ඉහළ කවිතාවක් සහිත කවියෙක් හමුවන ‘නොපාගා එන්න පරමල්’

Share post:

‘නොපාගා එන්න පරමල්’ – නිරෝෂ ප්‍රනාන්දු

“නොපාගා එන්න පරමල්” නිරෝෂ ප්‍රනාන්දුගේ පළමු කාව්‍ය සංග්‍රහය ලෙස දැක් විය හැකි මුත් ඉතා ඉහළ කවිතාවක් සහිත කවියෙක් එම කෘතියෙන් හමුවන බව කිව යුතු ය. කලක සිට කවිය කෙරෙහි දැඩි ඇල්මකින් යුතුව ක්‍රියා කිරීමෙහි ප්‍රතිඵල ඔහුගේ පරික්ලපන ශක්තියෙන් දියුණු තියුණුව යාමේ ප්‍රතිඵලයක් ලෙස ‘නොපාගා එන්න පරමල්’ කෘතිය දැක් විය හැකි ය. කාව්‍ය කෘතිය පුරා ඔහුගේ අපූරු පරිකල්පන ශක්තියත් අපූරු කාව්‍ය අද්දැකීම් පරාසයකුත් දැකිය හැකි වීම එසේ තීරණයකට එළඹීමට හේතු විය.

‘සඳ තරු සැදූ අම්මා’ නම් හිසින් යුතු කවිය ආරම්භ වන්නේ ජන කවිය සිහි කරවමිනි. නැලවිලි කවිය තුළින් ආභාසය ලබමින් කියවන්නාට නැලවිලි කවි සිහි කරවීමම අවියාගේ අරමුණ ය. රන් ටැටියට කිරිත් පැණිත් ඉල්ලමින් හඳට හඬ නැගූ අම්මාව සිහි කර වීමය. නැලවිලි කවි කියා නැලවූ අම්මා කාලෙකදී දරුවාට නොකියාම ජීවිතය හැර ගොස් ඇත. එසේ ස්වර්ගයට යනගමනේදී අම්මා අහසේ තනි වී ඇත. එසේ තනි වූ අම්මා නමැති රන් තැටිය පුන් සඳ ය. ඒ රන් තැටියෙහි තිබී ඉහිරී විසිරී ගිය බත් පිඬු ටික තාරකා ය. ඒ අයුරින් අම්ම හඳත් තරුත් මවා ඇත. කවියා අපූරු ආකාරයට ලොව අකින අයුරු ය ඒ. ඒ අයුරින් සිතීම දරුවෙකුට මහා සැනසීමක් ය. මන්ද, අම්මා ඔහුව හැර ගොස් නැත. අහස දෙස බැලූ කල අම්මා ගැන මතක දැකිය හැකිය. අම්මාගේ ආදරය කරුණාව ආදිය විදහා දක්වන පුන් සඳත් දරුවෙකු ලොකු මහත් කර ගැනීමට අම්මා කෙනෙක් දරන වෑයම කොතරම් ද මහන්සිය කොතරම්ද යන්න නිරූපණය කරන අම්මාගෙ බත් පිඟානෙහි අපට කැවීම අනන ලද බත් පිඬු අනන්ත ප්‍රමාණයක් සංකේත කරන තාරාකාය. ඉතින් ඒ සංකේත ඔස්සේ අම්මාව දැනෙන්නේ ය. සඳ එළියට තුරුළුව අම්මාගේ උණුසුම සිහි කළ හැකි ය.

“…අම්මා,
මට
නො කියා
ස්වර්ගයට ගිය දා
අත ඇරී
අහසේ
තනිවූ
රන් තැටියයි
අර
පුන් සඳ
ඒ තැටියෙන් හැලී
හුළඟට ඉහිරී ගිය
බත් පිඬ තමයි
අර
රන් තරු කැට”
(සඳ තරු සැදූ අම්මා; පිටු අංක 11)

තාත්තලා යනු සියල්ල දරුවන් වෙනුවෙන් බෙදා දී සතුටු වෙන පිරිසක් ය. කඩතොළු සහිත කටු පඳුරු සහිත වල ගොඩැකි සහිත කටුක පාරක ඇවිදින්නේ තාත්තා පමණ ය. ඔහු පසු පස එන අපිට හමුවන්නේ තාර පාරක් ය. කාපට් පාරක් ය. තාත්තා අපි වෙනුවෙන් මග සකසා ඇත. ඒ වෙනුවට තාත්තාගේ අතෙහි කර ගැට ය. වේදනාව ය. එහෙත් ඒ සියල්ල ඔහු සතුටින් තනියම විඳ ගන්නේ ය. තාත්තා ජීවිතයේ සියලු බර ඇද අපිට ජීවිතය සැහැල්ලු කරන්නේ ය. ඔහු සියල්ල ඉටු කර පසෙකට වී බලා සිටින්නේ ය. කවියා නගන ප්‍රශ්නය වන්නේ, තාත්තෙකුගේ ගැඹුරු ඇස් දෙක ගැන මතකයක්වත් නැද්ද යන්නය. සමාජය වෙනුවෙන් කවියෙක් පෙනී සිටිය යුතු ය. මෙවැනි කවි ගැන මීට වඩා ගැඹුරින් දීර්ඝව කතා කළ යුතු ය. සමාජ ගත කළ යුතු ය. එවිට කවියන් පතන ලෝකය යතාර්ථයක් වන්නේ ය.

