පොලිසිය බොරු කියා අනුර ඇතුළු 26කට වාරණ නියෝගයක් අරන් : උද්ඝෝෂණයට නීතියෙන් කිසිම බාධාවක් නෑ – නීතිඥ සුනිල් වටගල

Share post:

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) සංවිධානය කර ඇති උද්ඝෝෂණයට අදාළ ව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය ලබාදී තිබේ.

රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටින් අද (08) පස්වරු 3ට ජාතික ජන බලවේගයේ මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිත ය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, කේ.ඩී. ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු 26කට එරෙහිව ය. මෙම අධිකරණ නියෝගයට අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් ය.

වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පාර්ශ්ව සිදුකිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බව සඳහන් කරමින් වැලිකඩ පොලිසිය මගින් මෙම වාරණ නියෝගය ඉල්ලා තිබිණි.

පොලිසිය බොරු කිව්වේ කොහොමද ?

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල සඳහන් කරන්නේ එම වාරණයට බලයක් ලැබෙන්නේ තමන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය බිඳින්නේ නම් පමණක් බවයි.

නීතිඥවරයා අදාළ කරුණ මෙසේ අවධාරණය කළේය.

‘අංක හතර අධිකරණයේ ගරු අතිරේක මහේස්ත්‍රාත්තුමා වන කේ.පී.එස්. හර්ෂන් මැතිතුමා මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (01) වගන්තිය අනුව. ගරු මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයේ පැහැදිලිව සඳහන් වන්නේ උද්ඝෝෂණය කාර්යාල දිනයක් හා අපොස සාපෙළ විභාගය පැවැත්වෙන දිනයක පැවැත්වෙන බවයි. මේ නියෝගයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පොදු මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම පමණක් වළක්වන බව. ඒ කියන්නේ මේ උද්ඝෝෂණය මුළුමනින්ම තහනම් කරලා හෝ වාරණයට ලක්කරලා නැහැ කියන එක තහවුරුයි.

අපි අද දිනයේ පවත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පවත්වන්නට නියමිතව තිබූ 2023 පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීම සහ චිරාත් කාලයක් නොපැවැත්වීම පිළිබඳව සාමකාමී උද්ඝෝෂණයක්. අද රාජකාරි දවසක් බව ඇත්ත. ඒ වගේම අද අපොස සාපෙළ විභාගයේ අවසන් දවස බවත් ඇත්ත. මේ උද්ඝෝෂණ ස්ථානයට යම් තරමකින් ආසන්නව තිබෙන පාසල තමයි රාජගිරිය ජනාධිපති විද්‍යාලය. හැබැයි මේ රටේ අපොස සාපෙළ විභාගය කරන පාසල් දරුවො පවා දන්නවා අද පෙ.ව. 11.30ට මෙවර අපොස සාපෙළ විභාගය අවසන් වන බව. එතකොට පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇති පරිදි මේ උද්ඝෝෂණයෙන් විභාගයට බාධාවන බව ඇත්තක් නෙමෙයි. ඒක බොරු, අසත්‍ය කරුණු දැක්වීමක්.

අපි මෙහිදී පෙනී සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙන් ලබාදී තිබෙන සාමාකාමීව රැස්වීමේ සහ උද්ඝෝෂණයේ අයිතිය වෙනුවෙන්. ඒ මූලික අයිතිය අහෝසි කරන්න මේ ලබාගත් නියෝගයෙන් කිසිදු බලයක් ලැබෙන්නේ නැහැ. එහෙම බලයක් ලැබෙන්නේ මේ නියෝගය අනුව අපි වරදක් කළොත් පමණයි. පෙ.ව. 11.30ට අවසන් වෙන විභාගයකට ප.ව. 3.00ට පැවැත්වෙන උද්ඝෝෂණයකින් මොනයම්ම හෝ බාධාවක් ඇතිවෙන්නේ නැහැ. අපි උද්ඝෝෂකයන් විදහට පොදු මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණයේ නිරත නොවන නිසා අපිට නීතියෙන් බාධාවක් නැහැ. පොලිසියට අපිට බාධා කරන්නත් බැහැ.

අනෙක් වැදගත්ම කාරණය තමයි සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් වරින් වර අධිකරණ තීන්දු ගණනාවකින්ම තහවුරු කරලා තියෙනවා. අපි මේ භාවිතා කරන්නේ ඒ අයිතිය.’

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...