ස්ටීවන් කිංග්ගේ වඩාත්ම ආන්දෝලනාත්මක නවකතාව

Share post:

Stephen King (ස්ටීවන් කිංග්) යනු King of Horror යන විරුද නාමයෙන් ප්‍රචලිත හැත්තෑ හතර හැවිරිදි, ඇමරිකානු ජාතික, සුප්‍රසිද්ධ ලේඛකයෙකි. ඔහු මේ වන විට මනඃකල්පිත කෘතීන් 64 ක් රචනා කර ඇති අතර, ඉන් වඩාත්ම ආන්දෝලනාත්මක නවකතාව පිළිබඳව දැනුවත්ව සිටියේ කිහිප දෙනෙක් පමණි. නමුත්, කිහිප දෙනෙකු දැන සිටි මෙම කරුණ, වර්තමානය වන විට ඔහුගේ රසික ප්‍රජාවෙන් බොහෝ දෙනෙකු දන්නා කරුණක් බවට පත්ව ඇත. ඉතින්, කුමක්ද මේ ආන්දෝලනාත්මක කෘතිය? එය නමින් Rage (වියරුව) ය. ස්ටීවන් කිංග් ගේ කෘතීන් ප්‍රකාශනයට පත්වූ පිළිවෙලට අනුව, එය ඔහුගේ පොත් අතරින් සතරවැනි ස්ථානය ලබා ගනී.

නමින් රෙජ්, එසේත් නැතිනම්, වියරුව වන මෙය, ස්ටීවන් කිංග් විසින්ම ප්‍රකාශනය කිරීම වැළැක්වූ කෘතියකි. සරලවම කිවතොත්, ඔහු, එම කෘතිය ස්ව-කැමැත්තෙන් ම මුද්‍රණ වාර අවසන් වූ පසු මුද්‍රණයට ලක් කිරීම තහනම් කරන ලද පොතකි. මීට සුවිශේෂ වූ හේතුවක් ඇත. එය සඳහන් කිරීමට පෙර, මෙම කෘතිය පිළිබඳ සුවිශේෂ කරුණු කිහිපයක් ලිවීමට සිතුවෙමි.

මෙය සිග්නට් ප්‍රකාශකයින් ප්‍රකාශයට පත් කළේ ඔහුගේ ව්‍යාජ නාමයක් (pseudonym) වන Richard Bachman (රිචඩ් බහ්ක්මන්) යන නාමය යටතේ ය. මෙය සඳහා මූලික වුණු හේතු කිහිපයකි. ඉන් එකක් නම්, ස්ටීවන් කිංග් ට තමාගේ කෘති මිනිසුන් මිලට ගන්නේ කතන්දර කියන්නෙකු ලෙස තමා සතුවූ දක්ෂතාව නිසාද, එසේත් නැතිනම්, STEPHEN KING යන නාමය පොත් කවරයෙහි උඩු කොටසේ දැකගත හැකිවන නිසාද යන වග දැනගැනීමට වුවමනා වීම ය. අනෙක නම්, ස්ටීවන් කිංග් ගේ කෘතීන් ගෙන් පොත් සල් පිරී යාම වැළැක්වීම යි. එම නිසාවෙන් ඔහු, ව්‍යාජ නාමයකින් සිය පොත් පළ කිරීමට ඇති ආශාව සිග්නට් ප්‍රකාශකයින් හමුවේ පවසා, ඊට ඔවුන් එකඟ කරගෙන තිබේ. නමුත්, ඔහු සිතෙහි තබාගෙන සිටි ව්‍යාජ නාමය නම්, Gus Pillsbury (ගස් පිල්ස්බරි) ය. ගස් පිල්ස්බරි යනු ස්ටීවන් කිංග් ගේ මවගේ පියා යි; ඔහුගේ සීයා යි. නමුත්, පොත මුද්‍රණයට යැවීමට ස්වල්ප වේලාවකට පෙර, එම නම සුප්‍රසිද්ධ ලේඛකයෙකු ගේ ව්‍යාජ නාමයක් වන බව ප්‍රකට වීම හේතුවෙන්, කෙටි දුරකතන ඇමතුමක් Richard Bachman යන නාමය සඳහා මඟ පෑදී ය. Bachman-Turner Overdrive සංගීත කණ්ඩායමේ නාමයෙනුත්, Donald E. Westlake (ඩොනල්ඩ් ඊ. වෙස්ට්ලේක්) නම් රචකයාගේ ව්‍යාජ නාමය වන Richard Stark (රිචඩ් ස්ටාක්) මඟිනුත් උපත ලද රිචඩ් බහ්ක්මන්, කෘති හතක් පුරාවට පාඨකයින් සමඟ රැඳී සිටියේ ය.

