ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කටයුතු කළ යුතු බව දක්වා ඇත. අවිංසාවාදී දහමක් වන බුදු දහම තුළ සත්ව කරුණාව ද අනිවාර්‍යය අංගයක් වේ. මේ නිසාම සත්ව හිංසාව පිටු දකින ආකල්ප සහිත සමාජයක් වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව පවතී. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ අතර සුවිශේෂී ලක්ෂණයක් වන පෙරහර සඳහා ද ඇතුන් යොදාගන්නේ බොහෝ කාලයක සිටය. නමුත් මෙවන් සංස්කෘතික අංග හරහා ඇතුන් හිංසාවට ලක් වන බවට විවේචනයක් තිබූ අතර මේ වන විට එම විවේචනය සමාජ විරෝධයක් දක්වා වර්ධනය වී ඇත. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ අලි ඇතුන් ඇති කිරීම සහ හිංසාවට ලක් කිරීම සම්බන්ධ නීතිමය පැතිකඩයි.
වන සතුන් සම්බන්ධව ප්‍රතිපාදන සලසා ඇති ප්‍රධාන පනත ලෙස 1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත (Fauna and flora protection ordinance ) පෙන්වා දිය හැකිය. මෙම පනතේ පූර්විකාවේ පහත ආකාරයට සඳහන් වේ.
“ශ්‍රී ලංකාවේ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ද:එම වන සතුන් සහ වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස සහ වෙනත් ආකාරයට අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වැලැක්වීම සඳහා ද:ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ද: ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ ආඥාපනතකි”
මේ අනූව මෙම පනත මගින් ආවරණය වන්නේ ශ්‍රී ලංකාවේ වන සත්වයින් පමණක් බවත් විදේශවලින් ගෙන්වන ලද ජීවීන් ආවරණය නොවන බවත් පැහැදිලි ය.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 02 කොටසේ ඇතුලත් 12 වන වගන්තියේ සිට 29 වගන්තිය දක්වා “ඇත්තු” සම්බන්ධව ප්‍රතිපාදන සලසා ඇත. එම ප්‍රතිපාදන මොනවාද යන්න අපගේ මාතෘකාවට අදාලව කෙටියෙන් විමසා බලමු. පනතේ 12 වගන්තියේ දක්වා ඇත්තේ ජාතික රක්ෂිත භූමියකින් හෝ අභයභූමියකින් පිටතදී යම් ඇතකු දඩයම් කිරීම, වෙඩි තැබීම, මැරීම, තුවාල කිරීම හෝ ගැනීම කිසිම තැනැත්තෙකු විසින් නොකළ යුතු බවයි. මෙම වගන්තියේ රක්ෂිත භූමියකින් සහ අභයභූමියකින් පිටතදී යනුවෙන් විශේෂ වච යොදාගැනීමට හේතුවක් තිබේ. එනම් රක්ෂිත භූමියක් තුළ දී හෝ අභයභූමියක් තුළදී ඕනෑම සතෙකු අල්ලා ගැනීම, තුවාල කිරීම සහ මැරීම ආදී ක්‍රියා එනයින්ම අපරාධමය වැරදි වන නිසාය. ඉහත 12 වන වගන්තියට ව්‍යතිරේඛී අවස්ථාවක් 13 වගන්තියේ ඇත. එහි දක්වා ඇත්තේ රක්ෂිත භූමියකින් බැහැර වූ යම් භූමියක ඇතෙකුගෙන් යම් පුද්ගලයෙකුට, ගෙයකට, පලදාවකට, වැවිල්ලකට හෝ වෙනත් දේපලකට හානි සිදු වීමට ඉඩ ඇති අවස්ථාවක එම ඇතා අල්ලාගැනීමට හෝ එලවා දැමීමට අවශ්‍ය පියවර වන සත්ව සංරක්ෂණ අධ්‍යක්ෂකට ගත හැකි වේ.තවද එම ඇතාට වෙඩි තැබීමට, මැරීමට හෝ අල්ලාගැනීමට යම් තැනැත්තෙකුට බලය පවරමින් බලපත්‍රයක් නිකුත්කිරීමේ බලය ද අධ්‍යක්ෂකට වේ.නමුත් එම බලපත්‍රයමත යම් ඇතෙකු අල්ලා ගැනීම හෝ මැරීම සිදු කරන ලද අවස්ථාවක ඒ සම්බන්ධව නොපමාව අධ්‍යක්ෂක හෝ පොලිස් නිලධාරියෙකු දැනුවත් කළ යුතු වේ.
