නූතන සිංහල කෙටි කවිය හා ළහිරු කරුණාරත්නගේ ‘නොඉම්’ කෙටි කවි එකතුව ගැන පොඩි අදහසක්
ළහිරු කියන්නෙ දැඩි අධ්‍යයනයකින් යුතුව කාව්‍ය නිර්මාණ හා විචාර ක්ෂේත්‍රයේ ඉන්නා සක්‍රීය කවි හිතක් ඇත්තෙක්. මා සිත් ගත් ඔහුගේ දිගු කවි කිහිපයක් ළමයි එක්ක මං හැම අවුරුද්දකම වගේ නූතන කවි හා සාහිත්‍ය විචාර න්‍යාය සාකච්ඡා කරන කොට බෙදා ගන්නවා. මේ සතියෙ ළහිරුගෙ අලුත්ම කවි පොත, ඒ කියන්න කෙටි කවි පොත ‘නොඉම්’ නොතිත් ආශාවෙන් කියවන්න ලැබුණා. මට දැනෙන හැටියට කෙටි කවි කියන්නෙ නිර්මාණකරුවාගේ නිර්මාණාත්මක පරිකල්පනයත් පාඨකයාගේ නිර්මාණාත්මක පරිකල්පනයත් එකට හමුවෙන වැඩ බිමක්. ඒ නිසාම කවිය ලියන්නා වගේම කවිය කියවන්නාද කෙටි කවිය ඇතුළෙ සක්‍රීයයි, සජීවීයි. බොහෝ අය ස්වභාවයෙන්ම නොදන්නා සංක්ෂිප්තබවේ හා භාෂාත්මක නිහඬබවේ අගය කෙටි කවිය කියවද්දිත් ලියද්දිත් පුරුදු පුහුණු කරන්න වෙනවා. එය අපි කැමති වුණත් අකමැති වුණත් කරන්න වෙන දෙයක්. ඒකට හේතුව වන්නේ කිසියම් නිර්මාණයක රසයට වඩාත් සමීප වීමට නම් අපට ශානරයේ ඇසින් එය කියවන්න වෙන නිසා. මං මුලින් කිව්ව වගේ සංක්ෂිප්ත බව අපට හුරු නැති නිසා බොහෝ අය කෙටි කවි ලියද්දි (මම ඇතුළුව) වරදින එක තැනක් තමයි සංක්ෂිප්ත කරද්දි ලියන්න අවශ්‍ය සහ අනවශ්‍ය මොකද්ද කියල වටහා ගන්නෙ නැති එක. ඒකට හේතුව කෙටි කවිය වඩාත් චිත්තරූපය හා ගනුදෙනු කරන නිසා අපගේ වචන ටික ඇතුළෙ අපි චිත්තරෑපික ගුණයට හැකි තරම් ඉඩ දෙන්න අවශ්‍ය වීම. ඒ චිත්තරෑපික ගුණය හඳුනගත් පාඨකයා වගේම නිර්මාණකරුවා වඩාත් ආශක්තව කෙටි කවියට නැඹුරු වෙනවා.
අනෙක් විශේෂ කාරණයක් ලෙස මට දැනෙන්නේ නූතන සිංහල කෙටි කවිය ඇතුළෙ ලාංකේය අනන්‍යතාවේ ඉර හරිතැනකින් ඇඳගන්න අපි පරිස්සම් විය යුතුයි යන්නයි. ලාංකේය පද්‍ය සංස්කෘතිය ඇතුළෙ කෙටි කවිය හුදෙකයා ප්‍රයානයක ප්‍රතිඵලයක් නෙමේ. ඒකට ක්‍රි.පූ. යුගවල ඉදන් එන සෙල්ලිපිකරණයේ සංක්ෂිප්ත බව, සීගිරි ගී සංස්කෘතිය, බෞද්ධ කෙටි ගාථා සම්ප්‍රදාය, ගී යුගයේ ගී කාව්‍ය ලක්ෂණ, භාරතීය කාව්‍ය සම්ප්‍රදායේ ආභාසය, හයිකු කවියේ සෙවණැල්ල ආදී දේශීය හා විදේශීය විවිධ කාව්‍ය සංස්කෘතිවල සම්මිශ්‍රණයක් ඒ සඳහා බලපාන්නට ඇති. කෙසේ නමුත් ඒ හැම සම්ප්‍රදායක් ඇතුළෙම තියෙන පොදු එක් අනන්‍යතාවක් විදියට නිර්මාණයක කෙටි බව හුදු කෙටි බවක් නොවීමට වග බලා ගැනීම දක්වන්න පුළුවන්. ඒ කියන්නෙ කවිය කෙටි වූ පමණින් අප පාඨකයා වෙත ලබා දිය යුතු රසඥාතාව ලඝු විය යුතු නැති බව.
