මෑතකදී ප්‍රකාශයට පත් වුණු කෙටි නවකතාවක් වන “Death of an Author,” කෘතියේ, ක්‍රමවත් ආකාරයෙන් පිළයෙල නොවූ, ‘නාචෝස්’ නම් ආහාර වර්ගයක් පිළිබඳ එහි කතෘ ඒඩ්න් මාර්ෂින් මෙසේ විස්තර කරයි. (නාචෝස් යනු ඉරිඟු පිටිවලින් සකසන ලද ටෝටියා නම් මෙක්සිකානු රොටි තීරු විශේෂයක් මතට දියර චීස්, බෝංචි, මස් කැබලි සහ සැර කුළු බඩු එක් කර පිළියෙල කරන ආහාරයකි)
“චීස් මිදී ඇති අතර ටෝටියා රොටි තීරු තෙත්ව පෙඟී, කිළිටි උඩු මණ්ඩි වැනි සිහින් තෙල් පටලයක් ඒ මත තැවරී තිබුණි. ගුස්ත් ඉන් කටක් බලෙන් මෙන් කටේ ඔබා ගත්තේය, එහෙත් එහි වූයේ මුඩු, කටුක ව්‍යාජ චීස් රසයකි. ඔහු ලොකු බියර් උගුරක් බී එය උගුරින් පහළට සෝදා හැරියද, ඉන් ඇති කළේ ද, එය වරුවක් අව් රැල්ලේ පිච්චුන විටදී ඇතිවන ආකාරයේ අවරසයකි.”
එය විචිත්‍ර රචනාවකි, එය කියවන විට කෙනෙකුට දැනෙන්නේ, නියමාකාරයෙන් පිළියෙල නොවූ, ආහාරයක ලක්ෂණ කිහිපයකි. එහි තෙල් ගතියක් ඇත, ඒ ආහාරය වියලි නැත, දියර චීස් නිසා එම ආහාරය මුවට දමා ගනිද්දී කිසියම් ඇලෙන සුලු බවක් ඇති කරයි. එය එතරම් ප්‍රියදායි ආහාරයක් නොවෙන බව සාහිත්‍යකරුවා පවසයි, එහි කටුක චීස් රසයක් ඇත. එසේම අව්රැල්ලට හසු වූ රොටියක එන අවරසය එහි ඇත. ඒ කුඩා වාක්‍ය කිහිපයෙන් නියමාකාරයෙන් පිළියෙල නොවු ‘නාචොස්’ දීසියක් පිළිබඳ විස්තර කළ ද එය කියවන කෙනෙකුට ඉන් කටක් රස බැලීමට ආසාවක් ඇති වන තරම් ඒ ලියවිල්ල නම් රසවත්ය.
ඒ වාක්‍ය කිහිපය කියවන විට ඒ ලියවිල්ල සම්පාදනය කළ සාහිත්‍යකරුවා පිළිබඳ පහන් හැඟිමක් අප තුළ ඇති වෙයි. සාහිත්‍ය කෘතියක් හොඳින් රස විඳීමටත්, නොනවත්වා එම කියවීමේ එල්බගෙන සිටීමටත් එවැනි රසවත් ලිවීම් පාඨකයාට මහත් පිටවහලක් වෙයි. එදිනෙදා ජීවිතයේ අපට සිදුවන, අප අත්විඳින ඉතා සරල සිදුවීමක් ඒ ආකාරයෙන් අපට ඉතා සියුම්ව දැනවෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සාහිත්‍යකරුවකු සතු එක් සුවිශේෂි හැකියාවකි.
