ඓතිහාසික නවකතා යනු අපට ආගන්තුක සාහිත්‍ය ශානරයක් නොවේ. පාඨකයන්ගේ බුද්ධිමය සහ වින්දනාත්මක නිම්වළලු පුළුල් කරන මෙම ශානරයේ නවකතා බොහොමයක් ලෝක සාහිත්‍ය වර්ණවත් කර තිබේ. මෙම ඓතිහාසික ශානරයේ නවකතාවල ඉදිරිගාමී ලක්ෂණයක් වන්නේ ඉතිහාසය නම් සිපිරි ගෙයින් නිදහස් වීමට පාඨකයාට අවකාශ සලසා දීමය. විදර්ශන ප්‍රකාශනයක් වන මනෝහරී ජයලත්ගේ ගිරිජා මෙලෙස පාඨකයා ඉතිහාස සිපිරි ගෙයින් නිදහස් කිරීමට තැත් කරන නවකතාවකි.
අනෙකුත් බොහෝ සිංහල නවකතාවලට සාපේක්ෂව ගිරිජාහි දිස් වන ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ එය ඉතිහාස කරුණු ගවේෂණයට වඩා ප්‍රබන්ධය පෙරබිමට ගෙන ඒමය. එමෙන්ම අතීතය ට සීමා නොවන තේමාත්මකය තිරිහන් කරන අතීත භාෂාමය රිද්මයක් නවකතාවේ මුල සිට අගටම අඛණ්ඩව පවත්වා ගෙන යාමය. සැබැවින්ම කතුවරිය මිනිස් චිත්ත සන්තානය වෙලා පවත්නා අකාලික හැඟීම් සමුදායක විචිත්‍ර වර්ණාවලියක් ඓතිහාසික පසුබිමක බහා ඉදිරිපත් කරයි. එය පාඨකයාට වර්තමානය කියවා ගැනීමට සහාය වන්නකි. වැඩවසම් යුගයේ වේවා වත්මන් පසුධනවාදී යුගයේ වේවා මිනිස් හැඟීම්වල අංශුමාත්‍ර වෙනසක් නොමැති බවත් මිනිස් හැඟීම් ඉදිරියේ කාලය ගර්හිත සාධකයක් වන බවත් ගිරිජා අපට පෙන්වා දෙයි. එහෙයින් මෙය පැහැදිලිවම ඉතිහාසමය පසුබිමක සිට මේ නිමේෂය වෙතට එබිකම් කරන නවකතාවකි.
මනෝහරී තම නවකතාව ආරම්භයේ දී ඉදිරිපත් කරන ඉතිහාස කරුණුමය විස්තරය කවර නම් ආලෝකයක් කතාපුවතට එල්ල කරන්නේ දැයි වටහා ගැනීම අසීරුය. මන්ද, ඇගේ ප්‍රබන්ධය ඉතිහාසමය කාලවකවානුු ඉක්මවා යන ශක්‍යතාවකින් යුක්ත බැවිනි.
තම ප්‍රථම නවකතාව වන සංසක්කාරි තුළින් සිංහල නවකතා ලෝකය මත ස්වකීය අනන්‍යතාව සලකුණු කිරීමට සමත් වූ මනෝහරී ජයලත් ඇගේ දෙවන නවකතාව වන ගිරිජා සමඟ දිගු පියවරක් ඉදිරියට තබා ඇති බව නිසැකය. එහෙයින් ඇගේ තෙවන නවකතාව වන කඩදොර එන තෙක් දොරකඩට වී බලා සිටිමි.