ළහිරුගේ ‘නොඉම්’ කියන්නෙ කෙටි කවි විතරක් තියෙන කාව්‍ය සංග්‍රහයක්. කවියෙක් කෙටි කවි විතරක් එකතු කරල පොතක් කරන එක හැම පැත්තෙන්ම අභියෝගයක්. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ගොඩ මෙතන ලියන්න වෙලාවක් නෑ. එහෙම ලිව්වයි කියල ඇති ප්‍රයෝජනයකුත් නෑ. මං හිතන්නෙ ළහිරු මේ පොත කරන්නෙ මේ හැම දෙයක්ම දැනගෙන. ළහිරුගෙ කවි පොත මට හිතෙන්නෙ මං ඉහළින් කතා කළ කරුණුවල අඩු වැඩි එකතුවක්.
‘තුවාල වූ අතින්
බෙහෙත් අඹරන්නීය
වෙද හාමිනේ’
ළහිරුගේ මේ කෙටි කවියේ ‘වෙද හාමිනේ’ කියල කියන්නෙ ප්‍රබල චිත්තරූපයක්. කෙටි කවියේ කාව්‍යාත්මය රඳවා තිබෙන ප්‍රධාන ධාරණාව චිත්තරූපයයි. ‘වෙද හාමිනේ’ කියන්නෙ ලාංකේය වෙදකම එක්ක බැඳුණු ජන සංස්කෘතිය ඇතුළෙ ප්‍රධාන චිත්තරූපයක්. ලාංකේය වෙදකම විවිධ පැණි නිසා හාස්‍යයට ලක්වෙන මොහොතක සහ නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කම් ඇතුළෙ දේශීය වෙදකමේ අනාගතයේ අවිනිශ්චිතතාව තුවාල වූ අතින් සංකේතවත් වෙනවා ඇති. ඒ කියන්නෙ තුවාල වූ අත් කියන්නෙම හුදෙක් භෞතික තුවාලයක්ම වෙන්න බෑ.
චිත්තරූපය කියන්නෙම පාඨකයාට සිතීමේ නිදහස ලබා දෙන්නක්. තවත් පැත්තකින් ඒ චිත්තරූපයෙන් කරන්නේ පාඨකයාගේ විචාරාත්මක චින්තනය වැඩි කරන එක. පාඨක ප්‍රතිචාරය න්‍යාය (Reader-response criticism) වගේ න්‍යායික ප්‍රවේශ ඇසුරෙන් මෙම කාරණා තව දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන්.
සාහිත්‍ය කියන්නේ පාඨකයාගේ ඉන්ද්‍රිය සංවේදීතාව තියුණු කරන්නක්. ඒ වගේම ඇතැම් කවි අපේ පංචේන්ද්‍රියන්ට විවිධාකාරයෙන් දැනෙනවා. ළහිරුගෙ පහත දැක්වෙන කවිය පාඨකයාගේ හදවත වගේම භෞතික ශරීරයට ස්පර්ශ කරන්නක්.
‘සුළැඟිල්ල මුදුනේ
අවසන් ස්පර්ශ බිඳද
ගිලිහෙන තෙක්ම
ඔබ මගේ විය’
කවියේ භාවාත්මක ප්‍රහර්ෂයද අත්‍යන්තයෙන්ම කිසියම් කාව්‍ය ප්‍රවර්ගයක පැවැත්මට හේතු වන බව මගේ විශ්වාසයයි. ළහිරු ඉහත කවියේ භාවාත්මක ආමන්ත්‍රණය පාඨකයාට ඉන්ද්‍රිය සංස්පර්ශයක් ලෙස සමීප වන්නේ එහි පඨිතමය අර්ථයට (textual meaning) එහා ගිය සන්දර්භීය අර්ථය (contextual meaning) වෙත රසිකයා කැඳවන බැවින්.