එහෙත් ඒ වාක්‍ය කිහිපය, මානවයකු විසින් ලියන ලද ලියවිල්ලක් නොවේ යැයි කිසිවෙකු පැවසුවොත් එය අපට තරමක් විශ්වාස කිරිමට අපහසු කාරණයක් විය හැකිය. සැබවින්ම මේ කෘතියේ කතෘ, අසාමාන්‍ය ගණයේ ලේඛකයෙකි, එනම් ඒඩ්න් මාර්ෂින් යනු මානවයෙක් නොව එක්තරා ආකාරයක පරිඝණක පද්ධතියකි. චීස් රසය කුමක්දැයි නොදන්නා, අව්රස්නෙට හසුවන ආහාරයක එන අවරසය ගැන කිසිවක්ම නොදන්නා කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන පරිඝණක පද්ධතියකි. එහෙත් එම පරිඝණක පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිටුපස, නොවැරදීම සිටින්නේ මිනිස් ලේඛකයෙකි. ඔහු නමින් ස්ටෙෆන් මාර්ෂ් ය.
කැනේඩියානු නවකතාකරුවෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන ස්ටෙෆන් මාර්ෂ් Death of an Author කෙටි නවකතාව ලියා ඇත්තේ කෘතිම බුද්ධියෙන් නිමැවුනු පරිඝණක වැඩසටහන් තුනක් ආධාර කරගෙනය. වෙනත් වචනවලින් කියතොත් ස්ටෙෆන් මාෂ් විසින් ලබා දෙන පෘථුල විධානත්, කතා වින්‍යාසයත් ආධාරකොට ගෙන එම කෘතිය ලියා ඇත්තේ, කෘතිම බුද්ධියෙන් නිමැවුණු පරිඝණක වැඩසටහන් ත්‍රිත්වයක් මඟිනි. ඔබට එය ඒ ද්විධාකාරයෙන්ම තේරුම්ගත හැකිය.
“සියයට සියයක්ම එහි නිර්මාණකරු මමයි” මාර්ෂ් කියයි. “එහෙත් අනික් පැත්තෙන් එහි භාෂාවේ අයිතිකරු මම නෙවෙයි.” ස්ටෆෙන් මාර්ෂ් පවසන පරිදි එම කෘතිය සියයට අනූපහක්ම ලියා ඇත්තේ කෘතිම බුද්ධිය විසිනි. කෘතියේ කතෘගේ නම ලෙස, එහි මානව ලේඛකයාගේ නම වන මාර්ෂ් සහ ‘මැෂීන්’(machine) යන ඉංග්‍රිසි වචන සංයෝජනය කර මාර්ෂින් (Marchine) ලෙස යොදා ඇත්තේ ද ඒ නිසාය.
තම පරිඝණකයෙන් කතාව ගොඩනැඟීම සඳහා මාර්ෂ් පළමුව යොදාගෙන ඇත්තේ ChatGPT පරිඝණක වැඩසටහනයි. විශාල ප්‍රමාණයක විධාන සහ සටහන් ඇතුළත් කිරීම හරහා එහි කතාවේ දළ සැකැස්ම එම මෘදුකාංගය මඟින් ඔහු පළමුව සකස් කොට ඇත. කෘතිම බුද්ධිය, සංවාද ගොඩනැඟීම ඇතුලු ප්‍රබන්ධකලාවේ බොහෝ දේ වලට ඉතාමත් ශූර වුවත් එය කතා වින්‍යාස ගොඩනැඟීමේදී ඉතාමත් දුර්වල යැයි මාර්ෂ් පවසයි.
ඉන් අනතුරුව ඔහු යොදා ගෙන ඇත්තේ Sudowrite නම් පරිඝණක වැඩසටහනයි. ඔහු එම වැඩසටහන යොදාගනිමින්, සුදුසු තැන්හිදී වාක්‍ය කෙටි හෝ දිගු ඒවා ලෙස වෙනස්කර එම ලියවිල්ලට වඩාත් සංවාදාත්මක තානයක් හෝ එසේත් නැතිනම් අවශ්‍ය යැයි සිතෙන තැන් හි දි අර්නස්ට් හෙමින්ග්‍වේ ඇතුළු තව බොහෝ ලේඛකයන්ගේ ලේඛණ ශෛලියට සමාන ශෛලින් කෘතියට ඇතුළත් කිරීමට ඔහු උත්සාහ කොට ඇත. අවසාන වශයෙන් ඔහු Cohere පරිඝණක පද්ධතිය යොදාගෙන ඇත්‍තේ කෘතියට වඩාත් කාව්‍යමය සහ සෞන්දර්යයාත්මක භාෂා ශෛලියක් ලබා දීම සඳහාය.
