සුරත් ද මැල්ගේ ‘සී+’නූතනත්වය හා තාරුණ්‍යය වැළඳගත් නවකතාවක්

Share post:

වර්තමානයේ බොහෝ පාඨකයන් නව සිංහල ස්වතන්ත්‍ර නවකතා කියවීමෙන් ඈත්වෙලා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි නව සිංහල ස්වතන්ත්‍ර නවකතාව තවමත් යන්නෙ පැරණි රිද්මයෙන්. චරිත සිදුවීම් ස්ථාන මාරු කර කර එකම කතාව මුල මැද අග කරකවල පාඨකයාට දෙනවා. ඒවට නව තාක්ෂණය මුසුවෙලා හැඩවෙලා , බැලුවම ලස්සනයි. ඒත් ඇතුල හිස්. බොහොමයක් ලේඛක ලේඛිකාවන්ගේ පරිකල්පනය පැරණි සම්ප්‍රදායික පොදු තේමාවන් තුල හිරවෙලා. සිංහල පාඨකයන් ස්වතන්ත්‍ර නවකතාවෙන් ඈත් වෙන්න අනෙක් හේතුව හතු පිපෙනවා වගේ බිහිවන පරිවර්තන කෘති..
හැබැයි ඉහත පොදු සම්ප්‍රදාය අතික්‍රමණය කල නිර්මාණකරුවන් දෙදෙනෙක් මා කියවූ නවකතාවන් තුලින් හදුනාගන්න ලැබුණා. එක් අයෙක් කෞෂල්‍යය කුමාරසිංහ. අනෙක් ලේඛකයා මංජුල වෙඩිවර්ධන. සිංහල ස්වතන්ත්‍ර නවකතාව වෙත නූතනත්වය කැඳවාගෙන ආ නිර්මාණකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් හදුන්වන්න පුළුවන්. ඒ නිර්මාණකරුවන් දෙදෙනාගේ ලැයිස්තුවට මම අද තවත් නමක් එකතු කරනවා. ඒ සුරත් ද මැල්. Surath de Mel. එහෙම කරන්න වුනේ ඔහුගේ සී ප්ලස් නවකතාව කියෙව්වට පස්සෙ. සුරත් අතින් ලියවුණු මා කියවූ මුල්ම කෘතිය සී ප්ලස්..
මා මෙය නම් කරන්නේ නූතනත්වය හා තාරුණ්‍යය වැළඳගත් නවකතාවක් ලෙසයි.

මුලින්ම කියන්න ඕනේ සුරත් මේ නවකතාව ලියන්නේ පොදු සුලභ තේමාවලින් බැහැරව. ඔහු මෙම නවකතාව තුළ නැවුම් හා කාලීන සමාජ ප්‍රශ්න ගණනාවක් විමර්ශනයට ලක් කරනවා. ඒ කාලීන ප්‍රශ්න සෘජුවම රටේ තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන ඇති වුන ඒවා. ඒ නිසයි මුලින්ම කිව්වෙ මෙම නවකතාව නූතනත්වය හා තාරුණ්‍යය වැළඳගත් එකක් කියලා..
විශ්ව විද්‍යාලය කියන්නෙ තරුණ ජීවිතයේ නොමැකෙන සන්ධිස්ථානයක්. සරසවි පද්ධතිය හා බැඳුණු උප සංස්කෘතියක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුල් බැසගෙන තිබෙනවා. නමුත් ඒ උප සංස්කෘතිය පොදු භාහිර සමාජයට ආවරණය වෙලා තියෙන්නේ. ඒ තුල මායාවන් , කඩතුරාවන් , අවරඝනයේ ක්‍රියාකාරකම් බොහොමයි. ඒ උප සංස්කෘතිය තුල ඉතාමත් රහසේත් පෞද්ගලිකවත් සංසරණය වන ලිංගිකත්වයට කරන්න පුළුවන් කාර්‍ය භාරය ඉතාමත් ප්‍රබලයි. විභාග සමත් වීම , ඉහල සාමාර්ථ ලබාගැනීම් , අධ්‍යන කාර්‍ය් මණ්ඩලයට එකතුවීම් ඉන් කීපයක්. ඉතින් කතුවරයා මේ කතිකාව හරහා උප සංස්කෘතිය කියන සළුව ඔසවා ඊට යටින් ඇති නිරුවත සමාජයට පෙන්වල තියෙනවා..

