මෙටල්මය හැඩ වැටුණු ග්‍රොටෙස්ක්මය ලියැවිල්ල – ‘ලිලිත් සහ ලිලී මල්’

Share post:

ගිහාන් සචින්ත ලියූ ලිලිත් සහ ලිලී මල් මූලික කොටගෙන 2023 ජුනි මස පස්වැනි දා පැවැත්වුණු Zoom හමුවට පසුව ලියැවුණකි.

ට්‍රාන්ස්ග්‍රෙසිව් සාහිත්‍යය අතිශය පුළුල් ය. ලෝක ප්‍රසිද්ධ ලේඛකයින් වන ජේ. ජී. බැලර්ඩ්, ව්ලැදිමියර් නබොකෝ, බ්‍රෙට් ඊස්ටන් එලිස් සහ චක් පොලොනික් වැන්නවුන්ගේ සිට, ඇලීසා නටිං, මැතිව් ස්ටෝකි, ඩෙනිස් ජොන්සන් වැනි තරමක් ප්‍රසිද්ධ ලේඛකයින් සහ ජී. සී. මැකායි වැනි අප්‍රසිද්ධ, කල්ට් ගුණ දරන ලේඛකයින්, විවිධ ගණයේ තේමා අඩංගු, පුළුල් ට්‍රාන්ස්ග්‍රෙසිව් සාහිත්‍යයේ වැදගත් සාහිත්‍යකරුවන් ලෙස සැලකිය හැක. අතීතයේ ට්‍රාන්ස්ග්‍රෙසිව් කියා පිළිගැනුණු පොත් සහ වර්තමානය වන විට ට්‍රාන්ස්ග්‍රෙසිව් කියා පිළිගැනෙන පොත් අතර අහසට පොළොව මෙන් වෙනස්කම් ඇත. 1950 ගණන්වල දී ලියැවුණු, ව්ලැදිමියර් නබොකෝ ගේ ලොලීටා, ට්‍රාන්ස්ග්‍රෙසිව් සාහිත්‍යයේ වැදගත් කොටසක් කියා බොහෝ දෙනා පවසති. එනමුත්, ලොලීටා සහ 2023 වන විට ට්‍රාන්ස්ග්‍රෙසිව් ලෙසින් හැඳින්වෙන පොත් අතරේ සැලකිය යුතු මට්ටමේ වෙනස්කමක් ඇත. ට්‍රාන්ස්ග්‍රෙසිව් සාහිත්‍යයේ එන පොත්වල බහුලව දැකිය හැකි අංගයන් ය අධික ප්‍රචණ්ඩත්වය, ව්‍යාභිචාරය, ශවකාමය වැනි දෑ. Transgressive Fiction යන්න නිර්වචනය කර ඇත්තේ මෙයා’කාරයෙනි: සමාජ ධර්මතා වලින් පීඩාවට පත් ව, එම ධර්මතාවල සීමා වලට කොටු ව සිටිනවා යැයි සිතා සිටින, එම ධර්මතා වලින් මිදෙන්නට අමුතු සහ අයුතු ක්‍රම විධි භාවිත කරනා චරිත වටා ගෙතී ඇති කතන්දර ට්‍රාන්ස්ග්‍රෙසිව් ප්‍රබන්ධ ය. විකීපීඩියා නිර්වචනයේ මෙවන් කොටසක් ද වේ: “සමාජයේ සරල ධර්මතා හා ඔට්ටු වන හෙයින්, ට්‍රාන්ස්ග්‍රෙසිව් ෆික්ෂන් කතන්දරවල කතා නායකයින් මානසික රෝගවලින් පෙළෙන අය, සමාජ විරෝධී අය හෝ ශුන්‍යවාදී අය ලෙස හැඟෙනා’කාරයෙන් කතන්දරවල දක්වා ඇත.”