චිචාරක මතය
ස්ටෙෆන් මාර්ෂ් මෙම කෘතිය සම්පාදනය කලේ ශ්‍රව්‍ය කෘති ප්‍රකාශකයෙකු වන පුෂ්කින් ඉන්ඩ්‍රස්ට්‍රීස් සමාගමේ ආරාධනාවකට අනුවය. එම සමාගමේ ප්‍රධාන විධායක ජේකොබ් වෙයිස්බර්ග් විසින් පසුගිය ජනවාරි මාසයේ( 2023), ලිවීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම පිළිබඳ, දශකයකට නොවැඩි කාලයක් පර්යේෂණ කටයුතු වල නියැලුනු සහ කෘතිම බුද්ධිය භාවිතයෙන් ලිපි සහ විවිධ සාහිත්‍ය නිර්මාණයන් සිදු කරමින් අත්හදා බැලීම් සිදු කරමින් සිටි, ස්ටෙෆන් මාර්ෂ් වෙත, ඝාතනයක් සම්බන්ධ රහස් පරීක්ෂක කතාවක් කෘතිම බුද්ධිය භාවිතයෙන් ලිවීමට යෝජනාවක් ගෙන ආවේය. එහි ප්‍රථිපලයක් ලෙස, පසුගිය මැයි මාසයේ ශ්‍රව්‍ය සහ විද්‍යුත් කෘතියක් ලෙස Death of an Author කෙටි නවකතාව පුෂ්කින් ඉන්ඩස්ට්‍රිස් සමාගම විසින් එළි දැක්වුයේය.
ද නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියට අනුව මානව ඉතිහාසයේ කෘතිම බුද්ධිය සහමුලින්ම ආධාරකොටගෙන සම්පාදනය කරන ලද පළමු සාර්ථක කෙටි නව කතාව Death of an Author වෙයි.
එම කෘතිය පිළිබඳ මෙතෙක් ලියැවී ඇති විචාර ලිපි වලට අනුව, එය මිනිසා සහ යන්ත්‍රය මුණ ගැසෙන විපරීත ලෝකයක, අතිශයින් නිර්මාණශීලී, කුතුහලය දනවන පර්යේෂණාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
එහි කතා සාරංශය මෙසේය:
සාහිත්‍ය විචාරකයකු සහ විද්වතෙකු වන ඔගුස්ත් දුපං(ගුස්ත්)ට හදිසියේම මිනිමැරුමකින් ජිවිතක්ෂයට පත් වූ ප්‍රකට නවකතාකාරියක වන පෙගී ෆර්මින් ගේ අවමංගල උත්සවයට ඇරයුම් ලබයි. එම අවස්ථාවට ඔහු සහභාගී වන්නේ එම නවකතා කතුවරියගේ ඝාතනය සිදු කළේ කවුරුන් විසින් ද සහ ඒ ඇයිද යන කාරණා සොයා ගන්නෙමිය යන දැඩි සිතුවිල්ලෙනි. එහෙත් ඔහුගේ එම විමර්ශණය ඇරඹී කෙටි කලකින්ම, ඔහුද Marlow AI නැමැති දැවැන්ත භාෂා මොඩල සමාගමක් විසින් සිදුකරන පර්යේෂණයකට කොටු වී ඇති බව ඔහුට ඒත්තු යයි.
