‘මම ගිටාරයෙන් සොයන්නේ ආදරය ද? දැනුම ද? තාත්තා ද?’

Share post:

පරාක්‍රම කොඩිතුවක්කුගේ ‘ක්ලැරා’ ගැන එච්චරම සීරියස් නැති කරුණු 8 ක් සහ තරමක් disturbing පසු සටහනක්

තරිඳු ශ්‍රී ලොකුගමගේ

  1. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ, අඩු තරමින් එයාගේ ලෙගසියේ හැටියට, තමන්ට ඕන දේ වෙනුවෙන් තමන්ගේ ආර්ට් එකකට ෆයිට් කරපු මනුස්සයෙක්. ක්ලැරා කියන්නේ ඒ මනුස්සයා ගැන, එයාගේ මල්ලි ඇතුළු සමීපස්ථයන්ගෙන් තොරතුරු අරගෙන ලියපු අර්ධ-චරිතාපදානමය ‘සංගීතමය’ නවකතාවක්.

2.මේකේ විශේෂ ලක්ෂණ කීපය අතරින් ප්‍රධානතම එක තමයි, ඉදුණු අඹ ගෙඩියක් සම්පූර්ණයෙන්ම ලෙලි ගහලා මිරිකුවා වගේ උකුවට මේකේ වචනවලින් වාක්‍යවලින් බේරෙන මනුස්ස ප්‍රේමය. ඒ වගේම සංගීතය ඇතුළුව හැම මානවීය දෙයක්ම සංස්කෘතික පොලීසියේ ආධිපත්‍යයෙන් මුදවලා නිදහස් කිරීමේ වැදගත්කම. මිලියන ගණන් මිනිස්සුන්ගේ රසිකත්වය පාලනය කරමින් ඉන්න අතළොස්සක් වන ප්‍රබුද්ධයන්ගේ ආධිපත්‍යයේ නිසරු බව පෙන්වා දීම (මේ ලක්ෂණ අඩුවැඩි වශයෙන් පරාක්‍රමගේ සියලුම පොත්වල තියෙන බවට ඔබ තර්ක කරාවි).

3.කතුවරයා මේක කරන්නේ සම්මත ආඛ්‍යාන රටාවක් භාවිතා කරමින් නෙමෙයි. කෙනෙකුට ඕන නම් පුළුවන් ඇති මේක පශ්චාත් නූතනවාදී නවකතාවක් කියල කියන්නත්. වෙලාවකට කතාවේ narrator කෙනෙක් කතා කරනවා. ඊට පස්සේ පරාක්‍රම කෙළින්ම අපට කතා කරනවා. පරාක්‍රම ක්ලැරා එක්ක කතා කරනවා. ක්ලැරා රසිකයෝ එක්ක කතා කරනවා. ඊට පස්සේ ක්ලැරන්ස්ගේ මල්ලි ක්‍රිස්ටි කතා කරනවා. සමහර වෙලාවට එයාලගේ ප්‍රේම ජීවිතවල ඉන්න ගැහැනු කතා කරනවා. කවි සින්දු වෙනවා. සින්දු කවි වෙනවා. පද මික්ස් වෙනවා. රම්පෙට පොරි හැලෙනවා. ඒක අපූරු අත්දැකීමක්. ඒ සමහර තැන්වල ෆොටෝ අරන් එසැණින් මගේ සාහිත්‍ය මිතුරියට යවන්න මට සිද්ධ වුණා. ඒවා සමහර වෙලාවට ඒ තරම් නො-ඉවසිලිමත් කරවනසුලුයි.

4.ඒත් සමහර කරුණුමය දෝෂ, මට පොත විඳින්න බාධාවක් වුණා. පොතේ තැන් කීපයකම රචකයා ක්ලැරා ලව්වා කියෝනවා, ඉන්සයිඩ් ඩාවිස් කියල ශ්‍රේෂ්ඨ ඇමරිකානු ජන ගායකයෙක් ගැන. මට එහෙම කෙනෙක් මීටර් නැති නිසාත්, ඉන්සයිඩ් කියල නමක් තියෙන්න බැරි නිසාත් හොයල බැලුවම මට පෙනුණු දේ තමයි, 2013 අවුරුද්දේ රිලීස් වුණු Inside Llewyn Davisකියන චිත්‍රපටියේ ලුවින් ඩේවිස් කියන ප්‍රබන්ධිත චරිතය රචකයා ඉන්සයිඩ් ඩාවිස් කියල ඇත්ත වශයෙන්ම ජීවත් වුණු කලාකරුවෙක් කියල වරදවා වටහාගෙන කියන එක. (මම වැරදි නම් නිවැරදි කරන්න). මොකද ඉන්සයිඩ් ඩාවිස්ගේ ගීතයක් කියල පොතේ සඳහන් කරන Hang me ගීතයත් ඇත්ත වශයෙන් Inside Llewyn Davis චිත්‍රපටය පදනම් කරගත්තු ‘Another Day, Another Time: Celebrating the Music of Inside Llewyn Davis’ කියන සංගීතමය චිත්‍රපටයේ ඔස්කාර් ඉසාක් ගායනා කරන ‘Hang me, oh hang me’ කියන ගීතයමයි. මම දන්නේ නෑ ඒක නවකතාකරුවාගේ නිදහසේ පරාමිතියට ඇතුළත්ද කියන එක.