ඩිජිටල් මාධ්‍ය වර්තමානයේ සිදුකරන රියැලිටි ෂෝ නමින් හඳුන්වන සමාජ පිළිලය ගැන තමයි මෙහි ප්‍රධානම කියවීම තියෙන්නෙ. ඇත්තෙන්ම රියැලිටි ෂෝ එකකට සහභාගි වන , ඊට සහයෝගය දක්වන හිරිමල් වියේ චරිත තුනක් කේන්ද්‍රගත කරගෙන තමයි මුළු කතාවම දිවෙන්නෙ. මේ හිරිමල් වියේ චරිත තුනම ස්ත්‍රී පාර්ශ්වයේ.

නම රියැලිටි උනාට එය යථාර්තය සමීපයටවත් ඇවිත් නෑ. ලාංකීය රියැලිටිය කියන්නෙ තනිකරම මායාවක් , මවාපෑමක් , බොරුවක්. රියැලිටිය කියන්නෙ කලින් සැලසුම් කල තිර පිටපතක්. අන්තිමට ජනප්‍රියම තරුව බවට පත්වන්නේ ඇත්තටම ජනප්‍රිය කෙනා නෙවෙයි. බොහෝවිට ඒ දක්ෂයාද නෙවෙයි. අදාල චැනලයේ ලොකු ලොක්කන්ගේ මනදොල පිරූ අය තමයි කිරුළු පළදින්නෙ. මොන කිරුළක් පැලැන්දත් ඔහු හෝ ඇය මේ ගේම් එකේ එක ඉත්තෙක් විතරයි. මේ කිරුලෙ හිමිකාරයා වෙන්න දක්ෂතාවය ප්‍රමාණවත් නෑ. මුදල බලය තියෙන්නෙ ඕන. ඒ විතරක් නෙවෙයි කාන්තා තරඟකාරිනියක් සම්බන්ධයෙන් නම් ලිංගික අල්ලස හා සන්තර්පනය තීරණාත්මක සාධකයක්. අන්තිමේදි මල් කැකුළු වන් යෞවනියන්ගේ ශරීරය කාම පිපාසාවෙන් පෙලෙන පිසාචයන්ගේ කෙළිබිමක් බවට පත්වෙනවා. මේ කතාව තුල ඒ පිළිබඳ ගැඹුරු කතිකාවක් ගොඩනගා තිබෙනවා..

කතුවරයා ලිංගිකත්වය , ලිංගික අල්ල්ස යන්න සාකච්ඡාවට බඳුන් කරන්නේ , ගවේෂණය කරන්නේ විශ්ව විද්‍යාල උප සංස්කෘතිය හා රියැලිටි ප්‍රසංග මධ්‍යයේ තියාගෙන.

සරසවි උප.සංස්කෘතිය තුලත් , රියැලිටිය තුලත් දියවී යන , බොඳ වී යන තාරුණ්‍යය ගැන කතුවරයා විවෘතව කතා කරනවා වගේම ඔහු මේ හරහා යටිපෙලින් ලාංකීය සමාජ ආර්ථික සංස්කෘතික දේහය සියුම් ලෙස පරීක්ෂාවකට ලක් කරනවා. ඉතාමත් සියුම් ලෙස පරික්ෂා කර බැලුවොත් ලාංකීය සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම උඩු දුවා ඇති පන්ති අරගලය යටිපෙලින් ඉස්මතු වෙනවා.

