තුවාල, කැළලි යන වචන දකින්නත් ලියන්නත් කුඩා කල පටන් ම බියක් දක්වන මම ‘කැළලිකාරයෝ’ කියවන්න ගන්නෙ අමරකීර්තිගේ නවකතාවල තියෙන විස්මය විඳින්න තියෙන කැමැත්තට.
ඔහු මගේ ගුරුවරයා වීම නිසා මේ ගැන සටහන ලියන්නෙ පොඩි බයකින්. මොකද කිව්වොත් මේ නිර්මාණයේ තියෙන උත්කර්ෂයෙන්, දැනුම් පරාසයෙන් කුඩා ම කුඩා කොටසක් විතරයි මගෙ දැනුමට හසුවෙන්නේ. පොතේ සාධනීය බවට හානියක් වෙයි කියන බය නොනවතින දෙයක්..ඒ වගේ ම මේ සටහනේ දී කතාවෙ සිද්ධි මම ලියන්නෙ නෑ. ගොඩක් අය තවම කියවලා නැති නිසා..
මේකෙ පළවෙනි ම කරුණ තමයි මේ නවකතාව අවසානයේ ඔහු බිහිකරන පාඨකයා අනිවාර්‍ය විචාරශීලී අයෙක් බවට ට පත්වෙන එක..එය කරන ආකාරය සියුම් නිරීක්ෂණයෙන් හසුකරගන්නත් අමාරු යි..
බලගල්ල,දමයන්ත,දිනසිරි වගේ චරිත අපේ ඉදිරියට ගෙනාව කතුවරයා මෙවර ස්ත්‍රී චරිතයක් ප්‍රධාන කරගැනීම ගැන පෞද්ගලිකව මම කැමතියි.
ජීවිතේ හැලහැප්පිලි බොහොමයට මුහුණ දෙන ඒ ස්ත්‍රී චරිතය බොහෝ කතාවල මෙන් අපගේ අනුකම්පාවට ලක්වන අනේ පව් යන්න නිතර පිටවෙන චරිතයක් බවට පත් කිරීමට ඔහු උත්සාහ කරන්නෙ නෑ.
ඒ වෙනුවට මේ ස්ත්‍රී චරිතය ජීවිතයට මුහුණ දෙන විලාසය හරහා ස්ත්‍රිය යන්න එලෙස අනුකම්පාවට ලක් විය යුතු නොමැති ඕනෑ ම ක්ෂේත්‍රයක් තුළ සාධනීව හැසිරිය හැකි චරිතයක් ය යන්න අපට පෙන්වනවා. මෙහි දී නිතර ම ඇය ස්ත්‍රී සුන්දරත්වයෙන් අනූන චරිතයක් බවට පෙන්වා දුන්නත් ඒ අභිබවා ඇය සතු අනෙකුත් විභවතාවන් අප දැකිය යුතුය යන පණිවිඩය සිහිපත් කරනවා.
” අභිමානයෙන් හිස කෙළින් තබාගෙන ඇය පාසල් භූමිය හරහා ඇවිද යන ආකාරය දෙස පිරිමි තුන්දෙනා ම බලාගෙන උන්නා…” 33
මෙහිදී වැන්දඹුවක් ලෙසත් හොරෙන් පැන යාම යන වචනයේ හඳුන්වා දීමක් වූත් ඇය අනෙකුත් පිරිමින් අභිබවා සිය ජීවිත ගමනේ තීරණ තීන්දු ගැනීම නිතර අපගේ අවධානයට ලක් වෙනවා. දීපිකා නමැති මේ ස්ත්‍රිය කතාව පුරා ම හැසිරෙන්නේ පාඨකයා තුළ නිතරම සිතුවිලි එහා මෙහා කරන්නට සමත් අයෙක් විදියට.
ඇය ජීවිතයේ ඒකාකාරී හෝ සංස්කෘතිකමය අවකාශයක රැඳෙමින් ඉන්න අයෙක් නොවෙයි. කෙසේ වෙතත් ඇය පිළිබඳ කථකයා මෙතෙක් ගෙනා ප්‍රතිරූපය යම් තැනක දි දෙදරවා යන්නෙ ඇය ආදරය වෙනුවෙන් තමන්ගේ විභාගය හිතා මතා නිවැරදි ලෙස නොලීම හේතුවෙන්.
තමාට බස් රියදුරුවරයෙක් සමඟ ජීවත් වීමට පහසු වීම වෙනුවෙන් ඇය තමා ” ඩොක්ටර් දීපිකා ” බවට පත්වීමේ සිහිනයට හිතා මතා තිත තබනවා.