ඔහුව එම පර්යේෂණයට අන්තර්ග්‍රහණය කරගත්තේ ඇයි, එහි මියගිය නවකතාකාරිය ෆර්මින්ට ඇති භූමිකාව කුමක්ද? හදිසියේම දුපං, ෆර්මින් ඝාතනයේ සැකකරුවෙකු බවට පත් වන්නේ ඇයි? ඔහු කැමති නවකතාකාරිය ෆර්මින් යනු කවුද? කෘතිම බුද්ධියක් ද? මනුෂ්‍යයෙක් ද? නැතිනම් මනුෂයෙකු ලෙස පෙනී සිටින කෘතිම බුද්ධියක් ද? මේ ආකාරයේ ප්‍රශ්න මාලාවක් මතුකළ, ජීවිතයේ කෙදිනකවත් නොසිතූ නොපැතූ අද්භූත අභිරහසක දුපං ට පැටලෙන්නට සිදුවෙයි. මතුපිට තලයේදී, තම ප්‍රියතම ලේඛිකාවගේ මරණයේ අභිරහස හෙළිකරගැනීමට දුපං දරන ප්‍රයත්නය අතරවාරේ, පාඨකයාට මුණ ගැසෙන්නේ මිනිසා සහ යන්ත්‍රය අතර සහසම්බන්ධය කුමක්ද, එම සබඳතාවය දුර දිග යාමේ අනිසි ප්‍රථිපලය මිනිමැරුමක් ද යන කාරණා සිතන්නට පෙළඹෙන විකල්පීය දුර්දාන්ත යථාර්තයකි.
බොහෝ විචාරකයන්ට අනුව Death of an Author කෘතිය එතෙක් නොවු වීරූ ආකාරයෙන්, කෘතිම බුද්ධිය යොදාගෙන කළ, කතා කලාවේ විප්ලවීය සහ දැවැන්ත පිම්මක් කියා පාන වෑයමකි. ශූර ලේඛකයෙක් සහ කෘතිම බුද්ධිය එක්ව, ඒ ආකාරයෙන් ලියැවුණු ඒ ප්‍රබන්ධ සාහිත්‍ය ශානරය, එවැනි නිර්මාණ තුළ පවතින කතා කීමේ ස්වභාවය, භාෂාවේ බලය පිළිබඳ කරන ලද ආචාර්ය උපාධි පර්යේෂණ දහසකට සමාන සාර්ථක පර්යේෂණාත්මක වෑයමකි. අපට එසේ පැවසිය හැක්කේ ඒ ලිවීමේ කාර්යයට සහභාගී වූ කෘතිම බුද්ධියට අදාළ පරිඝණක පද්ධති, අන්තර්ජාලයේ ඇති සියලුම සාහිත්‍යය පීරා, කියවා වඩාත් හොඳ ‘ලීවීමක’ට අදාළ බිලියන ගණනක පරාමිතියන් සොයා ගෙන ඇති නිසාය.
එසේම මේ දක්වා පැවති සාමාන්‍ය මතය වී තිබුනේ කෘතිම බුද්ධියට විශේලේෂණය කිරීමේ සහ පරිඝණක භාවිතයට අදාළ විචාරත්මකව සිතීමේ හැකියාව තිබෙන නමුදු, එය නිර්මාණශීලී, පුද්ගලගත සිතීම සහ සන්දර්භානුගත අවබෝධය සම්බන්ධයෙන් එතරම් කාර්යක්ෂම නොවන බවයි. එහෙත් විචාරකයන්ට අනුව, Death of an Author කෘතිය විසින් මේ වන විට එම මතය දැඩිව අභියෝගට ලක් කර ඇත. ඔවුන් අදහස් කරන්නේ, එම කෘතිය නිර්මාණය කිරීම විසින්, වඩාත් හොඳ තත්වයේ සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම සඳහා මහා භාෂා මොඩල (LLM- large language model) පුහුණු කළ හැකි බව අනාගත ලෝකයට පෙන්වා දී ඇති බවයි.