මෙම පනතේ 02 වන කොටසට අදාලව ඇති වගන්ති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයෙකුට ලබා දිය හැකි දඬුවම් මොනවාද යන්න දැන් විමසා බලමු.ඒ සම්බන්ධව ප්‍රතිපාදන 20 වන වගන්තියේ දක්වා ඇත. ඒ අනූව යම් ඇතෙකු දඩයම් කරන , වෙඩි තබන, මරන, තුවාල කරන, අල්ලා ගන්නා, පසු පස යන හෝ ලුහු බඳින හෝ යම් ඇතකු මැරීමට ,තුවාල කිරීමට හෝ අල්ලාගැනීමට යම් විදුලි රැහැනක් භාවිතා කරන හෝ යම් ඇතෙකුට හිංසා කිරීමට යම් ආකාරයක උපක්‍රමයක් භාවිතා කරන පුද්ගලයෙකු වරදක් සිදු කරනු ලබන අතර වරදකරු කරනු ලැබීමේ දී රුපියල් එක් ලක්ෂ පනස් දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂ පහකට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි සිරදඬුවම් ලබා දීමේ හැකියාව ද පවතී.
යම් පුද්ගලයෙකු සන්තකයේ ඇතෙකු සිටී නම් එම ඇතා ලියාපදිංචි කළ යුතු බව පනතේ 22අ වගන්තියේ දක්වා ඇත.ඒ අනූව ලියාපදිංචි නොකරන ලද අලි ඇතුන් තබා ගැනීම අපරාධමය වරදකි. පනතේ පූර්විකාව අනූව ශ්‍රී ලංකාවේ වන සත්වයින් ආරක්ෂා කිරීමට මෙම පනත පනවන බව දක්වා ඇති හෙයින් මෙම වගන්තිය බලපවත්වන්නේ ලංකාවේ අලින්ට පමණක් ද යන්න මීළඟට විමසා බැලිය යුතු වේ.28 වගන්තියේ දක්වා ඇති අර්ථනිරූපණය පහත දැක්වේ.
” “අලියා” යන්නෙන්, අලියකු අදහස් වන අතර ඊට දළ ඇතකු ද ඇතුලත් වේ. එමෙන්ම 22අ යන වගන්තියේ කාර්‍යාය සඳහා හීලෑ හෝ ගෘහාශ්‍රිත අලියකු හෝ දළ ඇතකු ද ඊට ඇතුලත් වේ “
ඉහත අර්ථනිරූපණය අනූව දේශීය හෝ විදේශීය ඕනෑම අලියෙකු සන්තකයේ තබාගැනීම සදහා ලියාපදිංචි කළ යුතු බව පැහැදිලි වේ.
ඇතුන් සම්බන්ධ වැරදි බොහෝමයක් සිදු වන්නේ ඇත් දළ ලබා ගැනීම සඳහා කරනු ලබන විවිධ උත්සාහයන් හරහා වේ. ඇතුන්ගේ දළ සන්තකයේ තබාගැනීම නීත්‍යානුකූල ද යන්න මීළඟට විමසා බැලිය යුතු වේ. පනතේ 24 වගන්තියේ දක්වා ඇත්තේ නියමිත නිලධාරියෙකු වෙත ලියාපදිංචි කර ඇත්නම් මිස ඇත් දළයක් හෝ ඇත් දතක් හෝ ඇත් දළයක හෝ ඇත් දතක කොටසක් සන්තකයේ තබාගැනීම වරදක් බවයි. එවන් වරදකට වරදකරු වන්නෙකුට රුපියල් 30,000 කට නොඅඩු සහ රුපියල් 150,000 කට නොවැඩි දඩයක් හෝ අවුරුදු 02 කට නොඅඩු සහ අවුරුදු 05 කට නොවැඩි සිරදඬුවමක් ලබස් දීමට අධිකරණයට බලය තිබේ.එසේම ලියාපදිංචි නොකළ එවන් ඇත් දළයක්, දතක් හෝ එවැන්නක කොටසක් පොදු දේපලක් ලෙස සැලකිය යුතු බවත් එය සම්බන්ධව 1982 අංක 12 දරණ පොදු දේපලවලට එරෙහි වැරදි පනතේ විධිවිධාන අදාල විය යුතු බවත් දක්වා ඇත. මෙම ප්‍රතිපාදන සුපරික්ෂාකාරීව අධ්‍යනය කිරීමේ දී පෙනී යන්නේ ලියාපදිංචි කොට තම සන්තකයේ තබා ගෙන සිටි ඇතෙකු මියගිය පසුව වුවද එම ඇතාගේ දළ හෝ දත් තබා ගැනීම සඳහා ලියාපදිංචි කොට තිබීම අනිවාර්ය බවයි.
