විශේෂ නඩුකරය කඩිනමින් අවසන් කරන්න – නීතිපති : මන්ත්‍රී ඝාතනයට 39කට අධිචෝදනා !

Share post:

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 39 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (19) බාර දී ඇත.

පුද්ගල ඝාතනය ඇතුළු අධිචෝදනා 14ක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අධිචෝදනා පත්‍ර බාරදීම ඊයේ (19) විවෘත අධිකරණයේ දී සිදුව ඇත.

ඒ මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ ඩී.ඒ. රුවන් පතිරණ යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී ය.

අධිචෝදනා පත්‍ර බාරදීමෙන් පසු අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය විශේෂ නඩුකරයක් වන බැවින් දිනපතා හෝ සතියකට නියම කරන දින කිහිපයකදී නඩු විභාගය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙය විශේෂ නඩුකරයක් වන බැවින් ඉක්මන් නඩු විභාගයක් සඳහා අගවිනිසුරුවරයා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වන විට මෙම නඩුවේ විත්තිකරුවන්ගෙන් දෙදෙනකු නඩුවට ඇතුළත්ව නොමැති බවත්, ඉන් එක් විත්තිකරුවකු විදේශ රටකට ගොස් ඇති අතර, අනෙක් විත්තිකරු පදිංචි ස්ථානයෙන් පැනගොස් ඇති බවයි.

මේ තත්ත්වය යටතේ රක්ෂිත භාරයේ සිටින විත්තිකරුවන්ට ඇප නියම කළහොත් ඔවුන් නඩු විභාගයට බලපෑම් කළ හැකි ඉඩ අවස්ථාව වැඩි බැවින් ඔවුන්ට ඇප දීම ප්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් නඩුව විභාගය සඳහා කැඳවීම ලබන ජුලි මස 07 වැනිදා තෙක් කල්දැමීමට විනිසුරු මඩුල්ල තීරණය කළහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...