කෙටි කවිය කියන්නේ ප්‍රකාශිත ඉතා අවම වචන (text) ගොනුවක් ඇතුළෙ විවිධ සන්දර්භ (context) නිර්මාණය කරන්නක්. ඒකට විවිධ අර්ථ ව්‍යූහ කියල කියන්නත් පුළුවන්. පාඨකයා කවිය මතුපිට ප්‍රකාශිත සහ කවියේ සන්දර්භයේ අප්‍රකාශිත අර්ථ ව්‍යූහ කියවීමට පරිස්සම් විය යුතුය. එය හදිසිකාර පාඨකයෙකුගෙන් මග හැරෙන්න පුළුවන් දෙයක්. කෙටි කවියේ ආකෘතියේ ස්වභාවයෙන්ම අප හදිසිකාර කියවීමකට කැඳවනවා. ඇතම් විට පාඨකයා වරදවා වටහා ගන්නෙත් ඒ දෙයමයි. ඒ සංක්ෂිප්ත බව ඇතුළෙ සිදු වන වරදවා වටහා ගැනීම බොහෝ පාඨකයන්ට කෙටි කවියේ චිත්තරූප, සන්දර්භීය අර්ථ ව්‍යූහ මඟ හැරෙන්න එක් හේතුවක්. ඒ කෙටි බව ඇතුළේම අන්තර්ගත කාව්‍යමය සෞන්දර්යය සොයා යෑම හා පාඨකයා වෙත ලැබෙන කිසියම් අභියෝගයක්.
‘ඉන්නවා කියනු මිස
තියනවා කියනු බැහැ
ඉසුරුමුනි පෙම් යුවළ’
කෙටි කවිය කියවූ සැණින් අන්තර් පඨීතමය හෙවත් අන්තර්ග්‍රාන්ථික (intertextuality) සිහිපත් කිරීමකට මඟ පාදන්නේ ආරියවංශ රණවීරගේ ‘ඉසුරුමුනි පෙම් යුවළ අභියස’ කවිය සමඟය. රණවීරගේ කවිය මෙන්ම ළහිරුගේ මෙම කෙටි කවිය හදිසිකාර කියවීමකදී බොහෝ දේ මඟ හැරිය හැකි කෙටි කවියකි. මා මුලින් සඳහන් කළ සන්දර්භීය අර්ථ ව්‍යූහ පාඨකයා මෙහිදී දිගේලි කළ යුතුය. තවද කවියේ සන්දර්භීය දාර්ශනිකත්වය වියුක්ත දාර්ශනික තලයකද පිහිටවිය යුතුය. ‘ඉසුරුමුනි පෙම් යුවළ’ යනු ලාංකේය සංස්කෘතිය හා සාහිත්‍ය කලා නිර්මාණවල ප්‍රේමය හා සම්බන්ධ ප්‍රබල සංකේකයකි. කවියේ මෙම සංකේතාත්මක චිත්තරූපය ලාංකේය සංස්කෘතියේ ප්‍රේමයට වඩා ආගමට ලබාදෙන ප්‍රමුඛතාව පිළිබඳ බුද්ධිමය කතිකා ගොඩනගා ගැනීමට ආරාධනා කිරීමක්ය. සාමාන්‍ය කතාකිරීමකදී අපි තවත් කෙනෙක්ට කියන්නේ අහවල් ස්ථානයේ ‘ඉසුරුමුනි පෙම් යුවළ’ තියෙන බවයි. ඉන් හැඟවෙන අප්‍රාණික හා අචේතනික ස්වභාවයට කවියා විරුද්ධ වේ. කවියා යෝජනා කරන්නේ එය සචේතනික විය යුතු බවයි. සංස්කෘතිකමය වශයෙන් ප්‍රේමය සචේතනික හා සප්‍රාණික විය යුතු බවයි.