බ්‍රිතාන්‍ය ‘කල්ට්’ ලේඛක ජී. සී. මැකායි මේ අනුව යමින් පවසන්නේ, මිගෙල් ද සර්වන්තෙස් ලියූ දොන් කියෝතේ හි පවා ට්‍රාන්ස්ග්‍රෙසිව් කියා සැලකිය හැකි අංග (ට්‍රාන්ස්ග්‍රෙසිව් කියා සැලකිය හැකි චරිත) පවතින බව ය. එනමුත්, එය සැබැවින් ම එවන් ට්‍රාන්ස්ග්‍රෙසිව් කෘතියක් ද යන ගැටළුව ද පවතියි. එහෙයින්, ට්‍රාන්ස්ග්‍රෙසිව් ෆික්ෂන් පාඨක ප්‍රජාවෙන් සමහරක් තවමත් මෙය හරි හැටි නිර්වචනය කොට නැති බැව් පවසති. සමහරුන් පවසන්නේ ට්‍රාන්ස්ග්‍රෙසිව් යන්න එක්තරා Element එකක් බවත්, එය අඩු-වැඩි වශයෙන් කතන්දර බොහෝමයක ඇතුළත් වන බවත් ය. තවත් සමහරු විකීපීඩියා හි ඇති නිර්වචනය හා එකඟ වෙති. තවත් සමහරු උක්ත ව්‍යාභිචාරය, ශවකාමය, අධික ප්‍රචණ්ඩත්වය වැනි දෑ අයත් සාහිත්‍ය කෘති ට්‍රාන්ස්ග්‍රෙසිව් ලෙස දකිති.

