කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබී බලන්න නවකතාව කියෙව්වට පස්සෙ ඔහු විසින් රචිත කෘතීන් කියවන්න තිබුනෙ දැඩි ආශාවක්. ඒ ආශාව නිම්නාගේ ඉතිහාසය ඉක්මනින් මිලදී ගන්න උනන්දු කලා. පිටු ප්‍රමාණය වැඩිවීම පොත කියවීමට ඇති උනන්දුව අඩු කලා. මා විසින් මෙතෙක් කියවන ලද සිංහල ස්වතන්ත්‍ර නවකතාවන් (අධ්‍යනය, පර්යේෂණ නොවන) අතරින් දීර්ඝතම නවකතාව බවට නිම්නාගේ ඉතිහාසය නවකතාව පත්වෙනවා. පිටු 670 ක් පුරා ලියවුණු දීර්ඝ නවකතාවක්. අපරාදෙ කලින් කියවන්න තිබුන පොතක් කියල දැන් හිතෙනවා.
නූතන ඩිජිටල් සමාජයක සිට සම්ප්‍රදාය මුල් තැන කරගත් යුගයක් දක්වා වූ ඉතිහාසයක් හෙළිදරව් කරන , සම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කරමින් ලියූ නූතනවාදී නවකතාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
නිම්නාගේ සිට පරම්පරා හතරක් අතීතයට දිවෙන ඉතිහාස කතාවක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා කියල මතුපිටින් බැලූ කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් ඒ ඉතිහාස කතාව තුල තියෙන්නෙ දේශපාලන , සමාජ , සංස්කෘතික , ආර්ථික හා ලිංගික නිදහස කෙරෙහි ලාංකීය ජන මනසේ හා ක්‍රියාකාරිත්වයේ වූ වෙනස , විකාශනය කියල පෙනී යනවා.
එමෙන්ම කතුවරයා ඉතාමත් සියුම් සහ දැනෙන ලෙස පසුගිය දශක තුන තුල ලාංකීය දේශපාලනයේ වෙනස්වීම් නව ප්‍රවණතා මේ ඉතිහාසය තුලට ගොනු කරන්නට සමත් වී තිබෙනවා. ආසන්න දශක තුන තුල හංගන ලද , ප්‍රමාණවත් ලෙස කතිකාවට ලක් නොවූ දේශපාලන අඳුර විසින් වසන් කල මෙරට දේශපාලන ක්‍රියාකාරකම් පාඨකයාට පෙනෙන්නට දැල් වූ ආලෝක කදම්භයක් ලෙස මෙය සලකන්නට පුළුවන්. යුද්ධය , ජාතිවාදය , භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමාවීම , රාජ්‍ය සේවය අර්ධ ලෙස මිලිටරීකරණය වීම , ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් සීමා වීම යන කරුණු මෙහි සියුම් ලෙස කතිකාවට ලක් වී ඇති දේශපාලන ක්‍රියාකාරකම්..
කතුවරයා නවකතාව තුළින් ක්ෂේත්‍රයන් කිහිපයක් ගැන කතා කරනවා. දේශපාලනය , ආර්ථිකය , සංස්කෘතිය , වෛවාහක සම්බන්ධතා හා පුද්ගල ලිංගිකත්වය ඒවා අතුරින් ප්‍රමුඛයි. හැබැයි මේ සියලු මාතෘකා යොමුවන්නේ එහි නිදහස වෙත. දේශපාලන නිදහස , ආර්ථික නිදහස , සංස්කෘතික නිදහස , ලිංගික නිදහස වෙත අවසානයේ කේන්ද්‍රගත කරන්නට කතුවරයා සමත් වී තිබෙනවා.