එහෙත් සමහර විචාරකයන් මෙන්ම කෘතිය කියැවූ පාඨකයන් ද එම කෘතියේ කතාන්දරය ගොඩ නැඟීමේදි සිදුවන විශ්වසනීයත්ව බිඳ දමන අභව්‍ය සිදුවීම් ගෙන හැර පාමින් එහි ඇති සාහිත්‍යයික දුර්වලතා පෙන්වා දී ඇති නමුත් ඔවුන් එය දකින්නේ, කෘතිම බුද්ධියේ වරදක් පමණක් නොව ලේඛකයාගේ ද අතින් සිදුවන අඩුපාඩුකම් ලෙසය.
ඇමරිකානු ලේඛකයෙකු සහ විචාරකයකු ටොම් කොමිටා Death of an author කෘතිය පිළිබඳ සම්පාදනය කරන ලද චිවාර ලිපියේ සඳහන් කර ඇති පරිදි ChatGPT වැනි මහා භාෂා මොඩල වෙත(LLM- large language model) පටන් ගැන්මේ සිට අවසානය දක්වා, නොකැඩෙන සුලු ලිවීමක් සිදු කිරීමේ හැකියාවක් නැත. මේ මොහොතවන විට දළ වශයෙන් ChatGPT කෘතිම බුද්ධියට එකවර සම්පාදනය කළ හැක්කේ වචන 600 කට ආසන්න වචන ප්‍රමාණයක් පමණි. එවිට සිදුවන්නේ මානව ලේඛකයාට විවිධ විධාන සපයා දෙමින් කොටස් වශයෙන් කතාව ලියා, පසුව එය සම්පූර්ණ කතාවක් ලෙස සංස්කරණය කිරීමයි.
එවිට උදාහරණයක් ලෙස Death of an author කෘතිය සම්පාදනය කරන ක්‍රියාවලිය තුළ මෙවැනි විධානයක් තිබිය හැකිය.
“ලේඛිකාවගේ මරණය CBC මාධ්‍යය ජාලය ඉදිරිපත් කරන ආකාරයේ ශෛලියෙන් ලියන්න” (CBC යනු කැනඩාවේ ප්‍රවෘත්ති මධ්‍ය ජාලයක්)
මීලඟ විධානය මෙය විය හැකිය: “ඔගුස්ත් එම මරණයට දක්වන ප්‍රතිචාරය ලියන්න” මේ ආකාරයෙන් ඛණ්ඩනය වෙමින් ලේඛකයා කෘතිම බුද්ධිය හරහා කතාව ගොඩනඟන විට, එම කතා විකාශනය තුළ ඇති කුඩා සිදුවීම් සහ චරිතවල ලක්ෂණ එම පරිඝණක පද්ධතියට සිහිතබා ගත නොහැකිය. එය කිසියම් ආකාරයකට නිර්මාණයේ ප්‍රබල බවට අභියෝග කෙරෙන එක සාධයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
මානව ලේඛක ස්ටෙෆන් මාර්ෂ්, එම කෘතිය සම්පාදනය කිරීමේදී මුහුණ දුන්, මූට්ටු මෝස්තර මැහුමක් ලෙසින් නිම වූ ඔහුගේ ලිවීමේ අත්දැකීම පිළිබදව Death of an Author කෘතියේ පසුවදනේ ඔහු සඳහන් කරයි. එසේම ඔහු එම කෘතිය නිර්මාණය කරන කාලයේදි අගතා ක්‍රිස්ට්, ජේම්ස් තොම්සන් වැන්නවුන්ගේ රහස් පරීක්ෂක කතා නැවත නැවත කියවමින් කෘතිම බුද්ධිය හරහා ඔවුන්ගේ ලේඛණ ශෛලිය කෘතියේ ලිවීමට ඇතුළත් කොටගත් සැටි ද එම පසුවදනේ ඔහු සඳහන් කොට ඇත. විචාරක මතයට අනුව, Death of an Author කෘතිය සඳහා, ස්ටෙෆන් මාර්ෂ් විසින් ලියන ලද පසුවදන, කෘතිම බුද්ධිය ඇසුරින් සාහිත්‍යකරණයේ යෙදෙන්නට සිහින මවන ඕනෑම අයෙකු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු වැදගත් ලිපියකි.
