‘වලාකුළ නිම්නයට එන්න’ – පවන් අංජන
පාසල් යන කාලය තුළම නිර්මාණ රාශියක් එළිදක්වමින් කලාවේ විවිධ අංශයන් ස්පර්ශ පවන් මේ වනවිට කවියෙක්, සිනමාකරුවෙක්, ලේඛකයෙක්, චිත්‍රශිල්පියෙක්, රුවකුරු නිර්මාණකරුවෙක් මෙන්ම පිටකවකර නිර්මාණ ශිල්පියෙක් ලෙසටද හඳුනා ගන්න පුළුවන්. ඔහුගේ ‘වලාකුළු නිම්නයට එන්න’ කාව්‍ය සංග්‍රහය කියවීමෙන් ලද ප්‍රහර්ෂය මෙසේ අකුරු කරමි.
“නිල් වන ගොමුවක නිරන්තරේ හමනා සුළඟට
ලිය ළදල්ලකට ආදරයෙන් බැඳෙන්න නොහැකිද?
හෙට උදා ඉරේ ජීවිත හිම දියවෙන්නට පෙර
ඔබ එන්න සොඳුර එන්න මෙතැන වලා තුරුල්ලට”
වලාකුළු නිම්නයට එන්න කාව්‍ය සංග්‍රහයේ කාව්‍ය අන්තර්ගතයට පෙරෙ ඔහුගේ කවි විඳීමට ඔහු අපිට ආරාධනා කරන්නේ ඒ අයුරින් ය. ඒ ඇරයුම තුළම ඇත්තේ හුදකලා බවක් ය. කවි පොත පුරාම එකී හුදකලාබව දැක ගත හැකි ය. එමෙන්ම කාව්‍ය සංග්‍රහය තුළ බොහෝ කවි සඳහා අනුභූති කරගෙන ඇත්තේ පුද්ගලික අද්දැකීම්වලට වඩා පරිකල්පනීය අද්දැකීම් යැයි දැක්විය හැකි ය. එමෙන්ම පරිසරය හරි පරිස්සමට කවිය අලෝකමත් කිරීමට යොදාගෙන ඇති අයුරු අපූරුය. විටෙක කවිය නිසා පරිසරය ආලෝකමත් වූ යැයි අයෙකුට සිතුණහොත් එහිලා වරදක් නැත්තේ කවියා එපමණටම ඔහුගේ කාව්‍යමය භාෂාව සහ කවීත්වය කාව්‍ය නිර්මාණය කිරීමෙහිලා භාවිත කර ඇති බැවිනි. එසේ අපට ලියා තැබිය හැකි වුවද මෙකී කවි සියල්ල නිරායාසයෙන් ගලාගෙන ආ මොහොතක නිර්මාණාවේශයෙන් යුතුව කවියා ලියා ඇතැයි සිතෙන තරමට ස්වාභාවිකව ගලාගෙන යන්නේ ය. කාව්‍ය ආකෘතියද කාව්‍ය ස්ංග්‍රහය පුරා වෙනස්ම අයුරකින් රඳවා ගැනීම ඔහුගේ අනන්‍යතාවක් ලෙස වුව හඳුනා ගත හැකි ය. පොදුවේ ඔහුගේ කාව්‍යාවලිය ගැන එසේ පැවසූවද කවි කිහිපයක් ඔස්සේ තවදුරටත් ඔහුගේ කවිය කියවා ගැනීමට උත්සාහ කරන්නේ ඔබ ද මෙකී කාව්‍ය සංග්‍රහය කියවා විඳිය යුතු බව පසක් කිරීම උදෙසාය.
“…කෝන් දල්ලක ළා රතුපැහැය ගැන
කියරොස්තාමිගේ චිත්‍රපටයක
රත්තරං තිරිඟු යායවල් ගැන
රුසියන් සුරඟන කතාවල
සිහින පාරාදීසයන් ගැන
උබ ලියන්නේ මොකටද?” (මාව තේරුම් ගන්න ;01)
‘මාව තේරුම් ගන්න’ යන හිසින් යුතු කවිය තුළ ඔහුගේ ලිවීම් ගැන මිතුරන් කරනු ලබන ප්‍රශ්න් දැකිය හැකි ය. බොහෝ විට කවියෙක්ගේ ළඟ ම හිතමිතුරන්ගෙන් කවියක තේරුම අසා කරදර කිරීම් දැකිය හැකි ය. කවියක තේරුමක් ගැන අනුමාන කිරීම් දැකිය හැකි ය. බොහෝ විට පාසල් සමය අවසන් කර සරසවි ජීවිතය ගතකරන කවියෙක්ට මෙකී තත්ත්වය වැඩියෙන් දැකිය හැක්කේ කවියා විඳින දකින අද්දැකීම් සියල්ලක්ම ඔහුගේ ළඟම හිතමිතුරන් ද දකින විඳින බැවිනි. එමෙන්ම සමහරෙක් කවි යැයි හඳුනා ගනු ලබන කාරණා තවකෙක්ට කවි නොවන්නේ ය. සමහරු පරිසර වර්ණනා කවි යැයි කියනු ලබන අතර සමහරු විප්ලවය ඇසුරු කරගත් කවිය පමණක් කවිය යැයි ගණිති. ඒ අයුරින් විවිධ අය විවිධ කාරණා කවි ලෙස ගන්නා අතර මෙකී කවියා අපූරු ඉම් කරා කවිය රැගෙන යන බව පැහැදිලි ය. ඔහු ලෝකය පුරා කවිය ඔස්සේ යාමට උත්සාහ කරන්නෙක් ය. ඔහු ගසක දලුවල පැහැය, චිත්‍රපටයක අද්දැකීමක් හෝ සුළඟ සමඟ වන දොඩමලුකක් හෝ කවිය ලෙස ගනු ලැබේ. එමෙන්ම ඔහු කවියට ගනු ලබන විවිධ අද්දැකීම් ගැන් සෙවීමට පාඨකයා පෙළඹීමට පත් වීම කවියා ලද ජයග්‍රහණයක් වනු ඇත.
