රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛිකා අනුලා විජයරත්න මැණිකේ විසින් රචිත තවත් එක් නවකතාවකි ‘වැසී ගිය පෙත් මං’.
වෙනසක් කළ හැකිය , සඳ මඩල , කවුද හොරා , රන් කලයේ නිධානය , බැම්ම , වඩබාගින්න , උඩකෙළිය , සලා වැටුම , සපත්නී , වපසරිය සහ සුජාත පුත්‍රයින්ගේ වස්තුව ඇය විසින් රචිත අනෙකුත් කෘතීන් වේ..
ඓතිහාසික වයඹ පළාතේ කුරුණෑගලට දුර ඈත ගමක විසු මධ්‍යම පාන්තික පවුලක් වටා වැසී ගිය පෙත් මං ලියැවී ඇත. කතාවේ අන්තර්ගතය අනුව මෙහි දිවෙන්නේ 1870 – 1918 අතර කාලයේ වූ සිදුවීම් මාලාවක් යැයි කියන්න පුළුවන..
යටත් විජිත සමයේ මධ්‍යම පාන්තික පවුල් ගැන ලියැවුණු අනෙකුත් නිර්මාණ අතර වැසී ගිය පෙත් මං කියන්නෙ වෙනස් නිර්මාණයක්. අනෙකුත් නවකතාවල තියෙන්නේ පෘතුගීසි , ලන්දේසි හෝ ඉංග්‍රීසි පාලකයන් විසින් මෙහෙය වූ පාලන තන්ත්‍රය හේතුවෙන් අරාජික වුන , අසරණ වුණු , පීඩාවට පත්වුණු පවුල් සංස්ථාවන්.
මේ කතාවෙ නිරූපණය වන මධ්‍යම පාන්තික පවුල වෙනත් නවකතාවල වගේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයේ ක්‍රියාකාරකම්වලින් පීඩාවට හෝ අසරණභාවයට පත් වන්නේ නෑ. මෙහි විමසුමට ලක් වන කපුරු – කලිඟු පවුල හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි පාලනයේ සෙවණැලි මැද ස්ථාවරත්වයට පත් වූ පවුලක් වශයෙන්..
නවකතාව ආරම්භ වන්නේ පැරණි පවුල් සංස්ථාවන් තුල තිබූ එකගෙයි කෑමේ සම්ප්‍රදාය ගැන වූ කියවීමකින්. සහෝදරයන් දෙදෙනෙකුගේ පහස ලබන ස්ත්‍රියකුත් , එකම ස්ත්‍රියකගේ පහස ලබන එක් කුස උපන් සහෝදරයන් දෙදෙනෙකුගේත් ආදරය , ඊර්ෂ්‍යාව , කුහකත්වය හා මමත්වය පිළිබඳව ඉතාමත්ම ගැඹුරු හා සංවේදී කතිකාවතක් නිර්මාණය කරන්න කතුවරියගේ ප්‍රවේශයට පුළුවන්කමක් තිබුණා. නමුත් , ඉතාමත්ම ගැඹුරින් ස්පර්ශ කළ යුතු කතාවක් කතුවරිය මතුපිටින් ලාවට ස්පර්ශ කරලා විතරයි තියෙන්නෙ..
ඒ වගෙම මෙම නවකතාව තුල කුල බෙදීම ගැන යම් කතාබහක් ඇතිවෙනවා. නමුත් එකී කුලවාදය ගැන ගැඹුරු කියවීමක් මෙහි නෑ.
භාණ්ඩ හුවමාරු අර්ථ ක්‍රමයක්ව පැවති වෙළදාම් ක්‍රමය යටත්විජිත පාලනය තුල ක්‍රම ක්‍රමයෙන් මුදල් මත පදනම් වුණු ආර්ථික ක්‍රමයක් දක්වා ප්‍රසාරණය වූ ආකාරය පිළිබඳව යම් අවබෝධයක් වැසී ගිය පෙත් මං තුළින් ලබාගත හැකිය. මුදල් පදනම් වුණු නව ආර්ථික ක්‍රමය මත නව ධනේශ්වර පන්තියක් බිහි වීම මුදියන්සේගේ චරිතය තුලින් පිළිඹිබු කර ඇත..
ඇතැම් පැරණි ලාංකිකයන් පතපොතේ දැනුමෙන් දුප්පත් උනාට ඔවුන් තුල කලා හැකියාවන් තිබුනා. ඒ කලා හැකියාවන් ඔවුන් බොහෝවිට දිවි සරි කරන ජීවනෝපායක් ලෙස ඉගෙනගත් ඒව නෙවෙයි. ඔවුන් ඒවා ඉගෙන ගත්තෙ හුදු විනෝදය සඳහා පමණයි. සමහර කලා හැකියාවන් ලැබෙන්න පාරම්පරික උරුමයෙන්. විධිමත් ගුරුවරුන් හිටියෙ නෑ කියල දෙන්න.. ඉතින් මේ නවකතාව තුල ගොවියෙකු හෝ පාරම්පරිව උරුමවූ දෑතෙ පයෙ ජීවනෝපායන් කරන ගැමි ජනයා තුල පැවති ගායන , වාදන , නර්තන හැකියාවන් ගැනත් කියන්නට යම් ඉඩක් වෙන්කරල තියෙනවා..