ඒ වගේම කෙටි කවිය ලියද්දි අවම වචන සංඛ්‍යාවක් යොදාගෙන එහි සංක්ෂිප්තතාව රැකගන්න අවශ්‍යයි. ඒ සංක්ෂිප්තතාව මඟින් නිගමනාත්මක අවසානයකින් ඈත් වෙලා පාඨකයාට කාව්‍යාත්මය විවෘතව තිබුණම තවත් ලස්සනයි. නිගමනාත්මක බවින් තොර වීම කෙටි කවියක් ලියද්දි අනිවාර්යයෙන් අනුගමනය කරන්න අවශ්‍ය නීතියක් නෙමේ. මොකද කවිය ඇතුළෙ නීති කියල සම්මත තියාගන්න බෑ. ඒත් කවියේ ශානරීය ස්වභාවය හා ශනරීය තාක්ෂණය ඇතුළෙ අපිට යම් යම් දේවල් අපට අනුගමනය කරන්න වෙනවා. ඇතැම් දිගු කවිවල පාඨකයා වෙත සපයන නිගමනාත්මක අවසානය කෙටි කවිය ලියද්දි විවෘතව තියනවා. ළහිරුගෙ එක කවියක් කියවද්දි මට හිතුණා ඒ කවිය නිගමනාත්මක බවින් තොර වුණා නම් තවත් හොඳයි කියලා.
‘රන් භාණ්ඩ වෙන්දේසියේදී
හමුවෙයි ඔහුට
පැරණි පෙම්වතියට දුන්
කරාබු ජොඩුව’
මේ කවිය නිගමනාත්මක අවසානයකින් තොරව අවශ්‍ය නම් මෙලෙස තියන්නත් පුළුවන්.
රන් භාණ්ඩ
වෙන්දේසියේදී
නෙත ගැටෙන
හුරු පුරුදු කරාබු ජොඩුව
මෙවැනි පරිසරයක් ඇතුළෙ පාඨකයා වෙත නිත්‍ය නිගමානාත්මක අවසානයක් නැතිවීම විවිධ පුළුල් අවකාශ ඇතුළෙ ඔහුට හෝ ඇයට හිතීමට පරිකල්පනාත්මක නිදහස ලබාදීමයි.
ඉතා කුඩා වාග් අවකාශයක් ඇතුළෙ කෙටි කවියෙන් පාඨකයා වෙත බුද්ධිමය අන්තර්දෘෂ්ටිද සැපයීම තවත් එක් විශේෂත්වයක්. ළහිරුගේ කෙටි කවියෙ ආනුභූතික විචිත්‍රත්වය දක්නට ලැබෙන විශේෂ ගුණයක්. ඒ විවිධ අනුභූතිවල ඉතා තියුණු අන්තර්දෘෂ්ටි පාඨකයා වෙත ලබාදෙන කවි කිහිපයක් මා සිත් ගත්තා. ඉන් පහත දැක්වෙන්නේ කවි කිහිපයක් පමණයි.
‘පරමලින් පිරි
මේ කුණුගොඩට
‘කුණුගොඩ’ යි කියන්නට
පමාවෙයි සිත’
‘මරණය නොව
දිවියම
සිහිකැඳවයි
මිනී මල්’
‘පරවෙන්නට පෙර
මලක් මිය යයි
මල්වඩමක් තුළ’
‘රන් වැටෙන්
එළියට
විහිදෙන්නේ
බෝ අතු’
කෙටි කවියේදී ස්වභාවොක්ති නොහොත් ඒ මොහොත හමුවීම සුවිශේෂ දෙයක්. ළහිරු කවි අතර මොහොත අනාවරණය කරන කවි කිහිපයක් තියෙනවා. ඒ මොහොත අනාවරණයෙන් සෞන්දර්යක් ගොඩනැගීම එහිදී සිදුවන්නක්.
‘හැම උදයෙම
ගෙයින් බට සැණ
මකුළු දැලකි පැටලෙන’
‘ඈ
කිසිත් නොකියන දවසට
දැල්වේය
ලිපගිනි වැඩිපුර’
‘නොනෙළා
ගසට ඉතිරි කළ
මල් දෙක තුන නිසාය
පාළුව’
නූතන සිංහල කෙටි කාව්‍ය සම්ප්‍රදාය හා ළහිරුගේ ‘නොඉම්’ කෙටි කාව්‍ය සම්ප්‍රදානය ගැන පොඩි අදහස් කිහිපයක් මෙහි සඳහන් වෙන්නෙ. ඉතිං ළහිරු ආයෙ කවිත් එක්කම හමු වෙමු.