ඔහු අපූරු ආකාරයෙන් පද සංයෝජනය කරන අයුරු පැසසිය යුතු ය. එවැනි තැන්වල මොහොතක් නැවතී ඔහු කියන කාරණාවලට සවන්දීමට සිතෙන්නේ ය. ඔහු කියන කාරණා දකින්නට සිතෙන්නේ ය.
“…මං හිටියෙ
ගිලිහුණු මේපල් පතක
හුස්මක්
ගිටාර් තතකට මුසු කර
කර
බෙංගාල ජන ගීයක සුවඳින්
වස්දඬු රාවයක් ඇහුණා ………. ඈතින්..”
(මහද්වීපයක හුදෙකලාව ; 02)
” විලෝ හෙවණට සඳ ඇවිත්
සෙවණැලි පි යා ඹ යි
අපට ඉහළින්
නිල් අඳුර පසුබිමේ
ඔබේ සිනා විදුලිය විසිරුණා
කාලය හා අවකාශය තුනීයි…
හරි සීතලයි…”
( රාත්‍රිය ඇහැරිලා ;04)
” සප්ත ස්වර ලෙහි ලෙහී පාවෙන
ගීතයක් මට ඕනෙ කෙරුවා
හුස්ම හිරවෙන ගිතාරුව මත
මගේ හදවත
පී ළි පැ න් නා…”
(නිමිති මැද අතරමංව;05)
ඉහත සියලුම යෙදුම් පළමු කවි කිහිපයෙන් පමණක් උපුටාගෙන ඇති බව පැහැදිලිය. ඉන් නිරූපණය වන්නේ පවන්ගේ කවිය තුළ අපූරු තැන් සොය ගැනීම අපහසු නොවන බවය. ඒ තරමට ඔහු අපූරු සිතන්නෙක් ය. අපූරු හැඟීම් ඇත්තෙක් ය. එය කවියෙකු සතු විය යුතු වටිනාම ලක්ෂණයක් ය. පවන් එකී අපූරු දැක්මෙන් යුතු ය.
ඔහු ඔහුගේ හැඟුම්බර සහ අපූරු කවි අතර පවතින සමාජය මනා සංයමයකින් යුතුව ප්‍රශ්න කරන ආකාරය ප්‍රශංසනීය ය.
“…මගේ අත තදින් අල්ල ගන්න
එන්න,
මේ කහ ඉර තරණය කරන්න
නිදි වගේ පෙවුණට
මේ නිහඬ නගරයත්
හැමදාම ඉන්නෙ ඇස් ඇරගෙන
හවස් වෙනකම් ඉවසමු
බාගදා අපිට පුළුවන් වෙයි
අපේ හෙවණැලි අස්සෙම වුණත්
හැංගෙන්න.”
(ඔයා එනවද මාත් එක්ක ;06)
වර්තමාන සමාජය තුළ ප්‍රේමවන්තයින්ට ඉඩක් වෙන් නොවීමත් එය විශාල ප්‍රශ්නයක් ලෙස දැකීමත් දැකිය හැකි ය. උද්‍යානයක පෙම්වතුන් දෙන්නෙක් වාඩි වී සිටීම එහි මුරකරුගේ සිට එය නැරඹීමට එන පුදගලායා දක්වාම ගැටලුවක් ඇති කරවන්නකි. හොරෙන් ඡායාරූප ගෙන ප්‍රසිද්ධ කිරීමට තරම් අසහනකාරයින්ගෙන් පිරිලා ය. එවැනි සමාජයක පෙම්වතුන්ට ඉඩක් නැත. සමාජය නිදි වගේ සිටියාට ඔවුන් මෙකී දේවල් ගැන පූර්ණ අවදානයෙන් සිටින්නේ ය. මේ නිසාම මෙහි කතකයා නිදහස් පරිසරයක් නිදහස් අවකාශය්ක් සොයා වෙනත් කාලයකට පෙම්වතිය සමඟම පැනල යාමට වුව කැමති ය. මන්ද වෙනත් කාලයක වෙනත් ලෝකයක ආදරයට මෙවැනි වැටමායිම් නොපවතිනු ඇතැයි ඔහු අපේක්ෂා කරන්නේ ය. නොඑසේ නම් මෙහිම තවත් කාලයක්ගත වූ පසු මෙම සීමා මායිම් නොපවතී යැයි සිතයි. ඒ කවියා බලාපොරොත්තු වන ලෝකය ය. මේ කවි ජනගත විය යුත්තේ එබැවිනි.
මෙවැනි අපූරු කවි රැසකින් සමන්විත පවන් අංජනගෙ වලාකුළු නිම්නයට එන්න කාව්‍ය සංග්‍රහය රස විඳීමට ඔබටද ආරාධනා කරමි. එය විවේකීව හුදකලාව රසවිඳිය යුතු යැයි පවසමින් වලාකුළු නිම්නයට යන්න යැයි කියමින් මෙම සටහනට හමාර කරමි.