නතාෂාට එරෙහිව ICCPR ? : පොලිස්පති මානව හිමිකම් කොමිසමේ නිර්දේශ උල්ලංඝනය කරයි ද ?

Share post:

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ අනුගමනය කරමින් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත භාවිත නොකරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ලිඛිත ව ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගේ අත්සනින් යොමුකර ඇති අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත භාවිත නොකරන ලෙස ඉල්ලා සිටීම

යම් වැඩසටහනක් අතරතුරදී කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින නතාෂා එදිරිසූරිය නම් තැනැත්තියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා ගොනු කිරීමට සූදානම් වන බව අප වෙත වාර්තා වී තිබේ.

1996 දෙසැම්බර් 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගනු ලැබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ අරමුණ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ය. 1980 ජුනි මස 11 වැනිදා ශ්‍රී ලංකාව එම සම්මුතියට එකඟත්වය පළ කළ අතර, එය 2007 වසරේදී පනතක් මගින් බලාත්මක කළේය. කෙසේ වෙතතත් මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය මෙම පනත භාවිත කළේ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමාකිරීමට බව සිදුවීම් කිහිපයකදීම පැහැදිලි විය.

ශ්‍රී ලංකා පොලිසිය මෙම පනතේ විධිවිධාන අවභාවිත කිරීම නිසා එය නතර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වර්ෂයේදී මාර්ගෝපදේශ පවා නිකුත් කළේය. අයිසීසීපීආර් සම්මුතියේ 20 වැනි වගන්තියේ සඳහන් වන කරුණු සලකා බැලිය යුුත්තේ එම සම්මුතියේ 19 වැනි වගන්තියේ සඳහන් වන අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස සමඟ ය.  සම්මුතියේ 20 වැනි වගන්තිය බලාත්මක කර ඇති ශ්‍රී ලංකාවේ පනතේ තුන්වැනි වගන්තිය අනුුව කටයුුතු කළ යුත්තේ කෙසේද යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ මාලාවේ තුන් වැනි වගන්තිය යටතේ පැහැදිලිව ම සඳහන් කර තිබේ.

එසේ හෙයින් මෙම නිශ්චිත සිදුවීමට අදාළ ව සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ තුන්වැනි වගන්තිය යටතේ කටයුතු කිරීම මගින් පැහැදිලිව ම ජාත්‍යන්තර සම්මුතියේ 19 වගන්තියේ සඳහන් ප්‍රතිපාදන මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වන බව අප සංගමයේ අදහසයි.

එසේ හෙයින් මෙම සිදුවීමට අදාළ ව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හෙවත් අයිසීසීපීආර් පනත උපයෝගී කරගැනීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමු.’

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් එම ලිපිය නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය පොලිස්පති – පොලිස් නීති දිසාව, නියෝජ්‍ය පොලිස්පති – අපරාධ දිසාව, අධ්‍යක්ෂ – පොලිස් නීති දිසාව, සභාපති – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ සභාපති – ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ද පිටපත් කර තිබේ.

ජෙරොම් ප්‍රනාන්දු සහ නතාෂා !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය මගින් අද (28) උදෑසන මෙම ප්‍රහසන ශිල්පිනිය අත්අඩංගුවට ගැනිණි. සිංගප්පූරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටියදී ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ශිල්පිනිය අත්අඩංගුවට ගැනුණේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙවැනි ම විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරතුරදී ය. එම ප්‍රකාශයෙන් පසු දේවගැතිවරයා සිංගප්පූරුව වෙත ගොස් තිබූ අතර, ඔහු විදෙස්ගතවිමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ලබාගත්තේය. මෙම දේවගැතිවරයා යළිත් මෙරටට පැමිණෙන බව මාධ්‍ය මගින් වාර්තා කෙරුණද, ඔහු මෙතෙක් මෙරටට පැමිණ නැත.

සිදුවීම කුමක්ද ?

නතාෂා එදිරිසූරිය විසින් පසුගිය දිනෙක කොළඹදී පැවැත්වූ ප්‍රහසන වැඩසටහනකදී කළ ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල විය. මේ පිළිබඳව ඇගයීම් ද ලැබී ඇති අතර, ආගමික කණ්ඩායම් විසින් දැඩි විරෝධතා එල්ල කරමින් සිටී. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ආගමික අපහාසයක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත බවයි.

මේ අතර තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ශිල්පිනිය සඳහන් කර තිබිණි. එසේ ම ඇයගේ යූ ටියුබ් නාලිකාවෙන් අදාළ වීඩියෝව ඉවත් කරන බව ද ඇය එහිදී සඳහන් කර තිබිණි.

ICCPR යටතේ කටයුතු කරන්න !

මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබුණේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ICCPR පනත යටතේ පියවර ගන්නා ලෙසයි. එසේ ම ඇය කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබිණි.

‘ඒ යටතට ගන්න බෑ’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ අවධාරණය කරන්නේ තමන්ගේ නිරීක්ෂණයට අනුව අදාළ ප්‍රකාශය සහ එම අන්තර්ගතය තුළින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතට ගැනෙන වරදක් ඇතුළත් නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥවරයා මෙසේ ද සඳහන් කරයි.

‘බහු ආගමික රටක, අපේ රටේ විතරක් නෙමෙයි, කොයි රටෙත් එහෙමයි, ආගමික සහ විශ්වාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තර්ක බුද්ධියට වඩා ඒගොල්ලන්ගේ විශ්වාස මත එළඹගෙන තමයි ඉන්නේ. කෙනෙක්ගේ ආගමික විශ්වාසයක් හරි ආගමික ඇදහිල්ලක් හරි අපිට තර්ක කරලා ඒක හරිද වැරදිද කියලා ඔප්පු කරන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. ලංකාවට අදාළවත් ඒක එහෙමයි. ඕනෑම කෙනෙකුට කැමති ආගමක්, කැමති ඇදහිල්ලක්, කැමති විශ්වාසයක් දරන්න පුළුවන් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාවෙන් අපි පිළිඅරගෙන තියෙනවා. එහෙම තියෙද්දි අපි පුද්ගලයෝ විදිහට කටයුතු කරද්දි හැමෝටම වගකීමක් තියෙනවා අනෙක් අයගේ ආගමික විශ්වාස සහ ඇදහිලි. ඒවා බැලූ බැල්මට සත්‍ය නොවන බවට පේන්න පුළුවන්. එහෙම වුණත් ඒවා ගැන කතා කරද්දි ඒ ඇදහිල්ල හරි ආගම හරි දරන අයගේ විශ්වාසවලට හැඟීම්වලට වෙන්න පුළුවන් බලපෑම ගැනත් අවබෝධයෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපි පුද්ගලයෝ විදිහට අපිට තියෙනව වගකීමක්. හැබැයි මම කියන්නේ යම් කෙනෙක් කරන එහෙම ප්‍රකාශ පදනම් කරගෙන ඒවගෙන් කිසිම වෛරය, ප්‍රචණ්ඩත්වය පැතිරීමක් වෙන්නේ නැතිනම් ඒ අයව අත්අඩංගුවට අරගෙන, රිමාන්ඩ් බන්ධනාගාරගත කරන එක හරි, හිරේ දාන එක හරි සම්බන්ධයෙන් මගේ එකඟතාවක් නැහැ. නමුත් අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා ඒ ආගමික හැඟීම් තේරුම් අරගෙන කටයුතු කරන්න.’

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...