කතුවරිය කතාබහට ලක් කරන මාතෘකා අතර ඉතාමත් වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි පාලන සමයේ මෙරට සිදුවූ යට්තල පහසුකම්හි වූ සීග්‍ර සංවර්ධනය. වැවිලි ආර්ථිකයක් ඇතිවෙන්න , අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන්න , භාණ්ඩ හුවමාරු අර්ථ ක්‍රමය අහෝසි වී මුදල පදනම් වූ අර්ථ ක්‍රමයක් බිහිවෙන්න , නව ධනේශ්වර පංතියක් බිහිවෙන්න තීරණාත්මක ලෙස බලපෑවා යටිතල පහසුකම්වල සංවර්ධනය. ඉතින් කතුවරිය මේ කතාව ඇතුලෙ නිරූපණය කරල තියෙනවා යටිතල පහසුකම්හි සංවර්ධනය සමග සිදු වු භෞතික දියුණුවට සාපේක්ෂව ජන ජීවිතය වෙනස්වීම හා ඒවාට ජනතාව හැඩගැසුනෙ කොහොමද කියල.. ඒ වගෙම එය මෙරට ජනතාවගේ අධ්‍යාත්මික සිතුවිලි , ආකල්ප , මතිමතාන්තර වෙනස් වෙන්න ප්‍රබල බලපෑමක් උනා..
එකගෙයි කෑම , කුලවාදය , නව ධනේශ්වර පංතියක් බිහිවීම , ඉංග්‍රීසි පාලනය තුල යටිතල පහසුකම්හි සංවර්ධනය වගේ මාතෘකාවන් කිහිපයක් ගැන එකම අවකාශයක් තුල කතිකාවක් ඇති කරන්න ගත් උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්..
කපුරු – කලිඟු පවුලේ කතාව අපට කියන්නෙ තෙවන පාර්ශ්වකරුවෙක්. මේ කතාව ප්‍රධාන චරිතයක් හදුන්ගන්න බෑ. සියළුම චරිත එකම තලයක තියෙන්නෙ.
චරිත ගොඩනැගීම සාමාන්‍යයි. සිදුවීම් ගොඩ නැගීමත් එහෙමයි. පාඨකයා නතු කරන , කම්පා කරන , පුද්ගල චරිත ඉතා ප්‍රබල ලෙස ගෙනහැර දැක්වීමට සමත් සිදුවීම් මෙහි නෑ. ඒ හින්දා පුද්ගල මනෝභාවයන් ගෙනහැර දැක්වීමත් තියෙන්නෙ සාමාන්‍ය ස්ථානයක..
මෙය ඉහල ඝනයේ නවකතාවක් වීමට තිබුන අවස්ථාව අහිමි වී ඇත්තෙ නවකතාව කෙටි නවකතාවක් වීම නිසා බවයි මගෙ අදහස. මන්ද ඉහත කී මාතෘකා කිහිපය පිටු 168 ක් තුල ප්‍රබලව දැනෙන ලෙස කතා කරන්න බෑ. කතුවරිය කර තිබෙන්නෙ පිටු 168 කට නවකතාව සංක්ෂිප්ත කිරීම. ඒ කෙටිවීම තුල විශිෂ්ඨ නවකතාවක් මඟ හැරිල තියෙනවා.. ඉහත මාතෘකාවන් තියුණු ලෙසින් ස්පර්ශ කිරීමක් නැත්තෙ ඒකයි..
මෙහි තවත් අඩුපාඩුවක් තමයි එකම කාරණා හා සිදුවීම් ස්ථාන කිහිපයකම ප්‍රකාශ කිරීම. මැල්කම් , ලයිලා සමඟ ජීවත්වීමට ඉඩම් මිලදී ගැනීම පිළිබඳව ස්ථාන දෙකක් සඳහන් වේ.
ඒ වගෙම ලයිලගෙ පියා හා මව සම්බන්ධ එකම විස්තරය 70 පිටුවේත් , 122 පිටුවේත් සඳහන් වෙනවා..
ඉහත අඩුපාඩු ඌනතා හා දෝෂ තිබුනත් මෙය අසාර්ථක නවකතාවක් නෙවෙයි. මා කියවා ඇති ඇගේ අනෙකුත් නවකතාවන් වන සුජාත පුත්‍රයන්ගේ වස්තුව , වඩබාගින්න , සපත්නී යන නවකතාවල තිබුන සාර්ථකත්වය මෙම කෙටි නවකතාව තුල දකින්නට නෑ. ඒ හින්දා මෙය ඉතාමත් සාමාන්‍ය නවකතාවක් ලෙස හදුන්වන්න පුළුවන්..
(‘වැසී ගිය පෙත් මං’ සූරිය ප්‍රකාශනයක් – පළමු මුද්‍රණය 2015)