මහේස්ත්‍රාත්ට විතරක් නෙමෙයි : අගවිනිසුරුටත් පොදු තැන්වල විශේෂ වරප්‍රසාද නෑ : පොලිසිය කරලා තියෙන්නෙ වරදක් – ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති !

Share post:

මහේස්ත්‍රාත්වරයෙකුට සමාජයේ පොදු ස්ථානවලදී විශේෂ වරප්‍රසාද හිමි නොවන බව thetime.lk කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කිහිපදෙනෙක් ම අවධාරණය කළහ.

මහේස්ත්‍රාත්වරයෙකුට පමණක් නොව අගවිනිසුරුවරයාට හෝ එවැනි වරප්‍රසාද නීතියෙන් ස්ථාපිත කර නොමැති බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. මේ නිසා විනිසුරුවරයෙකුට රාජකාරියට පරිබාහිර කාර්යයකදී බාධාකිරීමේ හෝ අවහිර කිරීමේ චෝදනා මත කිසිවකු අත්අඩංගුවට ගැනීමේ බලයක් පොලිසියට නොමැති බව ද ඔවුහු සඳහන් කරති. එහිදී පොලිසියට අනුගමනය කළ හැකි වන්නේ සාමාන්‍ය පුරවැසියෙකුට බාධාවක් හෝ අවහිරයක් කළ අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය ම ය.

සිදුවීම කුමක්ද ?

දිවයින පුවත්පත සහ www.news19.lk ඇතුළු ප්‍රවෘත්ති වෙබ්අඩවි ගණනාවක් වාර්තා කර තිබුණේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකුට බැනවැදුණු කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. රාගම පොලිසිය උපුටා දක්වන එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ මෙම සැකකරුවන් තමන් කළ වරදට මහේස්ත්‍රාත්වරයාගෙන් පසුව සමාව ඉල්ලා ඇති බවයි. තමන්ගේ නොදැනුවත්කම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයාට මෙසේ බැනවැදුණු බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අදාළ වෛද්‍යවරයාගේ හමුවීම සඳහා පෝලිම නොසලකා එහි ගිය බව පවසමින් එම පුද්ගලයන් මහේස්ත්‍රාත්වරයා වෙත බැන වැදී තිබේ. පොලීසිය වැඩිදුරටත් දිවයින පුවත්පත වෙත පවසා ඇත්තේ  මහේස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇත්තේ බෙහෙත් තුණ්ඩුවක් ලියාගැනීමට මිස වෛද්‍ය පරීක්ෂාවකට නොවන බවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස් කර ඇති බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

වරදක් !

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ සදාචාර සම්පන්න ලෙස ඉල්ලීමක් කොට අවස්ථාවක් ලබාගැනීම හැර, බලහත්කාරයෙන් මෙසේ කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. තමන්ගේ නොදැනුවත්කම නිසා මෙසේ හැසිරුණු බව අදාළ පුද්ගලයන් පවසා ඇතැයි සඳහන් කළ විට ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඔහු හෝ ඇය කවුදැයි දැන සිටියත් එසේ අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවක් නැති බවයි.

පොලිසිය විසින් මෙසේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්නම්, එය වරදක් බවත්, පොලිසියට එසේ කටයුතු කිරීමට කිසිදු නීතිමය බලයක් නැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...