ඉහත සඳහන් කරන ආන්දෝලනාත්මක පසුබිම සඳහා හේතු වූයේ Rage හි මූලික කතාවයි. රේජ් නම් කෘතියෙන් කියැවෙන්නේ පාසැල් වෙඩි තැබීමක් පිළිබඳව ය. එම පොතෙහි ප්‍රධාන චරිතය වන චාලි ඩෙකර් උසස් පාසැල් සිසුවෙකි. ඔහු පාසලේ නොසණ්ඩාලයෙකු ලෙසට හංවඩු ගසනු ලැබූ තැනැත්තෙකි. රසායන විද්‍යා ගුරුතුමාට පයිප්පයකින් පහර දුන් ඔහුව පාසලේ විදුහල්පතිවරයා සිය කාර්යාලයට කැඳවා ඔහුට දෙස් දොවල් තබමින් සිටී. ඒවා ඉවසාගත නොහී කිපුණු චාලි විදුහල්පතිතුමා හට අනේකාකාරයේ නින්දා අපහාස කරන්නට පටන් ගනී. ඉන් කිපුණු විදුහල්පතිතුමා, චාලි ව පාසලින් අස් කරයි. පසුව, සිය ලොකරය වෙතට පැමිණෙන චාලි, එතුළින් පිස්තෝලයක් ඇද, තමන්ගේ පන්ති කාමරයට පැමිණ, වීජීය ගණිතය උගන්වමින් සිටි ගුරුවරියට වෙඩිතබා එම පන්ති කාමරය පාලනය කරමින්, විදුහල්පති ඇතුළු වැඩිහිටියන් අල්ලේ නටවන්නට පටන් ගනී. මෙයයි එහි කතා වස්තුව. නමුත්, අවසන දී පන්ති කාමරයේ සිසුන් පවා චාලි සමඟ එක්ව ඔහුට සහය පළකිරීම මෙම කතාවේ වෙනස් මුහුණුවරක් පිළිඹිබු කරන්නකි.

මෙම පොත ප්‍රකාශයට පත්ව වසර කිහිපයක් ගතවන තැන පාසල් වෙඩි තැබීමක් සිදු විය. ඊටත් පසුව, වෙඩි තැබීම් පහක් පමණ සිදුවීමෙන් අනතුරුව, වර්ෂ 1997 දී අට දෙනෙකුට මරු කැඳවූ පාසල් වෙඩි තැබීමක් ද සිදු විණ. කුමක්ද මේ වෙඩි තැබීම් සහ ස්ටීවන් කිංග් අතර ඇති සම්බන්ධය? ස්ටීවන් කිංග් ලියූ රේජ් නම් එම කෘතිය, එම වෙඩි තැබීම් වලට සම්බන්ධ සිසුන් ගේ නිවෙස් වල හෝ, ඔවුන්ගේ ලොකර් වල තිබී හමුව තිබේ. අවසන දී මෙම පොත තවත් මුද්‍රණද්වාරයෙන් නිකුත් විය නුයුතු බවට තීරණයකට එළඹුණු කිංග්, සිය ප්‍රකාශකයින් ගේ සුළු විරෝධය ද හමුවේ එම පොත තවදුරටත් මුද්‍රණය වීම වැළැක්විය. එනිසා, මේ වන විට පාඨකයින්ට සොයාගැනීමට හැකිව ඇත්තේ රේජ් කෘතියේ මුද්‍රණ ඉතාමත් අල්ප ප්‍රමාණයකි.

ස්ටීවන් කිංග් ගේ රසිකයින් බොහෝ දෙනෙකුට අනුව, මේ කෘතියේ එතරම් වැදගත් කමක් නොමැත. ඔවුනට හා ස්ටීවන් කිංග් ට අනුව, මෙය ඔහු ලේඛකයෙකු වීමටත් පෙර, ඉතා තරුණ වියේ දී ලියූ කතාවකි. එනිසාවෙන්, මේ කෘතියේ ඔහු රචකයෙකු ලෙසින් ද හැකියාවන් එතරම් නොපෙන්වන බව බොහෝ දෙනාගේ මතයයි. මෙම මුළු සිද්ධිය අළලා ස්ටීවන් කිංග් Guns නම් රචනාවක් ද ලියා ඇති අතර, එයින් ඔහුට ලැබෙන මුදල් ගිනිඅවි වලින් සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළැක්වීමේ බ්‍රේඩි අරමුදලට යැවෙන බව ප්‍රකට කරුණකි. වර්ෂ 2007 දී මෙහි ම දිගුවක් ලෙස Blaze නම් කෘතිය කිංග් ලියූ අතර, එය රේජ් ට වඩා වටිනා කෘතියක් බව බොහෝ දෙනාගේ මතය යි.

කාව්‍ය තත්සර

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...