‘බූමාටු’ හැන්දෑවෙන් ඉක්බිතිව

Share post:

පසුගිය සිකුරාද (26)හැන්දෑව ගතවුණේ නාඩ එකේ. පොත් කියවන හැන්දෑවෙ කට්ටිය එදා කතා බහට තෝරගෙන තිබුණෙ රෝහිත බ්‍රහ්මචාරිගෙ බූමාටු නවකතාව. ඇත්තටම ඒක වටිනා තෝරා ගැනීමක්. 2020 ප්‍රකාශයට පත්කළ කතාබහට ලක්විය යුතු කෘතියක් වුණත් හතු පිපෙන නවකතා යැයි කියාගන්නා කතන්දර අතරේ එය සැඟවී තිබුණු අපූරු ප්‍රබන්ධයක්. එම කෘතිය මතු කරල ගැනීම පිළිබඳව පොත් කියවන හැන්දෑවෙ සංවිධායකයන්ට ස්තූතියි. ⁣මේ බූමාටු හැන්දෑවෙ පොත පිළිබඳ මූලික අදහස් දැක්වීම් තුන සිදු කළේ ප්‍රියංකර නිවුන්හැල්ල, කීර්ති වැලිසරගේ, සිසිර මහගම යන සහෘදයන්. සාකච්ඡා සභාවට සහභාගි වූවන් අතර ප්‍රවීණ සාහිත්‍යවේදීන් වන ජයතිලක කම්මැල්ලවීර, කමල් පෙරේරා, හිනිදුම සුනිල් සෙනෙවි, රශ්මික මණ්ඩාවල, සුලෝචන මෙන්ම තවත් මා නම් වශයෙන් නොදන්නා මහත්ම මහත්මීන් වූ අතර ඒ බොහොමයක්ද විවිධ වූ නිර්මාණකාර්යයන්හි නිරතවූවෝ වූහ. ඒ සියලු සද්ජනයන්ට ස්තූතිය පුදමින්ම මෙම කෙටි සටහන තබමි.

රෝහිත බූමාටු නවකතාව පිහිටුවන්නේ අධියථාර්ථවාදී සන්දර්භයකය. මා සිතනා පරිදි යථාර්ථවාදය ඒකමානයකට පිඩුකොට ගත්ත ද අධියථාර්ථවාදය එලෙස පිඩුකොට ගතනොහැක. එය විවිධ සංස්කෘතික සහ භූ විෂමතා කලාපවලදී විවිධ ස්වරූපයන් ගනී. එය අප්‍රිකාවේ හෝ ලතින් ඇමරිකාවෙදී ගන්නා ස්වරූපයම යුරෝපයේදී නොගනී. ආසියාවේදී බොහෝවිට එය රටින් රටට ද වෙනස්ය. ලංකාවේදී එය බොහෝවිට අපට දක්නට ලැබෙන්නේ තොවිල් පවිල් හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේය. ඒවා සත්‍යය ද යථාර්ථය හා කෙතරම් සමපාත ද යන්න වෙනම සාකච්ඡා කළ යුත්තකි. ඒ කෙසේ වුවද ප්‍රබන්ධ රචකයෙකුට ඒවා කදිම නිමිතිය. රෝහිත බූමාටු නිමවන්නේ එම නිමිති සාරයකොට ගනිමිනි.

බූමාටු නවකතාවේ ප්‍රධාන චරිතය පොඩි ගුරුය. සූර යකදුරෙකු වන පොඩිගුරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල කෙළ පැමිණියෙකි. එමෙන්ම දක්ෂ වෙදදුරෙකි. ඒවා ඔහුට පියඋරුමයෙන් ලැබුණකි. හේ තමා තමාගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් පිළිබඳ අධිතක්සේරු ඇත්තෙකි. බොහෝ ගැහැනුන් ඔහුට ආකර්ෂණය වූ බවක් කියවේ. ඒ දපනය වැටීමට ඔහුගේ දේහධාරීතවයට අමතරව අඩව් කස්තිරම් මෙන්ම ඔහුගේ යන්ත්‍ර මන්ත්‍ර බලය වෙද කර්මයන් පිළිබඳ ගරුත්වය මෙන්ම පක්ෂපාතකම්ද විය හැකිය. අතීත කතා පුවතට අනුව ඔහුගේ කරත්තයට නැගි බොහෝ ගැහැනුන් අතරමග දී බැස ගියද හාමිනා පොඩිගුරුගේ කරත්තයට ගොඩ වූදා ගෙදරින් පිටවී යන්නට සිදුවනුයේ පොඩි ගුරාගේ බිරිඳ රන්සිනා හටය. කතාව දිගින් දිගටම පැවැසීම මගේ අරමුණ නොවූවද හාමිනා මේ කතාවේ කේන්ද්‍රීය චරිතයකි.