කෘතිම බුද්ධිය ඇසුරින් ලිවීම පිළිබඳ ස්ටෙෆන්ගේ අත්දැකීම්
කෘතිම බුද්ධිය යොදා ගනිමින් සාහිත්‍ය නිර්මාණයක් බිහි කරන විට කිසියම් ලේඛකයකුගේ මනසේ ඇඳෙන සංකල්ප රූප, චරිත, අවස්ථා සහ එම ලේඛකයාට අවශ්‍ය කෙරෙන ආඛ්‍යානය වැනි කිසියම් කෘතියකට අනන්‍යවන ලක්ෂණ තමන්ගේ අභිමතය පරිදි නිර්මාණය කරගන්නේ කෙසේද යන ගැටළුව ලේඛකයකු මුහුණ දෙන පළමු ප්‍රධාන අභියෝගය විය හැකිය. එහිදි කෘතිම බුද්ධියට ලබා දෙන විධාන ඉතාමත් වැදගත් වෙයි. එනම් කෘතිම බුද්ධිය ශූර ලෙස හැසිරවිය හැකි යතුර වන්නේ, අරමුණට වඩාත් සමීප, නිරවුල්, විස්තරාත්මක සහ නිශ්චිත විධානයන්ය. සැබවින්ම විචාරකයන්ට අනුව, සාහිත්‍ය කාර්යයේදී පරිඝණක පද්ධතියට ඇතුළත් කරන විධාන යනු, මේ වන විට විශේෂයෙන් අධ්‍යනය කළයුතු කලාවක් බවට පත් වී ඇත.
ස්ටෙෆන් මාර්ෂ් කෘතිම බුද්ධිය ඇසුරින් ලිවීමේ ඔහුගේ අත්දැකීම් මෙසේ විස්තර කරයි.
“පරිඝණක පද්ධතියට විධාන දීම මෙන්න මේ වගේ වෙන්න පුළුවන් : “ ‘කිසියම් ශෛලියකින්’ වෙනස්වන දිග ප්‍රමාණ ඇති සරල සහ සංකීර්ණ වාක්‍ය සම්මිශ්‍රණයක් සහිත ජේදයක් ලියන්න. ඉන්පසු එහි ‘මේ මේ තොරතුරු විස්තර කරන්න විශේෂණ පද පහක් හෝ හයක් ඇතුළත් කරන්න.’ එයට අවශ්‍ය තොරතුරු ද අප ඇතුළත් කළ යුතුය. ඉන් පසු එම පරිඝණක පද්ධතිය යම් කිසිවක් උත්පාදනය කරනවා.”
“එහෙත් එය මටසිළිටි ලිවීමක් නොවේ. ඉන් පසු ඔබට සිදුවෙනවා Sudowrite පරිඝණක පද්ධතිය යොදා ගන්න. ඔබ ලියන දේ ඉතාමත් සිත්ගන්නාසුළු තත්වයට පත් වෙන තුරුම විවිධ විධාන දෙමින්, ඔබට එම පරිඝණක පද්ධතිය භාවිතයට ගන්න පුළුවන්. සාහිත්‍ය කාර්යය තුළ පරිඝණක පද්ධතියට ලබා දෙන විධාන යනු, සංකල්ප රූප මැවීම සඳහා ලියන පාඨයන්ය. වඩාත් දීර්ඝ විධාන සඳහා වඩාත් හොඳ ප්‍රතිචාර ලැබෙනු ඇත. නමුත් මෙහිදී අවධානය යොමු කළ යුතු වඩාත් වැදගත් කාරණය වන්නේ, එම විධාන සඳහා ලියන පාඨ, සාහිත්‍යකරණයේදි සැළකිලිමත් විය යුතු පද සංයෝජනය, ව්‍යාකරණ, ලේඛණ ශෛලිය, තේමාව වැනි කාරණා පිළිබඳ අතිශයින් නිශ්චිත විය යුතු වීමයි.”
