මැදමුලනේ 56ක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස්තියාදු කරවයි : පොලිසිය තොරතුරු හරියට දීලා නෑ !

Share post:

2022 මැයි 09දා වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඇතුළු ස්ථාන කිහිපයකට අලාබ හානි කළ බවට චෝදනා කරමින් සාධාරණ විමර්ශනයකින් තොරව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් 56 දෙනකුට ආසන්න පිරිසකට අද (24) රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස වීරකැටිය පොලිසිය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සිතාසියක් මගින් දැනුම් දී තිබිණි.

එම දැනුම්දීමට අනුව වීරකැටියේ සිට බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඔවුහු පැමිණ තිබිණි. එහෙත් අද දින පරීක්ෂණයට ගතහැකි වන්නේ 15 දෙනෙකු පමණක් බව රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දුන්නේ යැයි මැදමුලන – කුඩා බිබුල විහාරස්ථානයේ විහාරාධිපති සහ  සොබාදහම් පාසලේ වෑකඳවල රාහුල හිමියෝ පැවසූහ.

ඒ අනුව වීරකැටියේ සිට පැමිණි 40 දෙනෙකුට පමණ ආපසු ගොස් වෙනත් දිනයක පැමිණීමට සිදුවන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් එම පිරිස දැඩි විරෝධය පළකිරීමත් සමග, සියල්ලන්ගේ ඡායාරූප පමණක් ගැනීමට දෙපාර්තමේන්තු නිලධාරීන් එකඟ වී තිබේ.

මෙම ගැටලුවට හේතු වී ඇත්තේ වීරකැටිය පොලිසිය මගින් මෙම පිරිස සම්බන්ධ තොරතුරු නිවැරදිව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබානොදීමයි.

මෙම ගැටලුව පිළිබඳව වකමුල්ලේ උදිත හිමියන් සහ වෑකඳවල රාහුල හිමියන් රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු, පැමිණි සියලුදෙනාගේ ඡායාරූප පමණක් ලබාගැනීමට එකඟ වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා පිරිසට පවසා ඇත්තේ තමන්ට මේ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැති බවත්, එය දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය බවත් ය. මේ සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න සම්බන්ධ වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ ඇතැම් දිනවලදී පොලිස් ස්ථාන රැසකින් පිරිස් පැමිණෙන නිසා තදබදයක් ඇති නොවීම සඳහා පෙර තොරතුරු ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි. එසේ තොරතුරු ලබාදීමෙන් පසු තදබදයක් ඇති නොවන පරිදි අදාළ කටයුතු කළමනාකරණය කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ පිරිස් යනුවෙන් චෝදනා එල්ල කරමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූලික සාධාරණ විමර්ශනයකින් තොරව බවට ද චෝදනා එල්ල වේ.  

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...