එහෙත් ලිලිත් සහ ලිලී මල් ට්‍රාන්ස්ග්‍රෙසිව් ද? පුද්ගලික ව, මා හට, ලිලිත් සහ ලිලී මල් ට්‍රාන්ස්ග්‍රෙසිව් කියා නම් කළ නොහැකි, එවැනි සේයාවක් සොරෙන් විත්, ජනේලයෙන් එබිකම් කරමින් බලා යන්නා වූ කෘතියකි. අනෙක් වචනවලින් පැවසුවහොත්, මෙය සියයට අනූවක් ම, නැතොත් අනූ පහක් ම ට්‍රාන්ස්ග්‍රෙසිව් නොවන්නේ ය. එහෙත්, මා පුද්ගලික ව වඩාත් ම ප්‍රිය කරන කර්ම කෝප්පෙක කෝප කෝපි කවි කතාවේ අර එකී ජනේල එබිකම් කෙරුම තරමක් තීව්‍ර ව දැනෙන්නට වන්නේ ය. බේකරි මාලිගාවෙන් පින්ක් ෆ්ලොයිඩ් සංගීත කණ්ඩායමේ ඇනිමල්ස් නම් ඇල්බමය, වෙසෙසින් ම එහි එන පිග්ස් නම් ගීය සිහියට කැඳවෙන්නේ ය. ඒ සිහියට කැඳවෙන විට දී මනැසේ ජෝජ් ඕවල්ගේ විශිෂ්ට කෘතියක් මෙන් ම, ට්‍රාන්ස්ග්‍රෙසිව් කෘතියක් ලෙස සැළකෙන Animal Farm අනුසාරයෙන් නිමැවුණු කාටූන් චිත්‍රපටයේ කොටස් සහ රූප, ඇඳෙන්නට වන්නේ ය. සමහරවිටෙක Korn සංගීත කණ්ඩායම මැදින් පැන ගීත ඛණ්ඩයක් ගායනා කොට, වසන් වන්නේ ය. නමුත් පොතෙහි Korn යන වචනයවත් නොමැත. මෙහි එන කතන්දර පහ ම මෙටල් ගී සඳහා ඇති වීඩියෝ පට සඳහා ලියූ රූප රචනා වැනි ය. මෙහි කෙටිකතා පහකි. පළමු වැන්න, “ලිලිත් සහ ලිලී මල්” ය. දෙවැන්න, “කර්ම කෝප්පෙක කෝප කෝපි කවි” ය. තෙවැන්න “බේකරි මාලිගාව” ය. සිව්වැන්න “බතොරීය ප්‍රේමය” වන අතර, පස්වැන්න මෙහි එන සංකීර්ණත ම නිර්මාණය කියා හැඳින්විය හැකි “කැලණි නදියේ විලාපය” ය. ලිලිත් සහ ලිලී මල් නම් කතාවෙහි මම, ‘හෙදර්මය’ සේයාවක් දිටිමි. ‘හෙදර්’ යනු ජී. සී. මැකායි ලියූ එක්තරා පොතකි. එය ට්‍රාන්ස්ග්‍රෙසිව් ගුණ වැඩි ප්‍රමාණයක් අඩංගු ට්‍රාන්ස්ග්‍රෙසිව් කතන්දරයක් වන අතර, වර්තමානයේ අර්වයින් වෙල්ෂ්, බ්‍රෙට් ඊස්ටන් එලිස්, චක් පොලොනික් වැන්නවුන් රචනා කරනා ආකාරයෙන් නබොකොව් ගේ ලෝක පූජිත කෘතිය වන ලොලීටා දෙස නැවත බැලීමක් ලෙස එය හැඳින්විය හැක. එනමුත්, කතා වස්තූන් ද්වය මුළුමනින් ම වෙනස් ය. එමෙන් ම, ලිලිත් සහ ලිලී මල් නම් පළමු කෙටිකතාව කියවන විට දී මා මතකයට විටින් විට එඩ්ගා ඇලන් පෝ පැමිණීම ද මනහර විය. කියවන අතරවාරයේ දී ඔහුගේ ඇනබෙල් ලී හි සිනිඳු සේයාවක් මේ වටා දැවටී තිබෙනු මා දුටු අතර, ඉන් මෙයට ගොතික් හැඩතල ද එක්කාසු වූ බැව් පැවසිය යුතු ම ය. අවසනට ම, ජොරොදෝස්කි විත්, එබී බලා යන්නේ ය. කතන්දර ස්පොයිල් කර යුතු නැතැයි මම සිතන්නෙමි. එනිසා, මම එක කතන්දරයක් පමණක් තරමක් විස්තර කරන්නට යන්නෙමි.

“ඉදින් මම ලිඩෝවට වැදී කර්ම නරඹන්න ප්‍රවේශ පත්‍රයක් මිලදී ගතිමි. ඉතුරු වූ කාසි කිහිපයත් පසුම්බියේ ඔබා මූත්‍රා බර නිදහස් කරනු වස් සුළු දිය කුටියට වැදේ. ඇඟිලි යුග්මය නිරායාසයෙන් ම නාස් කුහරය වසා ගනී. මුත්‍රා කෝෂ ලිහිල් ව අවසාන බින්දුව දක්වා ම පෝසිලේන්මය පිස් පෝච්චියට උරාගනී. ඉදින් අවසාන මූත්‍රා බිංදුවේ සදාතනික අයිතිකරුවා කොපමණ හෙල්ලුවත් ජොකා නොවෙද? ඩුෂාම්පීය අත්සනක් ලෙස පිස් පෝච්චිය මත සුළුදිය කහට බැඳිලා ය. කාරා ගැසූ කෙළ තැම්බ ඒ මතට වැදී හෙමින් පහළට ගමන් කරයි. සෝදා හරින කරාමය බංගුර ව ගොස් ඇත. වතුර ගසන්නට ක්‍රමයක් නැති බැවින් මම සුළුදිය කුටියට සමුදෙමි. බැදෙන පොප් කෝන් සුගන්ධය දසත ය. සිත්තරපට උමතුව හා බැඳුණු පොප් කෝන් හැපිල්ල උදර සන්තර්පණයට කදිම ය. ඉදින් මම ආපණ සැලෙන් පොප් කෝන් ගොට්ටක් මිලට ගෙන ඉන් අහුරක් කට තුළට ඔබමි. කරස් ගා හැපෙන ලුණු මසු පොරි කැබලි හම්බන්තොර මතක් කරයි. හරියට ම මුහුදු වතුරක් පෙවුණා සේ. පොප් කෝන් සුගන්ධය පරයා නැගෙනා ඒ විලවුනක සුගන්ධය පරයා නැගෙනා ඒ විලවුනක සුගන්ධය නාස් කුහරය තුළ කැරළි ගසන්නට වූයේ ඉන් අනතුරු ව ය. එය ගුචියක් විය යුතු ය. ඕනෑ ම දුරක් තියා හැඳින හැකි ඩව් වර්ගයේ ෂැම්පු ගන්ධය හමා එන්නට වූයේ ඉන් අනතුරු ව ය. මම ඒ සුවඳ පසුපස ලුහු බඳිමි. තරප්පු පෙළ නගින ඒ මේ අත වැනෙන කෙස් කලඹත් පැන්සල් කැපුම් වර්ගයේ ජීන්සුවත් පසුපස මගේ දෑස සක්මනක ය. ඈ මා දෙනෙත් මානයෙන් මැකී යන්නී. ඒ අඳුරු කළු කුහරය දෙසට ය.”

