මැදමුලනේ 56ක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස්තියාදු කරවයි : පොලිසිය තොරතුරු හරියට දීලා නෑ !

Share post:

2022 මැයි 09දා වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඇතුළු ස්ථාන කිහිපයකට අලාබ හානි කළ බවට චෝදනා කරමින් සාධාරණ විමර්ශනයකින් තොරව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් 56 දෙනකුට ආසන්න පිරිසකට අද (24) රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස වීරකැටිය පොලිසිය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සිතාසියක් මගින් දැනුම් දී තිබිණි.

එම දැනුම්දීමට අනුව වීරකැටියේ සිට බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඔවුහු පැමිණ තිබිණි. එහෙත් අද දින පරීක්ෂණයට ගතහැකි වන්නේ 15 දෙනෙකු පමණක් බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දුන්නේ යැයි මැදමුලන – කුඩා බිබුල විහාරස්ථානයේ විහාරාධිපති සහ  සොබාදහම් පාසලේ වෑකඳවල රාහුල හිමියෝ පැවසූහ.

ඒ අනුව වීරකැටියේ සිට පැමිණි 40 දෙනෙකුට පමණ ආපසු ගොස් වෙනත් දිනයක පැමිණීමට සිදුවන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් එම පිරිස දැඩි විරෝධය පළකිරීමත් සමග, සියල්ලන්ගේ ඡායාරූප පමණක් ගැනීමට දෙපාර්තමේන්තු නිලධාරීන් එකඟ වී තිබේ.

මෙම ගැටලුවට හේතු වී ඇත්තේ වීරකැටිය පොලිසිය මගින් මෙම පිරිස සම්බන්ධ තොරතුරු නිවැරදිව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබානොදීමයි.

මෙම ගැටලුව පිළිබඳව වකමුල්ලේ උදිත හිමියන් සහ වෑකඳවල රාහුල හිමියන් රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු, පැමිණි සියලුදෙනාගේ ඡායාරූප පමණක් ලබාගැනීමට එකඟ වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා පිරිසට පවසා ඇත්තේ තමන්ට මේ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැති බවත්, එය දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය බවත් ය. මේ සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න සම්බන්ධ වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ ඇතැම් දිනවලදී පොලිස් ස්ථාන රැසකින් පිරිස් පැමිණෙන නිසා තදබදයක් ඇති නොවීම සඳහා පෙර තොරතුරු ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි. එසේ තොරතුරු ලබාදීමෙන් පසු තදබදයක් ඇති නොවන පරිදි අදාළ කටයුතු කළමනාකරණය කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ පිරිස් යනුවෙන් චෝදනා එල්ල කරමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූලික සාධාරණ විමර්ශනයකින් තොරව බවට ද චෝදනා එල්ල වේ.  

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...