“මම මේ ආකාරයෙන් තමයි වැඩ කළේ. සමහරවිට තවත් අයට වෙනස් අත්දැකීම් ඇති. නමුත් මට විශ්වාසයි කෘතිම බුද්ධිය හරහා සාහිත්‍යයට දොර විවර කිරීමේ යතුර තිබෙන්නෙ එතන, ඒ නිශ්චිත විධාන තුළ. ඉන්පසු මම භාවිතා කළ Cohere පරිඝණක පද්ධතියට විධාන සම්බන්ධයෙන් මනා පුහුණවක් ලබා දුන් පසු, එය හැසිරිවීමට එතරම් වෙහෙසක් ගත යුතු නෑ. උදාහරණයක් ලෙස අවස්ථා පහළොවක පමණ නිදසුන් ගෙන කෝපි කෝප්පයක් පිළියෙල කිරීම පිළිබඳ තොරතුරු, කෝපිවල සුවඳ, පැහැය, කෝපි සෑදීම, කෝපි පානය අරභයා මිනිසා තුළ ඇති කරන හැඟීම වැනි කාරණා බොහොමයක් ඇතුළත් කළ පසු, එතරම් බරපතල නිශ්චිත විධාන ප්‍රමාණයකින් තොරව Cohere පරිඝණක පද්ධතිය ලවා කෝපි කෝප්පයක් තනා ගැනීමේ කාර්යය, සාහිත්‍ය නිර්මාණයේ ඒ ඒ සන්දර්භයට ගැලපෙන ආකාරයෙන් ලියා ගැනීමට හැකියාව තියෙනවා. සැබවින්ම ඒ තොරතුරු ආධාරයෙන් එම පද්ධතිය ඉතා විශිෂ්ඨ චිත්ත රූප මවනවා. එම පරිඝණක පද්ධතිය විශේෂයෙන් අපට ආධාර වන්නෙ වඩාත් සෞන්දර්යාත්මක, කාව්‍යාත්මක භාෂාවක් නිර්මාණය කර ගැනීමට.”
ස්ටෙෆන් මාර්ෂ් තවදුරටත් කෘතිම බුද්ධිය ඇසුරින් ලිවීමේ තම ඉන්ද්‍රජාලික අත්දැකීම විස්තර කර ඇත්තේ මේ ආකාරයෙනි.
“අපට තරමක් ආධුනික දෙයක් අපගේ පාලනයේ පැවතීම ඉතාමත් සිත් ගන්නා සුළු අත්දැකීමක්. ඒත් මට සමහරවිටෙක දැනුනෙ මම පිටසක්වල ජිවියෙක් එක්ක වැඩකරනවා, කතා කරනවා වගේ දෙයක්. ඒ තාක්ෂණය නම් ‘පිටසක්වල ජිවියාව’ මම යොදා ගන්නවා කෙටි නවකතාවක් ලියන්න. මට නුහුරු කිසිවක් මට පාලනය කරන්න හැකිවීම මට දැනුනේ විශ්මයජනක වගේම සෞන්දර්යාත්මක, බලගතු මොහොතක් විදියට.
“මම කවදාකවත් නොහිතපු දේවල්, කවදාකවත් මානව ලේඛකයෙකු නොලියු, ඉතාමත් සෞන්දර්යයාත්මක චිත්ත රූප මවන්න හැකි වචන මා ඉදිරියේ ලියැවෙද්දි, මට දැනුනෙ මම කිසියම් මහානුභාවසම්බන්න දෙයක් අත් දකිනවා වගේ හැඟීමක්.”
