විශ්‍රාමික මේජර් – නීතිඥ අජිත් ප්‍රසන්නගේ සිර දඬුවම තවත් මාස 6කින් වැඩි වෙයි : ව්‍යවස්ථාවේ 105 (3) තිබෙන්නේ කුමක්ද ?

Share post:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර්වරයෙකු සහ නීතිඥවරයෙකු වන  අජිත් ප්‍රසන්නට අභියාචනාධිකරණය මගින් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කරන ලදි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත. එම සිරදඬුවම අජිත් ප්‍රසන්න දැනට ගෙවමින් සිටින වසර 4ක සිරදඬුවම අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක වන බව ද අදාළ තීන්දුවේ සඳහන් ය.

ජනවාරි 24 තීන්දුව

මීට පෙර පසුගිය ජනවාරි 24දා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක බහුතර විනිසුරුවරු බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කළහ.

ඊට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කළ විනිසුරුවරුන්, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස 06ක සිරදඬුවම් නියම කරන බව ද සඳහන් කෙරිණි. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළහ.

2020 වසරේ ජනවාරි 19දා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට අජිත් ප්‍රසන්නට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.

අධිකරණ අපහාස නීතිය

* නීති විශාරදයන් අවධාරණය කරන ආකාරයට අධිකරණයට අපහාස කිරීම යනු කුමක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත.
* නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම එස්.බී. දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ අවධානයට යොමුව තිබිණි.
* අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (03) වගන්තියේ මෙසේ සඳහන් ය.

‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදීම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකෙන්ම හෝ දඬුවම් කිරීමේ බලය ද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය.’

* අධිකරණයට අපහාස කිරීම් ලෙස සලකන අවස්ථා : (ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක)

 ‍- ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
 – ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම
 – අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
 – අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
 – අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
 – සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරු වන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්  
* අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දඬුවම් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ.
– මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතළ හෝ බරපතළ නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5,000කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වැනි වගන්තිය)
– දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතළ හෝ බරපතළ නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2,500කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 – (අ) වගන්තිය)
– මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1,000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ නියම කළ හැකිය. (55 – (ආ) වගන්තිය)

* අධිකරණයට අපහාසයක් නොවන අවස්ථා : (ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක)

– අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම
– අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම
– අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන
– රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන විවේචන
– විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම
– අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා

* අධිකරණයට අපහාස කළ බවට තීරණය කෙරුණු අවස්ථා :

– අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු එස්.බී. දිසානායකට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවමක් නියම කෙරිණි. මෙම තීන්දුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් බරපතළ ලෙස විවේචනයට ලක් කෙරිණි.
– හිටපු අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී උස් හඬින් කතා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි. ඔහු දැන් කැනඩාවේ වාසය කරයි.
– 2017 අගෝස්තු 21 පැවැති මාධ්‍ය හමුවකදී විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක තීන්දුවට අනුව, මන්ත්‍රීවරයාට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...