අධියථාර්ථවාදී සන්දර්භයක ගෙතෙනා ප්‍රබන්ධයේ පොඩිගුරු පුධාන භූමිකාව නිරූපණය කරද්දී එහි උප ප්‍රධාන භූමිකාව බවට පත්වන්නේ හාමිනාය. ලංකාවේදී අධියථාර්ථවාදයේ අතිසමීපතම ඥාතියා විඥානවාදයය. එය හැමවිටම මිනිසුන්ගේ ආත්මයේ පතුල ස්පර්ශ කරමින් මිනිස් මනසේ අවිඥානික කලාපයේ වෙසෙන්නකි. බොහෝවිට එය මනස මෙන්ම මසැසද රවටන්නකි. බොහෝ විට එය සේවය කරන්නේද මිථ්‍යාවටය. එහෙත් එයට පාඨකයකුගේ ප්‍රබන්ධානන්දය දල්වාලීමේ අපූරු විභවතාවක්ද පවතී. එහෙත් එය කළ හැක්කේ ඒවා සූර නිර්මාණකරුවකුගේ අතපත් මෙවලම් වන්නේ නම් පමණි.
රෝහිත තම නවකතාවෙි භූමි දර්ශය කර ගන්නේ මෙම අඩවියයි. ගැඹුරු හෙලක් මතින් දැමූ අනාරක්ෂිත ඒදණ්ඩකින් සිය පාඨකයන් රැගෙන යන ඔහු තම පාඨකයන් සමග විඥානවාදයේ අඳුරු අගාධයට පනිතැයි විටෙක සිතෙයි. නවකතාවේ අවසන් අර්ධය දක්වාම නවකතාවේ පුහුණු පාඨකයන් තුළ පවා ඔහු එම ආතතිය රඳවයි.

වර්තමානයේ ඉතා කෙටි කාල පරාසයක් තුළ දිගු අතීත අන්දරයක් රඳවන රෝහිත යකැදුරු කර්මයේ එන පිල්ලු යැවීම නම් සංකල්පය ඉතා සාර්ථක අඛ්‍යානික මෙවලමක් බවට පත්කර ගනිමින් පොඩි ගුරුගේ බලය පොඩි ගුරුටම එ⁣රෙහිව අභිමුඛ කරවයි. අවසානයේ පොඩිගුරු විනාශය කරා යන්නේ අත්‍යයන්ත බලයේ නිස්සාරත්වය ප්‍රකට කරමිනි. බූමාටුහි අවසානය සනිටුහන් වන්නේ බලයත් ජීවිතයත් පිළිබඳ යථාව පාඨකයාට අවබෝධ කරවමින් පාඨකයාව මහායාන බුදුදහමෙ ශූන්‍යතාවාදී දර්ශනයේ ප්‍රඥා ඉවුරකට ගොඩ කරමිනි.

ලංකාවේදී අධියථාර්ථවාදය ඇසුරේ නිර්මාණකරණයේ යෙදනා බොහෝදෙනා අධියථාර්ථවාදී ඒදණ්ඩේ අතරමග දී විඥානවාදයේ හෙළට පාඨකයා තල්ලු කරති. බූමාටුහිදී එසේ නොකරීම පිළිබඳ රෝහිතට තුති පුදමි. අවසාන වශයෙන් කිවයුත්තේ ලංකාවේ සාහිතයේ පොල්මක්කාර සමීක්ෂකයන් සහ සාහිත්‍ය අතර ඇත්තේ මරියානා අගාධය තරමේ පරතරයක් බවය. 2020 වසරේ ප්‍රකාශිත බූමාටුහි කතුවරයා ප්‍රබන්ධ කලාවේ ශූක්ෂ්මතාවන් කොතෙක් ප්‍රකට කළද ඔහු සාහිත්‍යයේ නමක් නැති නවකයෙකි. නම් මිස පොත් නොකියවනා සමීක්ෂකයන්ට ඒ නිසා පතාක නමක් නැති මෙවැනි මිනිසෙකුගේ පොතක් මගහැරීයා කිසිදු ලෙසකින් පුදුමයට කරුණක්ද නොවේ.

ප්‍රියන්ත ලියනගේ

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...