කෘතිම බුද්ධිය සහ මිනිසාගෙ නිර්මාණ හැකියාව
Death of an author ලෙස ස්ටෙෆන් මාර්ෂ් කෘතියට යොදා ඇති නම ද තරමක් උත්ප්‍රාසජනකය. එනම් කෘතිම බුද්ධියේ අනුහසින් ලිවීම යනු ලේඛකයා මියයාමක් ද? මාස කීපයකට ඉහතදී ChatGPT පරිඝණක පද්ධතිය ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟ මිනිසාගේ නිර්මාණ ශක්තියට කොයි තරම් වලංගුභාවයක් තිබේද, නිර්මාණ ලෝකය තුළ මිනිසාගේ හැකියාවට ඇති ඉඩ අහෝසි වී යාවි ද යන්න පිළිබඳ ප්‍රබල සංවාදයක් මතු වී ඇත. මේ වන විට සාහිත්‍යයට පමණක් නොව සංගීතය, ජායාරූපකරණය, චිත්‍රකලාව වැනි මිනිසාගේ නිර්මාණ කලාප සෑම එකක්ම පාහේ කෘතිම බුද්ධිය විසින් ආක්‍රමණය කොට, එම පරිඝණක පද්ධති, එම වැඩ බිම් තුළ විශ්මයජනක ලෙස පෙළහර පාමින් සිටියි.
එහෙත් බොහෝ විචාරකයන්ගේ අදහස් දැක්වීම් අනුව මහා භාෂා මොඩල( LLM) සහ අනෙකුත් කෘතිම බුද්ධියට අදාළ පරිඝණක පද්ධති යනු නිර්මාණකරුවන් නොවේ, ඒවාටම හිමි හෝ අනන්‍ය බුද්ධියක් ඒවාට නොමැත. ඒවා කිසියම් ආකාරයක මෙවලම් විශේෂයක් පමණි. තවමත් එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ මිනිසාගේ විධාන තුළින් පමණි. ඒවාට කිසියම් අනුප්‍රාණයක් හෝ ආවේශයක් තුළින් ස්වයං නිර්මාණ බිහි කළ නොහැකිය. උදාහරණයක් ලෙස මහා භාෂා මොඩල නම් පරිඝණක පද්ධති මිනිසාගේ ලිවීම් අධ්‍යනය කර, ඒවායේ රටාව හඳුනාගෙන එම ලිවීම් අනුකරණය කරමින් තර්කාන්විත, සවිඥානක අදහස් සේ ‘පෙනෙන’ කිසිවක් ලියයි. එය නිර්මාණශීලිත්ව නොවෙයි.
ස්ටෙෆන් මාර්ෂ් පවසන පරිදි මේ මොහොත වන විට කෘතිම බුද්ධිය යොදාගෙන ලියැවෙන කෘති බුරුතු පිටින් නිර්මාණය වෙමින් පවතියි. එහෙත් ඒවා බොහෝමයක් අවරගණයේ නිර්මාණ බව ඔහු ගේ අදහසයි. එහෙත් මේ ආකාරයෙන් කෘතිම බුද්ධිය හරහා නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවන විට නිර්මාණයක ඇති පුද්ගල නිංශ්‍රිතතාව අභියෝගයට ලක් වනු ඇති බවත්, මිනිසාට මේ මොහොත වන විට පරිකල්පනය කළ නොහැකි ආකාරයේ නව මානයක නිර්මාණ ඉදිරියේදී බිහි වීමට ඉඩ ඇති බවත් විචාරකයන්ගේ අදහසයි. ඒ කොයි හැටි වෙතත් මිනිසා විසින් බිහි කළ කෘතිම බුද්ධිය හරහා මිනිසාගේ නිර්මාණ හැකියාව, අභියෝගයට ලක්වන්නේද ඒ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳ නිශ්චිත අදහස් මතු කරගැනීමට මේ මොහොත වේලාසන වැඩි බව විවාදයකින් තොරව පිළගත හැකි සත්‍යයකි.
සුභාෂිණී චතුරිකා
පසුගිය සතියේ අනිද්දා පුවත්පතේ පළ වූ ලිපිය
ආශ්‍රිත මූලාශ්‍ර – නිව්යෝර්ක් ටයිම්ස්, thecreativepenn, wired.com, livemint.com, goodreads.com වෙබ් අඩවි