  1. පොතේ අවසානයේ පොත ගැන විචාර කිහිපයක් ඇතුළත්. මම ඒකට කැමති නෑ. ඒක හරියට පොත බොඩිගාඩ්ලා කීපදෙනෙක් එක්ක පාරට එනවා වගේ වැඩක්. මං හිතන්නේ නෑ පොතකට එහෙම බොඩිගාඩ්ලා අවශ්‍යයි කියල. ඒත් එයින් එක විචාරයක මගේ මිත්‍ර ප්‍රියන්ත කොඩිප්පිලි වැදගත් කතාවක් කියනවා. එයා කියනවා ‘මේක මියුසික් කරන කොල්ලන්ට, බෑන්ඩ්වලට එහෙම අත්පොතක් විදිහට දෙන්න ඕන’ කියල. ඒක ඇත්ත. මොකද සියවසකට වැඩි කාලයක් තිස්සේ සංස්කෘතික ආධිපත්‍යය තියන ප්‍රබුද්ධයෝ ටික ලංකාවේ සාහිත්‍ය කලාවන්ට කරපු හානිය සුළුපටු නෑ කියලයි මට හිතෙන්නේ. “සුභාවිත ශාස්ත්‍රීය සංගීතකරුවන් …. පටු මංවල ගිහින් නිපදවා ගත්තේ ශාන්ති නිකේතනයේ දරුවෙක්’ කියල වචන පෙළක් රචකයා කීප තැනකදී ක්ලැරාගේ මුවට නංවනවා. මේ පොතේම විවිධ තැන්වල සඳහන් වෙන කරුණු දිහා බැලුවම, ඒක අසාධාරණ නිරීක්ෂණයක් කියන්න බෑ.
  2. ක්ලැරන්ස්ට තිබිලා තියනවා කොළ පාට මොරිස් මරීනා එකක්. වරෙල්ලකෝ බලන්න ඒක උඩට පියානෝ එකක් අතඅරින්න! (මේක car guys ලට විතරක් තේරෙන ජෝක් එකක්). ඒ වගේම ක්ලැරන්ස් කියන්නේ හොඳට කාලා බීලා, ස්විමිං පූල් එකකුත් තිබ්බ ලොකු ගෙයක් හදලා, ආතල් එකේ ජීවත් වෙච්චි මනුස්සයෙක්. සාමාන්‍යයෙන් ලංකාවේ කලා ප්‍රතිරූපවල අනිවාර්ය අංගයක් වෙලා තියන අර දුකේ බරට පහළට එල්ලෙන වෙස්මූණ ක්ලැරන්ස්ට පලන්දන්න හෝ ඔබ පැළඳගන්න යන්න එපා. ක්ලැරන්ස් වගේ ගිටාරයෙන් බැරි නම්, බොන්න යනකොට ඇන්න යන බොංගෝ සෙට් එකෙන් හරි ජීවිතේ වැළඳගන්න!
  3. මේක ඔබ කියවිය යුත්තේ ඇයි කියන එක පෙන්නන්න, නොන්-ක්ලැරන්සීය උදාහරණයක් දෙන්න මට ඉඩ දෙන්න. “ගායනාවේ දී M. S. [ප්‍රනාන්දු] නටනවා. නටනවාත් නොවෙයි. ඔහු විශ්වයේ සරල සුන්දර රිද්මයක් අහුවෙලා එහි නැළවී සිටිනවා යැයි සිතෙනවා. ඔහු නිදහස් ව අත් පා නගන්නේ තමන්ගේම අදෘශ්‍යමාන කහ ඉරක් ඇතුළේ තැන්පත්ව රඟන්නෙකු හා සමානවයි. ඉවසිලිවන්ත තලතුනා ගැමියෙකු හා සමානයි. තම පද පෙළ ඔහුම ලියාගත්තා. ඒවා ෆස්ට් හෑන්ඩ්. ඒ රස මිහිර ඔස්තාද්ලා සිහිනෙන් වත් විඳගන්න නැතිව ඇති.”
  4. මේක සරසවි ප්‍රකාශනයක්. කවරයේ තියෙන්නේ දෙවන මුද්‍රණය කියලා. ග්‍රන්ථ නාම පිටුවේ පිටිපස්සේ තියෙන්නේ තෙවන මුද්‍රණය 2020 කියල. මිල රුපියල් 600/- යි.

පසු සටහන: පොත කියවල ඉවර කරලා ක්ලැරන්ස්ගේ පැරණි වීඩියෝ හොයන අතරේ, 1993 අවුරුද්දේ ඉතාලියේදී ක්ලැරන්ස් සහභාගී වුණු ඒක පුද්ගල ප්‍රසංගයක් අතරතුර ලාංකිකයෝ පිරිසක් බීමතින් යකා නටන වීඩියෝ එකක් දැක්කා. ක්ලැරන්ස්ගේ ගායනයට බාධා කරමින් උන් කෑගහනවා, උන්ට නටන්න සින්දු ඕනේ කියල. ක්ලැරන්ස් බැරිම තැන පිටිපස්සට හැරිලා සංගීත කණ්ඩායමෙන් අහනවා ‘මුන්ට බණින්නද මං?’ කියල. මට ඒ වෙලාවේ හිතුණා, මේ වගේ සමාජ මාධ්‍ය යුගයක ඕක වුණා නම්, විදේශගත ශ්‍රී ලාංකිකයෝ (සහ තමන් වෙනස් කියල පෙන්නන්න දඟලන උන්) කී දෙනෙක් බේබද්දන්ගේ හැසිරීම සාධාරණය කරලා ක්ලැරන්ස්ට බණීවිද කියල.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...