ජනප්‍රියත්වය , ධනවත් බව , සමාජීය තත්ත්වය , දේශපාලන බලය , ලිංගිකත්වය , මානසික නිදහස උදෙසා වන තුන්කොන් ගැටුමක් මෙහි ඉතාමත් අපූරුවට නිරූපණය වෙනවා. සී , දිල් , මුතු කියන තරුණියන් හරහා තමයි එය නිරූපණය වෙන්නෙ. මුතු කියන්නෙ උග්‍ර ධනේශ්වර පවුලක සැප සම්පත් මැද දිවි ගෙවන කෙල්ලෙක්. සී කියන්නේ උගත් නාගරික මධ්‍යම පන්තියේ නියෝජනයක්. දිල් කියන්නෙ සමාජයේ පහළම ස්තරය. ඉතින් මේ තුන්දෙනාට නිරන්තරයෙන්ම එකිනෙකා සමඟ ජනප්‍රියත්වය , ධනවත් බව , සමාජීය තත්ත්වය , දේශපාලන බලය , ලිංගිකත්වය , මානසික නිදහස උදෙසා ගැටුමක් තිබුණා. සුරත් ද මැල් මහතා මේ චරිත ත්‍රිත්වය පසුබිමේ තබල යටිපෙලින් හෙලිදක්වල තියෙන්නෙ ලාංකීය සමාජය තුල ඔඩුදුවා ඇති පංති භේදයයි..
නවකතාවේ සාර්තකත්වයට ප්‍රබලම පිටුවහල ලැබිල තියෙන්නෙ තෝරා ගත් දුලබ නව්‍ය කාලීන තේමාවෙන්. වෙනත්
නිර්මාණකරුවකුගේ තෙවෙනි ඇස නොදුටු ඉසව්වක් ස්පර්ශ කරන්නට ඔහුට හැකිවෙලා තියෙනවා.

සුරත් ද මැල් මහතා යොදාගත් නූතනත්වය හා බැඳි නිදහස් භාෂා භාවිතය මෙය තවත් හැඩකර තිබෙනවා. ලාංකීය ජන සමාජය මා නම් කරන්නේ සංස්කෘතික කාන්තාරයක් ලෙස. ලිංගිකත්වය ගැන කතා කරන , ලිංගිකත්වය යන්න අමු කුණුහරපයක් ලෙසින් සිතන , සංස්කෘතිය හා සදාචාරය නම් ඊනියා සළුවෙන් වසාගෙන ඇති නිරුවත හෙළි කර යථාර්ථය මතුකර පෙන්වන පෙරගමන්කරුවන්ට පහරදීමට ඊනියා සංස්කෘතිකවාදීන් බලා ඉන්න මොහොතක තමයි සුරත් මේ නවකතාව ලියන්නෙ.. කොයි මොහොතේ හෝ එල්ල විය හැකි සංස්කෘතික ප්‍රහාරයකට බිය නොවී අකුරු කල ලියවිල්ලක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඒ අනුව සී ප්ලස් කියන්නේ ඊනියා සංස්කෘතිකවාදීන්ට එල්ල කළ කනේ පහරක්..
කූඩුවෙ ඉන්න කුරුල්ලො පියාඹන එක වරදක් ලෙස දකින්නෙ. ඉතින් මේකෙත් එහෙමයි තමන් විසින්ම සාදාගත් සංස්කෘතික සීමා තුලට කූඩු උන අය , ව්‍යාජ සංස්කෘතික සීමා මායිම් නොතකා නිදහසේ සැරූ කිරිල්ලියන් තිදෙනා දෙස බැලුවෙ සැකයෙන් , අවිශ්වාසයෙන්..