මේ කාරණාව දෙස බැලීමේ දී ආදරය යන රාමුව තුළ මෙවන් තීරණ ගන්නා බොහෝ ස්ත්‍රීන් වත්මන් සමාජයේ සිටිනබව නොරහසක්. තමාවත් නොදැන ආදරය නම් ප්‍රවාහය තුළ ගිලෙන කාන්තාමය ඛේදයක් ඒ හරහා සියුම්ව කතුවරයා අපට දක්වනවා..
එනමුදු පසුකාලීනව මැය සිය අරමුණු කරා කෙමෙන් ගමන්කිරීම පාඨකයාගේ සිත සතුටු කරන්නක්..එමෙන් ම ආදරය ලිංගිකත්වය යන පසුබිම් තුළ ඇයගේ හැසිරීම අපූරුයි.
ඒමන්ද ඇය ආදරයේත් රාගයේත් වර්තමානය විදීමට කැමති චරිතයක්. ඇය හා දයාවංශ සසඳාබැලීමේ දී ඇය වත්මනේ අත්විදි ප්‍රීතිය දයාවංශයට අනාගතය ගැන සිතීමට යමෙන් අහිමි වන්නේ වත්මනට පමණක් නොවෙයි අනාගතයටත් එක්කමය. මිනිත්තු එකොලහේ කතාව සිහිගන්වන චරිතයක් විදියට දීපිකා වරෙක අපේ ඉස්සරහට එනවා.
මේ චරිතය වටා එක්වන අනෙකුත් චරිත සියල්ල හරහා අමරකීර්ති පෙන්වා දෙන ජීවන ගමන් මගේ සංකීර්ණතා බොහෝමයි. ඇයගේ මිතුරිය ගිම්හානිගේ චරිතය මෙන් ම ආදිත්‍යගේ චරිතය දීපිකා සමඟ හැසිරෙන භූමිකා පාඨකයා වරින් වර පුදුමයට පත් කරනවා. ( බොහෝ අය තවම මෙය කියවා නොමැති නිසා කතාවේ කොටස් නොකියමි..)
මෙහි දක්වන ප්‍රධාන පිරිමි චරිතයක් වෙන දයාවංශ හා අනෙකුත් චරිත ගැන විමසීමේ දී ඔවුන්ගේ විවිධ සමාජමය හැසිරීම් හසුකරගැනීම වින්දනයක්. දයාවංශ නිතර ම දීපිකාව හිමිකරගැනීමේ දී පසුගාමී චරිතයක් බවට පත් වෙනවා.
ඔහු හරහා සංස්කෘතික රාමුවක් තුළ කොටු වුණ එමෙන් ම තමන්ගේ ප්‍රකෘතිය වසංගා හොඳ මිනිසා යන භූමිකාව පෝෂණය කරන පිරිමි චරිත සංකේතවත් කරනවා. හොඳ මිනිසා යනු ම තම ලිංගිකත්වය ,ආශාවන් වැනි දේ වසංගා සිත තුළ නොමැකෙන වේදනාවක් සනිටුහන් කරගන්නා අය බව මෙහි දී පාඨකයා සිතන්න ගන්නවා.
දීපිකාව ඔහුට අහිමි වීම සිදුවන්නේ සමින්ද හරහා ම නොවෙන බව පේනවා. හොඳ මිනිසා චරිතය ගොඩනංවා ගැනීමට උත්සාහ නොකර සමින්ද නම් බස් රියදුරුවරයා ඇයව හිමි කරගැනීමට සමත් වෙනවා.
දයාවංශගේ සිතුවිලි වෙනස් වීමට සුරංජන යන නව පරපුරේ කලාකරුවා බලපානවා.
නොයෙකුත් සමාජ සබඳතා මිනිස් හැසිරීම් සිතුවිලිවලට කරන බලපෑම ඒ මඟින් හසුකරගන්න පුලුවන්.
තනි මිනිසා යන රාමුවෙන් එපිට දී අත්පත් කරගත හැකි, නොහැකි අවකාශයන් පවතින බව පාඨකයා සිතන්න ගන්නවා.
දීපිකාව හිමිකරගන්නා සමින්ද තුළ වුව ද දීපිකා යනු ග්‍රාමනිලධාරී වරයාගේ දුව යන කාරණාව දැඩි දේ පීඩාවක් ගෙනෙන බව දක්වනවා. එම ඌනනය කිරීමට ඇය අකමැති වුව ත් නිතර නිතර ඔහුට ඇයගේ සමාජ තත්ත්වය මෙන් ම ආර්ථික පසුබිම දෙදනා අතර බැඳීමට බැම්මක් වන බව පෙනෙනවා.
ඒ කෙසේ වෙතත් ඇයගේ දෙමාපියන් දක්වන ප්‍රතිචාර දෙස බැලීමේ දී ඔවුන් හරහා ඇයට දැඩි බලපෑමක් පෙන්නුම් නොකිරීම අපූරුයි. ඇයගේ තීරණ නිතර දැඩි සේ ප්‍රශ්න කරන දෙමාපිය බලපෑමක් ඔවුන්ගෙන් පෙන්නුම් කරන්නෙ නෑ.
