පද්මිණී ශ්‍රීයාලතාගේ කවිපොත වරින් වර සෙමින් කියවූයෙමි.කවියට ආදරය කරන රසිකයකු ලෙස ඒ පොත පැමිණීම ගැන මම සතුටු වෙමි .මේ දිනවල වරින් වර කොළඹ යුගයේ කවි ද කියවූයෙමි . සරච්චන්ද්‍ර, අමරසේකර වැනි අය නිර්දය ලෙස බැහැර කළ ඒ කවි කියවා නූතන සිංහල කවිය කියවීම සඳහා යමක් උකහා ගත හැකිදැයි සෙවීම හොඳ දෙයකි . අර තිලකසේනගේ කවියේ භාෂාවට වශීවූ අයගෙන් ප්‍රශංසා ලබන්නට එබඳු ප්‍රයත්න හේතු නොවන්නට පුළුවන. අනෙක් අතට කොළඹ යුගයේ කිවිඳියන් කවුදැයි යන ප්‍රශ්නය ද ඒ අධ්‍යන තුළින් අපට මතු වෙයි .එවිට මේ යුගයේ කවිය වෙත කැපවෙන ස්ත්‍රීන් වෙත ගෞරවයක් අප තුළ ඇති වෙයි .
පද්මිණීගේ වම් ඇස කාව්‍ය සංග්‍රහයෙන් ඉක්බිති ඇය කවියේ රූපක භාවිතය ගැන අත් හදා බලමින් සිටින බව පෙනෙන්නට තිබේ . එය සිංහල කවියට නුහුරු භාවිතයක් නොවේ. අමරසේකර වැනි විශිෂ්ට කවියකුගේ අවධානය වැඩිපුර ලක් නොවුණ්ද කාව්‍ය උපක්‍රමයක් ලෙස රූපකය කවිය තුළ පිහිටුවන විවිධ ක්‍රම සොයා බැලීම වැදගත් දෙයකි . අමරසේකරගේ සමීප මිතුරකු වන මහාචාර්‍ය විමල් දිසානායක ගිරිකුල හා සඳ මඩල නම් විචාර කෘතියේ දී පැරණි චීන කවි ගැන පළකළ අදහසක් මෙහි දී වැදගත් වේ .
” මෙම සිංහල ජන කවිවල දක්නට ලැබෙන නිරාකූලත්වයත් , සරලත්වය, අව්‍යාජත්වයත්, විචිත්‍ර සංකල්ප රූප යෝජනයත් , පැරණි චීන පද්‍යවල දක්නට ලැබේ. එම නිසා සිංහල ජන කවියෙන් චමත්කාරය ලබන සහෘදයා තුළ පුරාණ චීන පද්‍ය තියුණු රචනා තියුණු රසයක් ජනනය කරනු නියතය.”
මහාචාර්‍ය දිසානායක කියන විචිත්‍ර සංකල්පරූප යෝජනය පද්මිණීගේ කවිය තුළ පෙනෙන ලක්ෂණයකි . පදිමිණී ‘රහස’යන ශීර්ෂය ඔස්සේ නිමවන පහත දැක්වෙන රචනය බලමු .
විසල් තුරු බඳ වෙත
කන තබා විමසමි
ඇද්ද කිසි රහසක්
ඉක්ම සියවස් කල්
නොනැසී යෙහෙන් ඉන්නට
නිල් අහස පිරිමදින
හිරු කිරණ වෙත ඇරුණු
තුරුපත් නිපදවන අහර
මිහිමඩල විනිවිදින
අක්මුල් උරාගත් ජලය
නැතිව කිසි ගැටුමක්
ඉහළ යන පහළ යන හඬ
ඇසෙයි සියුමුව
අතැර තුරු බඳ
මෑත්වී යළි
නෙතු හෙළමි
එතුරු බඳ වෙත
පිට පොත්ත මත
විසිර පැතිරුණු
පාසි පෙඳ පැල්ලම් අපමණි
ඉහළ පහළ යන එන
කුරුකුහුඹුවන් අපමණි
මේ දැන් පුපුර පුපුරා
බිජුවලින් එළිබට
දඟලන දලඹු අහිනකි ..
එසැණ වැටහිණි මත
කාලයේ කැට මුගුරු ඉවසා
මේ විසල් තුර
සියක් වස් ඉක්මවූ රහස .
තමා ජීවත් වන පරිසරයේ බොහෝ කල් දිවි ගෙවන ගසක මහරු අරුත මෙහි දී කිවිඳිය වටහා ගනියි . මේ යෝධ වෘක්ෂය දෙස ඇය බලන්නේ තමන්ට පරිභෝජනය කිරීමට ඇති වස්තුවක් ලෙස නොවේ. ‘ප්‍රභාසංස්ලේෂණය”උත්ස්වේදනය ‘ වැනි ගසක සිදුව්න ජීව ක්‍රියා දෙස ඇය බලන්නේ විද්‍යාත්මක ඇස ඉක්මවූ මනුෂ්‍ය ඇසකිනි .සතා සීපාවා ගහකොළ ඒවායේ භෞතික හැඩය,පැහැය ඉක්මවා ඇය දකියි .මේ යෝධ වෘක්ෂය එක් අතකට පරිසර පද්ධතියකි . ඒ යෝධ වෘක්ෂය අපට ලබාදෙන කමටහන් කෙබඳු භාවනාවකට අප යොමු කරවයි ද?
අප හා ජීවත් වන කුරු කුහුඹු සතුන් පවා ඔවුන්ටම ආවේණික ජීවිතයක් ගත කරන කිසියම් ප්‍රාර්ථනා ලෝකයක් හිමි අය බව පද්මිණී පහත දැක්වෙන කවියෙන් ඉඟි කරයි .
කඩි ගුල
සීත කාලය
ළඟ ළඟම බව පවසන
ගෙපැලෙහි
අත්තිවාරම කණින
දහස් ගණනක කඩි ගුල
උනුන් හා මුමුණන
ෂ්..ෂ්…ෂ් හඬ
වළක්වාලයි
අළු අහුර රැඳුණු අත
අරියවංශ රණවීර කිවිඳුන් ‘රතිඳු ගොව්වකුට ‘යන හිසින් යුතුව ලියූ කවියක් මෙහි දී සිහිපත් වෙයි .පහතින් දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කොටසකි .
ඔබට ඉඩ දිය යුතු බැවින්
අඩිය පසෙකට ගන්නෙමි
ඇස් දෙකෙන් පෙනෙනා හෙයින්
ඔබව හඳුණා ගන්නෙමි
උදෑසන අව්දිව කලින්
බැරෑරුම් ගමනක් වගෙයි
නොසිට එක තැන ගුලිවී
යන ගමන හරියට වටී
ලොවයි මෙය ඔබගෙත් මගෙත්
පද්මිණි සොබාදහම අසිරිමත් ලෙස දකින කුඩා දරුවකුගේ කුතුහලය ඇයගේ ජීවිතයේ පනස් වන වියෙන් පසුද අත්හැර නැත .පහත එන කුඩා නිමැවුම මට සියුම් ලෙස දැනෙයි .
ළි ං තලය මත
වැටෙන විට වැහි බිඳු
වරක් උඩපැන
අත්පොළොසන් නගයි
පැරණි ළිං දිය
පද්මිණි ශ්‍රියාලතා සිංහල කවියට අරුත්සරු කවි රැගෙන ඒමේ වසනා ගුණය ඇත්තියක බව මේ අභිනව කාව්‍ය සංග්‍රහය අපට කියාපායි .
ප්‍රියංකර නිවුන්හැල්ල