පොලිස්පති නැති නිසා තීරණ ගන්න බෑ : තොරතුරු කොමිසමේ තීන්දුවලටත් බාධා !

Share post:

ශ්‍රී ලංකා පොලිසියට පොලිස්පතිවරයෙක් නොමැති නිසා තොරතුරු පනත යටතේ ලැබෙන අභියාචනාවල තීරණයට අත්සන් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

පොලිසිය මේ බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට දැනුම් දුන්නේ පොලිස් මූලස්ථානයට සහ පොලිස් නීති කොට්ඨාසයට කළ අභියාචනා දෙකක් සිකුරාදා විභාගයට ගත් අවස්ථාවේදීය.

තොරතුරු කොමිෂන් සභාවේ සභාපති උපාලි බේරත්න, කොමසාරිස් නීතිඥ ජගත් ලියන ආරච්චි සහ කොමසාරිස් එම් නහියා ඉදිරියේ මෙම අභියාචනා දෙක විභාගයට ගැණිනි.

ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු නිලධාරීන් ලෙස සියලුම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන්, අධ්‍යක්ෂවරුන්, අණදෙන නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කර ඇති අතර ඔවුන්ගේ තීරණවලට එරෙහිව අභියාචනා කිරීම සඳහා නම් කළ නිලධාරී ලෙස කටයුතු කරන්නේ පොලිස්පතිවරයාය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව පසුගිය සඳුදා (26) අවසන් වීමත් සමග ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයෙක් නැත.

නිලානි පූර්ණිමා සහ නීතිඥ මාධව ඊරියගම විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියාචනා දෙක විභාගයට ගත් අවස්ථාවේදී එම අභියාචනා දෙකෙන් එකක් සඳහා කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු බව සඳහන් කර ඇතැයි තොරතුරු කොමිසම ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ නම් කළ නිලධාරියාගේ තීන්දුව සකස් කර පොලිස්පතිගේ අත්සනට යොමු කර ඇතත් පොලිස්පතිවරයෙක් නොමැති නිසා ඊට අත්සන් ගැනීමට නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු නිලධාරීගේ අත්සන යටතේ එදින උදෑසන තොරතුරක් යැවූ බව පොලිසිය ප්‍රකාශ කළේය. පොලිස් නීති කොට්ඨාසය නඩු කටයුතු සඳහා අධිකරණවලට යෑමට 2022 වසරේ දී වැය කර ඇති වියදම එම තොරතුරු ඉල්ලුම්කරුවන් ඉල්ලා තිබුණ ද ඊට පිළිතුරු ලෙස පොලිසිය සදහන් කර තිබුණේ ඒ බව අභ්‍යන්තර විගණනයක් මගින් තහවුරු කර ගත යුතු බවයි. පොලිස් නීති කොට්ඨාසය නඩු කටයුතු සඳහා යෑමට අදාල වියදම් වෙනම ශ්‍රී ලංකා පොලිසියේ නැති බව පොලිසිය කොමිසමට දැනුම් දුන්නේය. පොලිස් වාහනවලට ගිය වියදම වෙනම ගණනය කර නැති බවත්, අවශ්‍ය නම් වාහනවල ධාවන සටහන් ලබා ගත හැකි බවත් පොලිසිය සඳහන් කළේය.

පොලිස් නීති කොට්ඨාසය විවිධ අධිකරණවලට නඩු කටයුතු සඳහා යද්දී ඊට අදාල වියදමක් වෙනම ශ්‍රී ලංකා පොලිසියේ නැති බව පොලිසිය කියන්නේ නම් එය පිළිගැනීමට සිදුවන බව කොමිසම ප්‍රකාශ කළේය. ඒ අනුව අභියාචනා දෙක අවසන් කිරීමට අභියාචනා පාර්ශ්වය එකග විය.

නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා අභියාචකයන් වෙනුවෙන් කරුණු දැක්වීය.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...