ඇත්තෙන්ම මෙහි වැඩිපුරම කතාබහට ලක්වෙන්නෙ සංස්කෘතිය හා බැදුණු ලිංගිකත්වය හා ලිංගික නිදහස ගැන. සිහිල් සුළඟක් , තෙතමනයක් නැති සංස්කෘතික කාන්තාරයකයි අපි ජීවත් ජීවත් වෙන්නෙ. සංස්කෘතික හා සමාජ පරිසරය ඒ නිදහස සීමා කරලා. සමහර සීමාවන් අපිම දාගෙන. ඒ සීමාව කොච්චර බලවත් ද කියනවනම් ඒ සම්බන්ධයෙන් සාහිත්‍ය නිර්මාණයකින්වත් කතා නොකරන තැනට අපි පසුගාමී වෙලා. එහෙම එළිපිට විවෘතව කතා නොකරතත් , අනුන්ගේ වෛවාහක හා ලිංගික සම්බන්ධතාවල කුණු රසය රහසින් භුක්ති විදින්න බහුතරයක් කැමතියි. ලිංගිකත්වය යනු මට අනුව කලාවක්. ඒත් එය සැගවීම තුල ලිංගික අධ්‍යාපනය මැජික් එකක් වෙලා. කෙටියෙන්ම කියතොත් ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීම මහා අපරාධයක් බවට පත් කරලා.
සමාජයක් හැටියට ලිංගිකත්වය ගැන , ආදරය ගැන හෙලන සම්ප්‍රදායික දෘෂ්ටියෙන් ඔබ්බට ගොස් , මිනිස් හැඟීම් , සිතුවිලි හා පෞද්ගලිකත්වයට ගරු කරමින් අපගේ ලිංගික නිදහස අගයමින් හා එහි වටිනාකම පාඨකයා තුල ජනිත කරවමින් රචනා කරන ලද නවකතාවක් ලෙස මෙය හදුන්වන්නත් පුළුවන්. ඊනියා සංස්කෘතිකවාදීන්ට ගහපු කණේ පහරක් ලෙස මම මෙය දකිනවා.
මෙය කිසිසේත් ලිංගිකත්වය ඔද වඩවන , උලුප්පා මතු කරන බාල ඝනයේ සාහිත්‍ය නිර්මාණයක් නෙවෙයි. ලිංගික සම්බන්ධතා ගැන ලියවුණු නවකතාවන් සෑහෙන ප්‍රමාණයක කියවා ඇතත් ඒවායින් බහුතරයක ලිංගිකත්වය , ලිංගික නිදහස , අධ්‍යාපනය හා දැනුම ගැන කතිකාවන් නැහැ. බහුතරයක් තියෙන්නෙ කාමුකත්වය ඉස්මතු කරන ප්‍රාථමික නිර්මාණ.
කෞශල්‍ය කුමාරසිංහ මහතා හැකි සෑමවිටකම උපමා රූපක සංකේත භාවිතයෙන් නවකතාව හැඩගන්වා තිබෙනවා. වෙනත් නවකතාවල දකින්නට ලැබෙන පොදු සම්ප්‍රදායික සංකේත හා රූපක භාවිතයෙන් ඔබ්බට ගොස් නූතනයට ගැලපෙන සංකේත භාවිතා කර තිබීම මෙහි විශේෂත්වයක්. මෙහි නිරතුරුවම සඳහන් කරන කුළුණ එවැනි එක් සංකේතයක්.
ඇත්තෙන්ම කුමාරසිංහයන් ඉතිහාසය කියන්න තෝරගන්නෙ සිහින කියන මාධ්‍යය. ඈත අතීතය වර්තමානය සමඟ ගලපා තිබෙන්නෙ පාඨකයා නවකතාව බැද තබමින්.