මීළඟට අපි අපගේ අවධානය ඇතුන්ට හෝ අලින්ට හිංසා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ නීතිමය තත්වය සම්බන්ධව යොමු කරමු.1907 අංක 13 දරණ සත්ව හිංසා වැලැක්වීමේ ආඥාපනත (Prevention of cruelty to animals act) මේ සම්බන්ධව ප්‍රතිපාදන සලසා ඇති පනත වේ.පනතේ 02 වගන්තිය අනූව යම් සතෙකුට කෲර ලෙස පහරදීම, හිරිහැර කිරීම, කෲර ලෙස සැලකීම, වධහිංසා කිරීම, යම් වේදනාවක් ගෙන දෙන ක්‍රියාවක් කිරීම හෝ නැවක, බෝට්ටුවක, වාහනයක, පෙට්ටියක, කූඩුවක හෝ වෙනත් ආකාරයකින් සතාට වේදනා ගෙන දෙන ආකාරයෙන් රැගෙන යාම වරදක් බව දක්වා ඇත. මෙවැනි වරදකට වැරදිකරු වූ අයෙකුට රුපියල් 100 ක දඩයක් හෝ මාස 03 ක් දක්වා සිරදඬුවම් ලබා දීමට අධිකරණයට බලය තිබේ.එසේම යම් සතෙකුට කරනු ලැබූ කෲර ක්‍රියාවක් හේතුවෙන් එම සතා මියගියහොත් ඒ සම්බන්ධව වරදකරු වන්නාට රුපියල් 100 ක දඩයක් හෝ මාස 06 ක් දක්වා සිරදඬුවම් ලබා දීමට අධිකරණයට බලය ඇත. මෙම පනත දෙස බැලීමේදී මෙම පනත බොහෝ කලකින් සංශෝධනය නොවී තිබීම නීතියේ අඩුපාඩුවක් බව පෙනේ. පනතේ වැරදිවලට අදාලව දක්වා ඇති දඩ මුදල් සහ සිර දඬුවම් ප්‍රමාණවත් නොවන බව මාගේ පුද්ගලික මතයයි.
ඉහත නෛතික ප්‍රතිපාදන දෙස විමසිලිමත්ව බලන විට අලි ඇතුන්ට කිසි ආකාරයකින් හිරිහැර කිරීමට අයිතියක් ඇතාගේ හෝ අලියාගේ නීත්‍යානුකූල හිමිකරුට හෝ නොමැති බව පෙනේ. මෙවන් නීතිමය ප්‍රතිපාදන තිබුන ද ඒවා නිසිආකාරයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සමාජ මාධ්‍ය සහ අනෙක් මාධ්‍ය මගින් නිතරම සමාජයට මුදාහැරෙන්නේ විවිධ ස්ථානවල සිර කොට තබා අලි ඇතුන් හිංසාවට පත්කිරීම් සම්බන්ධ පුවත් ය. ප්‍රසිද්ධියේ කරගෙන යනු ලබන මෙවැනි ක්‍රියා අපරාධමය වැරදි වන තත්වයක් තුළ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන නිහඬව සිටීම පුදුමසහගතය. නීතිය පොත්වල තිබූ පමණින් සමාජයක් සුරක්ෂිත වන්නේ නැත. සමාජය සුරක්ෂිත වීමට නම් එය ක්‍රියාත්මක කළ යුතුය. අවසාන වශයෙන් සටහන් කළ යුත්තේ අපරාධ නීතිය ඉදිරියේ විනිර්මුක්තියක් සහිත ගිහි හෝ පැවිදි වරප්‍රසාදිත පන්තියක් මෙලෙස නඩත්තු කිරීම කිසි ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බවයි.