ගිම්හානිගේ මරණය සමස්ත අධ්‍යාපන ක්‍රමයටම එල්ල කරන ලද දැවැන්ත විරෝධතාවක් විදියට දකින්න පුලුවන්.වර්තමාන ගුරු භූමිකාව අතිශය දරුණු ලෙස සංශෝධනයට ලක්විය යුතු බව මේ හරහා මතුකරනවා. මිනිසාගේ පොදු සංවේදනා හඳුනා ගන්නා, මනුෂ්‍යත්වය පිළිබඳ සියලු ධර්මතා හඳුනන ගුරුවර පිරිසකගේ අවශ්‍යතාව ඉතා ප්‍රබලයි.
ආදිත්‍ය නම් චරිතය හරහා වයස, නම් සාධකය ආදරයට හා ජීවන හැසිරීම් රාමුගත කරන අංගයක් ලෙස යොදා ගැනීමේ ඛේදයෙන් මිනිසා මුදවා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරනවා. ඔහු යනු නිදහස් මිනිසෙක් බවට පත් කිරීමෙන් ඔහුගේ ආශාවන්,හැසිරීම් නිදහසේ ගලා යාමට සැලැස්වීමෙන් මනුෂ්‍ය ජිවිතයේ පැවතිය යුතු පහසුව ඉඟි කරනවා..එනමුත් ඒ පහසුව අත්පත් කරගැනීමේ දී ජීවිතය මත ඇතිවන කැළල් පිළිබඳ පාඨකයාට පෙන්වා දෙනවා.
විහඟ නම් දීපිකාගේ දරුවා වරින් වර සිතුවම් ගත කරන කැළලි තුළ පාඨකයා ඒවා පිළිබඳ බොහෝ සේ හිතන්න ගන්නවා. ඔහු සිතුවමට ගන්නා කැළලි තම පියාගේ සිරුර මත දුටු කැළලි බව දක්වනවා.
එනමුත් එම කැළලි යනු මනුෂ්‍ය ශරීරය මත තුවාල හරහා ඇතිවන කැළලි ම නොව ඒවා සියලු මනුෂ්‍යගේ ජීවිත තුළ ඇතිවන කැළලි බවට රූපකාර්ථ කරනවා.
මෙහිදී ආදරය,විවාහය ,ස්ත්‍රීත්වය සේ ම දේශපාලන කරුණු වෙත නවකතාවකරුවා ගමන් කරන්නේ ඇගට පතට නොදැනීමය. විහඟ නම් කුඩා දරුවා වත්මනේ ඇළලී ගිය සිංහල මුස්ලිම් ජාතිවාදී කුමන්ත්‍රණයේ ගොඳුරක් බවට පත් කරගැනීමට ක්‍රියාත්මක වන බලවේගවල සියුම් බව කතුවරයා මෙහිදී ඉගි කරනවා. ඒ සඳහා ඔහු සෙබලෙකුගේ දරුවෙකු වීම යන කාරණාව ප්‍රයෝජනටට ගන්නවා සේම ඔහු ඇඳි සිතුවම් ද ඊට බලපානවා. පසුගිය කාලවකවානුව තුළ සිංහල ස්ත්‍රීන් වදභාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සමාජගත වූ ව්‍යාපාරයේ උපහාසාත්මක බව කතුවරයා මෙහිදී සිහියට නගනවා.
නවකතාවේ කතාවට එහා ගිය කතාකීමේ කලාව ගැන නොකියාම බැරිය. අමරකීර්ති සිය නිර්මාණයේ උපරිම විස්මය මතුකරන්නේ මෙය කියන ආකාරයෙන් ය යන්න මගේ අදහසයි. එය නාට්‍යයක් සේ ය. කථකයාම වරින් වරින් පිවිස අපව වර්තමානය වෙත කැදවනවා. අවසානය දක්වා ම ඉතා සංවේදී බැඳීමක් පාඨකයා සමඟ කථකයා ඇතිකරගන්නවා. අවසනදී ඔහුගෙන් මිඳීමට අපහසු ප්‍රමාණයක් දක්වාම එය පැමිණෙනවා.
එමෙන් ම මෙහිදී ඇතැම් තැන්වල ඔහු මතුකරන කුඩා කුඩා වාක්‍යවල පවතින ප්‍රාණය පාඨකයාට චමත්කාරයක් මවනවා. එමෙන් ම ඒවා හරහා නොයෙක් නොයෙක් මානයන් වෙත පාඨකයා සිය මනස මෙහෙයවනවා. ඒ හරහා විචාරශීලී පාඨකයෙක් බිහි කරවීමට අමරකීර්ති සමත් වෙනවා.