ඇත්තෙන්ම මෙවැනි නවකතාවක් ලිවීම අභියෝගයක්. ප්‍රබල අභියෝගයක්. මන්ද මේ කතාව පුරාම කියන්නෙ තරුණියන් තිදෙනෙකුගෙ නව යෞවන හැඟීම්. කතාව පාඨකයා වෙත ගේන්නෙ සී. අනිත් චරිත දෙක මුතු හා දිල්. ඉතින් මොවුන් තිදෙනාගේ ගැහැනු සිතේ උපන් මනෝභාවයන් ගැන නිවැරැදි හා යථාවාදී නිරූපණයක් පාඨකයා වෙත ගෙන එන්නට නම් නිර්මාණකරුවා එම ස්ත්‍රීන්ගේ ආත්ම තුලට කිදා බැසිය යුතුයි. ඒ කිඳාබැසීම තුලින් කෙතරම් ගැඹුරක් වෙත ගිහින් තියෙනවාද යන්නට පොත කියවා ඇති පාඨකයා සාක්ෂි සපයනු ඇත..

මෙම නවකතාව තුළ චරිත ගොඩනැගීම ඉතාමත් ප්‍රබලයි. කතුවරයා මුතු , සී සහ දිල්ගෙ චරිතය ගොඩනගලා තියෙන්නේ සමාන්තරව. මෙම තිදෙනාම එකිනෙකා පරයා නැගී සිටීමට කැපී පෙනෙනු උත්සහ කල තිදෙනෙක්. නමුත් කිසිම අවස්ථාවක එකම චරිතයක් හෝ අනෙක් චරිත ද්විත්වය පසුකර යන ලෙසින් ගොඩනගා නැහැ. එක් චරිතයක් හෝ අනිත් චරිතයක් පසුකර ගියානම් චරිත ගොඩ ගොඩනැගීම අසාර්ථක වෙනවා..
චරිත ගොඩ නගන්නට හා සිතුවිලි විවරණය කරන්නට ප්‍රමාණවත් තරම් ජීව ගුණයෙන් ඉහල සිදුවීම් මාලාවක් නවකතාව තුල අන්තර්ගතයි..

ඒ වගෙම තමයි පුද්ගල මනෝභාවයන් ගෙනහැර දැක්වීම. සුරත් ඉතාමත් කලාත්මකව හා විවෘතව කිසිඳු හැඟීමක් නොසඟවා පාඨකයා වෙත ගෙනඒමට කටයුතු කරල. ඇත්තෙන්ම ඔහු ගෑණු හිත් එකක් නෙවෙයි තුනක් ඇතුලට රිංගල ඒක කරල තියෙන්නෙ.

කතාවේ මුල මැද අග කිසිදු බිදවැටීමක් , අනවශ්‍ය ඉස්මතුවීමක් නෑ. අවසානය ගැනත් යමක් කිව යුතුයි. බොහෝ නවකතාවන් කියවගෙන එද්දි අවසානය පිළිබඳව පාඨකයාට පූර්ව නිගමනයකට එන්න පුළුවන්. හැබැයි එවැනි පූර්ව නිගමනවලට එළඹිල ඒවා හරි යන නවකතාවන් සාර්ථක ඒවා නෙවෙයි. සී ප්ලස් තුල අවසානය ගැන පූර්ව නිගමනයකට එන්න බෑ. එහෙම උනත් අවසානය අපේක්ෂා නොකල එකක් තියෙන්නෙ. ඒ අවසානය හරහා කතුවරයා ප්‍රබල පණිවිඩ කිහිපයක් සමාජගත කරල තියෙනවා..

මා මෙහි අඩුපාඩුවක් නොදකිමි. නමුත් මෙම කතාව පාඨකයා වෙත ගෙන එන සී වෙනුවට තෙවන පාර්ශ්වයක් හෝ සී , මුතු සහ දිල් යන තිදෙනාම කතාව පාඨකයා වෙත ගෙන ආවේනම් මෙහි රසය තවත් වැඩිවනු ඇත..
C + 2022 ස්වර්ණ පුස්තක අවසන් පොත් 12 අතරට නිර්දේශිත කෘතියක්
සරසවි ප්‍රකාශනයක්..

චතුරංග අමරතුංග

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...