කියවන්නාව තෝල්යාගේ මානසික වංගගිරිය තුළින් චාරිකාවක රැගෙන යන “වංගගිරිය”

Share post:

“වංගගිරිය” පොත කියවාගෙන යද්දී එකම පඨිතයේ ස්ථර දෙකකින් කතා දෙකක් හමුවෙනවා. මෙහි මතුපිට ස්ථරය තෝල්යා නැමති ළමයෙකුගේ මව සහ පියාගේ විවාහය අතරට ආච්චි අම්මාගේ [මවගේ මව] මැදිහත්වීමෙන් සිදුවූ දෙදරායාම නිසා හටගත් බළපෑම තෝල්යාගේ මනස තුළ රැළි නඟන ආකාරය විස්තර කරමින් ලියැවිලා තියෙනවා. මානසිකත්වය පදනම්ව ගොඩනැගුණු කතාන්දරයක් නිසාත්, කතාවෙහි චරිත අතර සංවාද අඩු නිසාත් පඨිතය විසින් කියවන්නාව තෝල්යාගේ මානසික වංගගිරිය තුළින් චාරිකාවක රැගෙන යාමක් තමයි සිදුවන්නෙ. ඒ නිසාම මේක කියැවීම ආයාසකර අභ්‍යාසයක්.

අනෙක් ස්ථරය එක් එක් චරිතයේ හැසිරීම අනුව රූපකාරයෙන් යම් යම් ආයතන සහ පුද්ගල ස්වරූපයන් නියෝජනය කරනවා. එවිට පේලි අතරින් කියවන්නාට තවත් කතාවක් හමුවෙනවා. සෝවියට් යුගය පදනම්ව ලියැවී ඇති පොතේ එන ආච්චි අම්මාගේ චරිතය වරෙක සම්ප්‍රදාය මෙන්ම රජය නැමති ආයතනයේ රූපකයක් ලෙසින් දැනෙනවා. ඇය තෝල්යාගේ දෙමව්පියන්ගේ වැටුප් ඇගේ භාරයට රැගෙන වියදම් වෙනුවෙන් සලාක ක්‍රමයක් පවත්වාගෙන යනවා. අද දවසේ විනෝදය නොදන්නා අනාගත දිනයක් වෙනුවෙන් කැපකරමින් අතිශය වෙහෙසකාරී වර්තමානයක් අරගලකාරි බෑණනුවන්ට සහ නිවට මහජනතාව බඳු ඇගේ දියණිය වෙත හිමිකර දෙනවා. මේ ආච්චි අම්මා [ශූරා] ආගම යොදාගන්නේ අතිශය ප්‍රයෝගකාරී විදිහට. කතාවේ යම් තැනකදී නිවට මහජනතාවගේ රූපකයවූ මව විසින් ආගමික සංඛේතය වූ සාන්තුවර පිළිමය පොළවේ ගසා කුඩුකර දමනවා. එවිට අනාගත අපේක්ෂාවේ රූපකය වූ තෝල්යා සිතන්නේ දැන්නම් ආච්චි අම්මාගේ පීඩනයෙන් සිය මව අත්මිදුණා කියායි. නමුත් ආච්චි අම්මා තවත් ප්‍රයෝගයකින් තෝල්යාගේ මව නැවතත් රවටනු ලබනවා. කතාවේ මම වැඩියෙන්ම වින්දනය කලේ මේ කියන රූපක ස්ථරය කිවුවොත් නිවැරදියි. පැහැදිලි වීරයෙකු හෝ ප්‍රතිවීරයෙකු ගොඩනගනවා වෙනුවට මිනිස් සිතුවිලි එකී මොහොතේදී තෝරාගන්නා අවස්තාවන් අනුව එකම චරිතයක බිහිවෙන ප්‍රභාමත් මෙන්ම අසංස්කෘතික ප්‍රභේද මතුකරමින් කරන ලද ලිවීමෙන් ලේඛකයාගේ ශිල්පීය දක්ශතාවය ඉස්මතු වෙනවා.

මහින්ද සෙනරත් ගමගේ විසින් දිගින් දිගටම නව යොවුන් සහ ළමා පරපුර වෙනුවෙන් සිය පරිවර්තන වෙහෙස වගුරවන බැවින් සහ මෙහි පිටකවරයේ ළමයකුගේ රුවක් සටහන්ව ඇති බැවින්ද මෙකී කෘතියත් තවත් නව යොවුන් වියේ දරුවන් වෙනුවෙන් වූවක් ලෙසින් සිතන්නට පුළුවන්. නමුත් මේක ඊට ඉහළ කාණ්ඩයට දිරවාගැනීම වඩාත් පහසු වේවි සහ සුදුසුයි. ඇල්බට් ලිහනොව් මුලින්ම හමුවුනේ “මගේ ජනරාල්” කෘතිය හරහා ඒකෙ සාරය වුණේ වඩා සපලදායි විශ්‍රාම ජීවිතයක් ගෙවන ජේෂ්ඨ පුරවැසියෙක්. මේ පොතෙත් ඔහු බළපෑම් සහගත චරිත විදිහට ගොඩනගන්නේ ශූරා ආච්චි, මව, පියා, ඉසෝල්දා ගුරුතුමිය, ආර්ට්යෝම්ගේ බේබදු පියා වැනි වැඩිහිටි චරිත. ඔවුන්ගේ බලපෑමට යටත්වූ තෝල්යා සහ ආර්ට්යෝම් වැනි චරිතවල ඉරණම හරහා ලේඛකයාගේ චෝදනා ගොණුවෙන්නේ වැඩිහිටි පරම්පරාවටයි.

ස්වාර්ථය නැමති වානරයා විසින් පරාර්ථය නැමති යහගුණය බිඳ දමන ආකාරය සහ එය යටපත්කර පරාර්ථය ගොඩනැගීමට කලයුතු මානසික අරගලයත් “වංගගිරිය” තුළින් කියවන්නාට හමුවේවි…

මදුෂ් රංගන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...