මහේස්ත්‍රාත්ට විතරක් නෙමෙයි : අගවිනිසුරුටත් පොදු තැන්වල විශේෂ වරප්‍රසාද නෑ : පොලිසිය කරලා තියෙන්නෙ වරදක් – ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති !

Share post:

මහේස්ත්‍රාත්වරයෙකුට සමාජයේ පොදු ස්ථානවලදී විශේෂ වරප්‍රසාද හිමි නොවන බව thetime.lk කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කිහිපදෙනෙක් ම අවධාරණය කළහ.

මහේස්ත්‍රාත්වරයෙකුට පමණක් නොව අගවිනිසුරුවරයාට හෝ එවැනි වරප්‍රසාද නීතියෙන් ස්ථාපිත කර නොමැති බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. මේ නිසා විනිසුරුවරයෙකුට රාජකාරියට පරිබාහිර කාර්යයකදී බාධාකිරීමේ හෝ අවහිර කිරීමේ චෝදනා මත කිසිවකු අත්අඩංගුවට ගැනීමේ බලයක් පොලිසියට නොමැති බව ද ඔවුහු සඳහන් කරති. එහිදී පොලිසියට අනුගමනය කළ හැකි වන්නේ සාමාන්‍ය පුරවැසියෙකුට බාධාවක් හෝ අවහිරයක් කළ අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය ම ය.

සිදුවීම කුමක්ද ?

දිවයින පුවත්පත සහ www.news19.lk ඇතුළු ප්‍රවෘත්ති වෙබ්අඩවි ගණනාවක් වාර්තා කර තිබුණේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකුට බැනවැදුණු කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. රාගම පොලිසිය උපුටා දක්වන එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ මෙම සැකකරුවන් තමන් කළ වරදට මහේස්ත්‍රාත්වරයාගෙන් පසුව සමාව ඉල්ලා ඇති බවයි. තමන්ගේ නොදැනුවත්කම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයාට මෙසේ බැනවැදුණු බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අදාළ වෛද්‍යවරයාගේ හමුවීම සඳහා පෝලිම නොසලකා එහි ගිය බව පවසමින් එම පුද්ගලයන් මහේස්ත්‍රාත්වරයා වෙත බැන වැදී තිබේ. පොලීසිය වැඩිදුරටත් දිවයින පුවත්පත වෙත පවසා ඇත්තේ  මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇත්තේ බෙහෙත් තුණ්ඩුවක් ලියාගැනීමට මිස වෛද්‍ය පරීක්ෂාවකට නොවන බවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස් කර ඇති බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

වරදක් !

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ සදාචාර සම්පන්න ලෙස ඉල්ලීමක් කොට අවස්ථාවක් ලබාගැනීම හැර, බලහත්කාරයෙන් මෙසේ කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. තමන්ගේ නොදැනුවත්කම නිසා මෙසේ හැසිරුණු බව අදාළ පුද්ගලයන් පවසා ඇතැයි සඳහන් කළ විට ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඔහු හෝ ඇය කවුදැයි දැන සිටියත් එසේ අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවක් නැති බවයි.

පොලිසිය විසින් මෙසේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්නම්, එය වරදක් බවත්, පොලිසියට එසේ කටයුතු කිරීමට කිසිදු නීතිමය බලයක් නැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...