නිම්නා ප්‍රධාන චරිතය කරගනිමින් සෙසු චරිතත් , චරිතය ගොඩ නැගීමට අවශ්‍ය වන ප්‍රබල සිදුවීම් මාලාවකුත් මනා ලෙස ගොඩනගා තිබෙනවා. නිම්නා ඇතුළු චරිත පාඨකයාට මේතරම් ප්‍රබලව දැනෙන්නෙ පුද්ගල මනෝභාවයන් ප්‍රකාශ කිරීමේදී දැක්වූ නිපුනත්වය නිසා බව කිව යුතුයි. මෙහි කතාබහට ලක්වෙන චරිත බොහොමයක් ඉන්නවා නිම්නා , තාරා , විශ්මි , අමර , රමණි , සේනක , චාලට් , ඇග්නස් , මැගිලින් , අරවින්ද , පණ්ඩුක , නිශාන් , නිශාදි , දුලිප් , වන්දනා ඒ අතරින් කිහිපයක්. කෙතරම් චරිත ප්‍රමාණයක් තිබුනත් කිසිම චරිතයක් අනවශ්‍ය ලෙස ඉස්මතු වීමක් හෝ යටපත් කිරීමකින් තොරව මනා ලෙස ගොඩනැගීම අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය ජයගෙන චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කිරීමට කතුවරයා සමත් වෙලා.
මා මෙහි දකින එකම අඩුපාඩුව ඉක්මන් අවසානය. එකම රිද්මයකින් ගලාගිය කතාව අවසානයේ රිද්මයේ වේගවත් බවකින් අවසන් වෙනවා. නවකතාව අවසන් උනාට නවකතාව තුල තිබෙන කතාව දිගටම සිද්ධ වෙනවා.
අවසානයේ මගේ සටහන පොතේ 635 පිටුවේ සඳහන් උපුටා ගැනීමකින් අවසන් කරනවා. ලාංකීය දේශපාලනයේ සත්‍යය යථාර්තය මේ උපුටා දැක්වීම තුල කෙතරම් දුරට අන්තර්ගතදැයි ඔබම තීරණය කරන්න.
“අපි අයුක්තිය හංග හංග හංග ඉස්සරහට යන ජාතියක් අරවින්ද. පහුගිය අවුරුදු විස්සෙ අපේ දේශපාලනේ කැරකුණේ ප්‍රභූ චරිත තුනක් වටේ. ඔයා දන්නවනෙ ඒ තුන්දෙනා. පහුගිය කාලෙ රාජ්‍ය බලයට ලගින් හිටපු කෙනෙක් හැටියට මං දන්නවා , ඒ ගොල්ලො යාළුවො. එක ප්‍රභූ බල කේන්ද්‍රයකින් තව ප්‍රභූ බල කේන්ද්‍රයකට පාලනය මාරු වුණා කියල මුකුත් වෙන්නෙ නෑ. යක්ෂයො ලස්සන සමනල්ලු වෙන්න ගතවෙන කාලය කොච්චර ද කියල ඒ ගොල්ලො හොඳට දන්නවා. තව ටික කාලයක් බලන් ඉන්න එතකොට ඔයාටම පෙනෙයි. යුගයක් ඇතුලෙ ජීවත් වෙනකොට අපිට හිතෙන්නෙ මේ මොහොත තමයි වැදගත්ම කියල. ඒත් ඒක එහෙම නෑ අරවින්ද. ඉතිහාසය කියන්නෙ හරි විශාල ප්‍රවාහයක්. අපි හංගපු අයුක්තියේ තුවාල එක්ක සමහර පරම්පරාවල් දුක් විදල මැරිලා යනවා. ඒ තුවාලවල වේදනාව තියා තුවාල ගැන පවා නොදන්න පරම්පරාවල් ඉපදෙනවා.”
ප්‍රථම වරට අහස මීඩියා වර්ක්ස් විසින් මෙම පොත ප්‍රකාශයට පත් කර ඇත. මෙය දැන් විදර්ශන ප්‍රකාශනයන් විසින් මුද්‍රණය කරනු ලබයි. පිටු 670 කි. 2020 සැප්තැම්බර් දෙවන මුද්‍රණයේ මිල රුපියල් 980 කි.
චතුරංග අමරතුංග
2022- 03- 18 ලියන ලද සටහනක්