිශය අනුරාගික වුණේ නැහැ සහ ඒ වෙනුවෙන් අපේ අනන්‍යතා අත්හරින්න සූදානම් වුණේ නැහැ කියල හිතෙනවා. එහෙම මොහොතක් උදාකරගන්න සහ පවත්වා ගෙනයන්න (sustain) ඕනි මූලික එකඟතා කිසිවක් අපි අතරේ (විවිධ දේශපාලන ප්‍රපංච අතරේ) තිබ්බේ නැහැ කියල හිතෙනවා.

ඒ නිසා ඒ ඓතිහාසික මොහොත අපේ ඇඟිලි අතරින් රූටා ගියා.

අපි අපේ ඊගෝ එක අත්හැරලා, අනන්‍යතාවලට අනුරාගික වෙනවා වෙනුවට පොදු විප්ලවයක් වෙනුවෙන් අනුරාගික උනානම්….
එහෙම උනානම් මොකක් වෙයි ද කියල ඔයාල මගෙන් ඇහුවොත් මටත් එකවර දෙන්න උත්තරයක් නැහැ. හැබැයි ඒ උත්තර නැති එක තමයි වඩාත් විප්ලවීය….

මොකද උත්තරය කියන්නේ අපි විසින් හොයාගත යුතු දෙයක්. කවුරුවත් ගෙනත් දෙන දෙයක් නෙවෙයි.

”මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේම ඉදිරියට යන්න” (ලෙනින්).
”Remember. Repeat. Work Through” (Lenin).

මහේෂ් හපුගොඩ

2023-07-09

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...