බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජයනි නතාෂා එදිරිසූරියට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බෲනෝ දිවාකරට අද (21) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කෙරිණි.
කෙසේ වෙතත් නතාෂා එදිරිසූරිය ලබන මස 5දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයෙන් නියෝග කෙරිණි. ඇයට එරෙහිව චෝදනා නගා ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ද ඇතුළත් කරමින් ය.
මොකක්ද මේ ‘ICCPR’ පනත ?
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සිවිල් යුද සමයේ මෙන් ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයට ලක් වූ පනතකි.
මෙම පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මගින් පිළිගැනීමක් ලබා දී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි යනුවෙනි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කර තිබේ.
තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා හමුවේ යුද ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය.
2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කෙරේ.
1966 දෙසැම්බර් මස 16 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ, 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ද පාර්ශ්වයක් ලෙස එක්විණි.
1980 ජූනි මස 11 දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා දීම සිදු විය.
මීට පෙර ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා නොදුන් ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සරිලන නීති සම්පාදනය කිරීම සඳහා රජයට මතු වූ අවශ්‍යතාව ICCPR පනතේ ආරම්භය ලෙස දැක්විය හැකිය.
ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැනුණු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබාදීම මෙන් ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පනතෙ අරමුණ විය.
ජනතාව පීඩනයට පත්කළ හැකිද ?
පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාරට එරෙහිව චෝදනා ගොනු කෙරුණේද මෙම පනත යටතේ ය. සිය ෆේස්බුක් ගිණුමේ පළකරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
හසලක ප්‍රදේශයේ රහීම් මසාහිනා ඇඳ සිටි දිගු ගවුමේ පිටුපස ‘ධර්ම චක්‍රයක හැඩයේ’ සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ අඩංගු වගන්තිවලින් බලාත්මක වන නීතිය අනුව මෙම අත්අඩංගුවට ගැනීම ද සිදු විය.
මේ හේතුවෙන් අදාළ පනත ජනතාව මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන්නක් ලෙසත්, අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති පනතක් ලෙසත් මෙය ක්‍රියාත්මක වන ආකාරය අනුව හඳුන්වනු ලැබේ.
3 (1) වගන්තිය
පනතේ 3 (1) වගන්තියේ අන්තර්ගතය බොහෝ විට මෙම මතවාදවලට තුඩු දී තිබේ. ඉහත සඳහන් අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේද මෙම වගන්තිය යටතේ සැපයෙන නීති අර්ථකථනය කිරීමෙන් ය.
එම වගන්තියට අනුව;
‘කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය.’
එමෙන් ම, 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව ;
‘මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර, එවැනි වරදක් සිදුකර ඇති බවට සැකකරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසි ම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදාහරිනු නොලැබිය යුතුය’ යනුවෙන් සඳහන් වී තිබේ.
ඒ අනුව 3 (1) වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් සිදු කළ තැනැත්තෙකුට ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. එහි අරුත වන්නේ මහාධිකරණයකට වඩා පහළ අධිකරණයකින් ඇප ලබා ගැනීමට නොහැකිය යන්නයි.
ඒ අනුව, 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක නොවේ.
මූලික අයිතිවාසිකම් නඩු
ශක්තික සත්කුමාර මෙන් ම ෆාතිමා නුශ්රා සාරූක් ද මේ වන විට සිය මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
1978 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ ද පුරවැසියන්ට හිමි වන මූලික අයිතිවාසිකම් ගැන දක්වා තිබේ:
‘ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවල ද ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහිකිරීමෙහි ලා සහ සුරක්ෂිත කිරීමෙහි ලා ඒ පරම්පරා විසින් දරන්නා වූ ප්‍රයත්නයේදී සහාය වීමට පැමිණෙන සකල ලෝක වාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ෂණීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා…’
එමෙන්ම ව්‍යවස්ථාවේ 4 (ඈ) හි මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ :
‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප‍්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය.’
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑ ම ආගමක් වැළඳගැනීමේ නිදහස ද, විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද හිමි වේ. හෘද සාක්ෂියේ නිදහස තුළින් පුද්ගලයෙකුට තමන්ට රිසි දෙයක් සිතීමේ සහ ඕනෑ ම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතිය හිමි වේ.
කෙසේ වුවත් මේ සියලු අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන්අයගේ පෞද්ගලිකත්වයට හානි නොකර, ආත්ම ගරුත්වයට හානි නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් ද සුරැකෙන ආකාරයෙනි.
නිර්දේශ මාලාවක් ?
මේ අතර නීති විශාරදයන් අවධාරණය කරන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි. එසේ නොවන්නේ නම් චෝදනා එල්ල වන ආකාරයට තවදුරටත් මෙම නීතිය අවභාවිත වීම වැළක්විය නොහැකි වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. එවැනි නිර්දේශ මාලාවක් අධිකරණය මගින් නියෝගයක් ලෙස ලබාගැනීම හරහා එය අවභාවිත වීම යම් තරමකින් අවම කරගැනීමට හැකි වේ යයි ඔවුහු විශ්වාසය පළකරති.