“…වලාකුළු පෑ සළු හැඳ
අලුත් පාර මැද
දිලෙන සපත්තු පැළඳ
හිනා මුහුණින්
පෙරෙහැරේ පෙරමුණේ ගිය
කුමාරයෙකු දෙස
ඇසිපිය නො හෙළා
පාර අයිනට ව
බලා උන්
තාත්තෙකුගේ
ගැඹුරු ඇස් දෙක ගැන
යන්තම් වත් නිනව්වක් නැද්ද”
( කලඑළි වූ පාර; පිටු අංක 12/13)

නිරෝෂගේ කවියෙහි දැකිය හැකි විශේෂත්වය වන්නේ ඔහු ධ්වනිතාර්ථ භාවිත කිරීමත් සංකේත තුළින් කවිය ගොඩ නගා ගෙන යාමත් ය. එය හොඳ කවියෙකුගේ ලක්ෂණයක් යැයි පැවසුවද වරදක් නැත. හෙට උනත් ගමට එන්න යන හිසින් යුතු කවිය ඒ අයුරින් කිහිපවරක් කියවමින් නැවත නැවත විඳිය හැකි කවියක් ලෙස දැක්විය හැකි ය. ආදරය යනු නොවෙනස් වන හැඟීමක් බවද ආදරය කළ සිතකට කිසිඳු හේතුවක් නිසා වෛර කළ නොහැකි බවද යනාදි කරණු ඉස්මතුවන එහෙත් වර්තමාන සමාජයේ ඉතා විරල ආදරණීය ප්‍රේමවන්තයෙක් කවියෙහි කතකයා ලෙස දැකිය හැකි ය. වෙසක් මාසය, ගංවතුර, මල්, මඩ ආදි සියල්ල කවිය තුළ ප්‍රභල සංකේත ලෙස දැකිය හැකි ය. නින්දා අපහාස සියල්ල තමා වෙත එකතු කර ගැනීමත් කිසිවක් නොදන්නා අනාගත පරපුර වෙනුවෙන් අපි ආදරණීය මිනිසුන් විය යුතු බව කවියා පොදුවේ දක්වයි.

“…ඉස්සර වෙසක් දවසට ඔයයි මමයි
ගම පුරා මල් එකතු කළා වගේ ආසාවෙන්
එකතු කරගත්තා මම ගමේ ම මඩ
ගෙනත් අතහැරියා
මා ඉන්න ගොහොරට ම.

රෝස පාට යටි පතුලේ
මඩ ඩිංගිත්තක්වත් ගෑවුණොතින්
හොඳ නෑ
හිනාවෙයි ලෝකයා.
ඕනෑම දෙයක් වෙන්න පුළුවන් වෙසක් මාසෙක…”
(හෙට උනත් ගමට එන්න; පිටු අංක 16/17)

කවියා නිදහස් ආරේ කවි ලියූවද ඒ කවි තුළ අපූරු රිද්මයක් පවත්වා ගැනීමටද දක්වන දක්ෂතාව අගය කළ යුතු ය. මේ එවැන්නකින් උපුටා ගත් කොටසකි. කවියා මේ කවිය තුළද අපූරු කතාවක් කියවන්නාට දක්වනු ලැබේ. ඒ තුළද වර්තමාන සමාජය නිරූපිත බව පැහැදිලි ය.

“…පිටුපාල ඉද්දිත්
ඔයාව
ලස්සනට පෙනුණා මට
පිට පේන හැට්ටෙන්
පෙනෙන පෙනෙන පාරට පිට
පිටට ඇහෙන සද්දෙන්
පපුව මගෙ
ගැහුණා…”
(උපන් ලප නම් ඉතිං මොනවද; පිටු අංක 24/25)

අපූරු අද්දැකීමක් ඔස්සේ ලියැවී ඇති ‘ගාථාව පාඩම් ද නංගියේ’ යන හිසින් යුතු කවියේ අම්මලා දෙන්නෙක් ගැන අපූරු ආකාරයකට කවියට නගා ඇත. පවුලකට පිය සෙනෙහස අහිමි කරමින් වෙනත් කාන්තාවක් සමඟ ගිය දරුවන්ගේ තාත්තාව නැවත පවුලට භාර ගන්නී අම්මාය. ඒ තමා නොවදපු දැරියකට අම්මා වෙමිනි. එවැනි මවුවරුන් විරල සමාජයකට කවියා එකී මවු සෙනෙහස කාවැද්දීමට උත්සාහ ගනී.

“…අම්මත් නැති අසරණීට
කැඳ ඩිංගිත්තක් හදන්න
නංගියෙ උඹව දී අතට මගේ
කුස්සියට දිව්වා
ඒ අපේ අම්මා”
( ගාථාව පාඩම්ද නංගියේ ;පිටු අංක 39)

නිරෝෂගේ කවිය විඳ ගැනීමට නම් කවි රස විඳ පරිචයක් ලබා තිබීම මනා රසයක් විඳීමට උපකාරී වනු ඇත. දුරස් බවෙන් මිදීමට කවියාගේ ඉඟි කිරීම් විරල බැවිනි. කෙසේ නමුත් රස විඳිය හැකි අපූරු කාව්‍ය සංග්‍රහයක් වන ‘නොපාගා එන්න පරමල්’ කෘතිය ඔබ කියවා විඳිය යුතුමය.

ශානක හිත්තැටියගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...