උපුටා දක්වා ඇති මෙම කොටස, මෙහි එන ‘කර්ම කෝප්පෙක කෝප කෝපි කවි’ හි එන්නකි. ලිලිත් සහ ලිලී මල් හි එන කතන්දර පහ ම තරමක් සෙමින් කියැවිය යුතු ය. ඒ එම වාක්‍ය ශෛලිය වේගයෙන් කියැවීම තරමක් වෙහෙසකර නිසා ම නොවේ. ඒ මෙහි එන සමහර වචන සෙල්ලම්, පොත රස විඳින්නට උපකාර වන හෙයිනි. කතුවරයා මෙම කොටසින් ඕල්ෆැක්‍ටරි ඉමේජරිවලින් පටන්ගෙන, විෂුවල් ඉමේජරි දෙසට පිය තබා, ගස්ටේටරි ඉමේජරි දෑතින් ම රැගෙන, නැවතත් සිය අවධානය පිළිවෙළින් ඕල්ෆැක්ටරි ඉමේජරියට ද, ඉනික්බිති විෂුවල් ඉමේජරියට ද යොමු කරන්නට වන්නේ ග්‍රොටෙස්ක් සාහිත්‍ය කෘතීන් හි දකිත හැකි ආකාරයට ය. නමුදු ඒ දෙයාකාරයකට ය. ප්‍රථම ඕල්ෆැක්‍ටරිය සහ විෂුවල් ඉමේජරිය දෙවැනි ඕල්ෆැක්‍ටරිය සහ විෂුවල් ඉමේජරිය හා යා කරන පාලම ගස්ටේටරිය (පොප් කෝන්) වන්නේ ය. මේ සෙන්ස් ඉමේජරි සමඟ කතුවරයා පාන සෙල්ලම අසමසම ය. මුත්‍රවලින් හමනුයේ අපුල ගන්ධයකි. සුළුදිය කහට බැඳී ගිය පිස් පෝච්චිය ජුගුප්සාජනක දසුනකි. පොප් කෝන් සුගඳ ජටරාග්නියට පොහොර දමන්නේ ය. තරුණයා එය බුදින්නට වන්නේ ය. නැවතත් ඕල්ෆැක්ටරියකි. නමුත් මෙවර එය සුගන්ධයකි. එබැව් කතුවරයා කියන්නේ මෙලෙස ය: “පොප් කෝන් සුගන්ධය පරයා නැගෙනා ඒ විලවුනක සුගන්ධය නාස් කුහරය තුල කැරළි ගසන්නට වූයේ ඉන් අනතුරු ව ය. එය ගුචියක් විය යුතු ය.” ඔබ මතක තබා ගත යුතු යමක් වන්නේ ය; තවමත් කාන්තාවක පෙනෙන මානයේවත් නැත. කතුවරයා මුලින් අවධානය යොමු කරනුයේ ඇගෙන් පැතිරෙන්නා වූ සුගන්ධයට ය. ඇගේ සිරුරින් හමන්නා වූ ගුචී වර්ගයේ සුවඳ පැන්වල සුගන්ධයෙන් ඔහු ඇගේ කෙස්සෙන් හමන්නා වූ ඩව් ෂැම්පු සුගන්ධය තරුණයාගේ නැහැ කුහර තුළට ඇතුළු කරන්නට පෙළඹෙන්නේ ය. ඉක්බිති පිරිපුන් කෙස් කළඹ මඟින් විෂුවල් ඉමේජරියට නැවත සාර්ථක ව පිය තබමින් ඇගේ කොණ්ඩයේ චලනය වීම, ඉන්පසු කිනෙස්තටික් ඉමේජරි මගින් ඇය ගමන් කරනා’යුරු පෙන්වන්නට ද—‘ඇගේ කෙස් කළඹ’ තරප්පු පෙළ නඟිනා’යුරු—කතුවරයා පෙළඹේ. සූක්ෂ්ම ව අවධානය යොමු කරමින් කියවන කල, මෙහි සාහිත්‍යයේ සාමාන්‍යයෙන් එන සෙන්සස් හය වර්ගය ම ඇතුළත් කර ඇති බැව් ඔබට පසක් වනු ඇත. ස්වපීඩක කාම සිදුවීම්වලට වැඩි ඉඩක් වෙන්කොට ඇති මෙහි අවසානය විශිෂ්ට එකක් වන හෙයින් එය ‘ස්පොයිල්’ කරන්නට නොයන්නෙමි. නමුත් මෙම කතන්දරය සැබැවින් ම මා කියැවූ හොඳ ම කෙටිකතාවලින් එකක් බව නම් මට කිව හැක. ඊට වෙසෙසින් ම හේතු වනුයේ මොහුගේ භාෂාත්මක සෙල්ලම් ය.