මේ ඒ වගේ මම කැමති තැන්..
- “ඔහු කතාවක් කියනවා. අනෙක් අය අවධානෙන් අහනවා..අපේ මේ කතාව ඔබ අවධානෙන් කියවනවා වගේ..” පිටුව 11 ( කථකයාම කියනවා අපි
අවධානෙන් කියවනවා කියලා ) - ” මාතෘභූමියේ සරුසාර ගොඩමඩ දක්වන භූමිදර්ශන ඇඳ ඇඳ උන් විහඟ, මාතෘභූමිය ආරක්ෂා කරන්නට ගිය තාත්තාගේ ශරීරයේ කැළලි අඳින තැනට මාරු උනේ අන්න එහෙම..” පිටුව 52 ( මේවා ඉතිං කලාකාරයො වගේම වගකිව යුතු පුද්ගලයන් නිතර නිතරහිතන්න ඕන කාරණා..)
- ” එහෙත් ඇගේ ම එක්තරා ගුණයක් ඒ බුද්ධි ශක්තිය හෙවනැල්ලකට යට කළා. ඒ ඇගේ රූප ශෝභාව. කවුරුත් වගේ ඇය දැක්කේ ලස්සන කෙල්ලක් විදියට. සමහරු ලස්සන කෙල්ලක් විතරක් විදියට. ඇගේ ශරීරය ඉක්මවා බුද්ධි ප්‍රතිභාව දැක්ක එකම එක එක්කෙනෙක්..”.පිටුව 55
( ස්ත්‍රිය ශාරීරික අංග වලට ඌනනය නොකර අනිකුත් විභවතාවන් හඳින පොදු මනුෂ්‍යයෙක් විදියට දැකිය යුතුය යන කාරණාව ස්ත්‍රීවාදයේ ප්‍රමුඛ තැනක් ) - ” ගෑනුයි අදහසුයි එක ලග තියෙනවා දකින්න පිරිමි ආස නෑ..”281 ( මේකත් ස්ත්‍රී කාරකත්වය , ස්ත්‍රියගේ භූමිකා ප්‍රසාරණය වීම පිළිබඳ සමාජ අදහස)
- ” හැබැයි ඒ ගොඩක් දෙනෙක් මගේ මිතුරියො විතරයි. ඒත් ඒ මිතුරියො මගේ ඇදටත් එනවා කියලා හිතලා එයා ඇඳට එන එක වර්ජනය කරන්න පටන් ගත්ත.ලයිසිස්ට්‍රාටා වගේ..” පිටුව 270
( විවාහ ජීවිතේ කුඩා කුඩා හැප්පිලි..ලයිස්ට්‍රාටා කියන්නේ අපූරු නාට්‍යයක් සියලුම ගැහැනු අය එකතු වෙලා පුරුෂයන් එක්ක කරන ලිංගික කටයුතු නවත්වලා කරන අරගලයක් ) - ” පොත තවත් නම් දික්කරන්න බෑ. කෙටි වෙන තරමට හොඳයි .මට මගේ පාඨකයෝ විශ්වාසයි. මේ කතාවේ ඉතුරු ටික ලියවෙන අනන්තයටම විහිදන සජීවී පිටුව තමයි පාඨකයාගේ පරිකල්පනය..”
( මේ තමයි මෙතන මං ආදරේ ම කොටස..මේක තවත් දික් කළොත් අමරකීර්තිගේ නවකතාවටත් වඩා මගේ සටහන දික් වෙනවා. කියවන්න කෙනෙකුත් නැතිවෙනවා..)
මනුෂ්‍යයෝ සිය ජීවන ගමනේ නොයෙකුත් ආකාරයේ කැළලි ඇති කර ගනිති. ඒවා ඇතැම් විට ඔවුහු හිතා මතා දැනුවත්ව ම ඇති කරගන්නා කැළලිය. ඇතැම් විට නොදැනුවත්ම ඇතිකරගන්නා ඒවා ය. කැළලි ඇති වීම සඳහා මනුෂ්‍යයකු ලෙස ඉපදීමම ප්‍රමාණවත් වෙයි. තනි මිනිසෙකු ලෙස විසූව ද, සංස්කෘතික සමාජයක රාමුගතව විසූව ද, ඉන් එපිටට ගොස් ජීවත් වූව ද , මෙම කැළලි ඇතිවෙයි. ඒවා වරින් වර මිනිසාට රිදුම් දෙන්නා සේ ම ජීවන ගමනේ ප්‍රගතිශීලී අවස්ථාවෙත ද පමුණුවයි.ඒ සියල්ල අමරකීර්තිගේ කැළලිකාරයෝ අවසන මා වටහා ගත් සත්‍යයන් ය.