ඔබ සිත සොරාගත් ඩැෆොඩිල්, මෙම එකතුවේ කතන්දරවල දැෆොදිල් ය; Gold Leaf සිගරැට්ටුව ස්වර්ණ පත් ය. Catwalk ගමන් ලීලාව බළල් සක්මන ය. Gucci යනු ගුචිය යි. මෙවන් වචන හරඹ දමමින් කතුවරයා ප්‍රෝස් ස්ටයිලිසම් හි තවත් පැතිකඩකට සේන්දු වන බැව් සහතික ය. යතුරුපුවරුවට ඇඟිලි තුඩු ඔබන මේ වේලාවේ දී ද මම එඩ්ගා ඇලන් පෝ ද, එකෝ ද, ජේ. ජී. බැලර්ඩ් ද, ජී. සී. මැකායි ද, කේ. කේ. සමන් කුමාර ද, පින්ක් ෆ්ලොයිඩ් ගේ ඇනිමල්ස් ඇල්බමය ද, ෂේක්ස්පියර් ද, ඔතෙලෝ ද, මාකී දේ සාද් ද, ව්ලැදිමියර් නබොකෝ ද, Korn සංගීත කණ්ඩායම ද, ඩේවිඩ් ලින්ච් සහ ජොරොදෝස්කි ද, මෙටල් සංගීතය ද සිහි කැඳවූ පිටු දෙසීයක් හෝ නොමැති මෙම සුවිසල් පොත අසල ය; සසල ය.

කාව්‍ය තත්සර

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...