මැරුණත්, නොමැරුණු,. ගොගොල් හා ගොගොල්ගේ “මළ මිනිස්සු”

Share post:

ලෝක සාහිත්‍යයේ අපූරු කතා කාරයා මෙන්ම රුසියන් යථාර්ථවාදී නවකතාවේ පියා ලෙස සැළකෙන නිකොලායි ගොගොල් ගේ “මළ මිනිස්සු” සාහිත්‍යය ලෝකයේ ජීවත් වන්නට පටන් ගෙන අද වෙන විට වසරක 181පමණ ගතවී තිබේ.
වසර හතළිස් තුනක් වැනි කෙටි කාලයක දිවි සැරිය නිමා කොට සැබෑ ලෝකයෙන් නික්ම ගොස් සාහිත්‍ය ලෝකයේ සදාකාලික තාරුණ්‍යයයෙන් ජීවත් වන්නට පටන් ගත් නිකොලායි ගොගොල් ,මළ මිනිස්සු සමග සාහිත්‍යය ලෝකයත් යථාර්ථවාදී ලෝකයත් සම්බන්ධ කරමින් වස වසර සිය ගණනක් තිස්සේ තවමත් ලෝක සම්භාවනාවට පාත්‍ර වෙමින් සිටී නිකොලායි ගොගොල් මාහා හාස්‍ය කතා කරුවෙක් සඳස උපහාසය තුළින් සමාජයේ පවතින දුර්ගුණයන් ඉතා නිර්දය විවේචනයට ලක් කළ, එම දුර්ගුණයන් නිසා සමාජය ඔද්දල් වන ආකාරය හා විනාශ වන ආකාරය පිළිබඳ නිරන්තරයෙන් සිය නිර්මාණ හා කතා බහට ලක් කළ නිර්මාණ කරුවෙක්.ඔහුගේ රහස් කොමසාරිස් නමින් ලියැවුණු නාට්‍යය ඔහුගේ මෙම විශේෂ ගුණාංග ය සාහිත්‍ය ලෝකය තුළ වඩාත් ම ප්‍රකට ව ඉස්මතු වූ තැන ලෙසට අද ද සැළකුම් ලබයි.

ගොගොල් ගේ මළ මිනිස්සු නවකතාව ලෝක සාහිත්‍යය තුළ අමරණීය කෘතියක් බවට පත් වුවද එය නිමා නිමා නොකල පොතක් ලෙස ද සැලකේ. ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී ,අද ද අලුත් ම කෘතියක් ලෙස ලෝකයේ කතාබහට ලක් වන මෙම පොත අසම්පූර්ණ නවකතාවකි. විචාරකයන් පවසන්නේ මෙහි දෙවැනි කොටසක් ඔහු ලියූ බවත් එනමුත් ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේදී ඔහු පත්වන මානසික අවපීඩනය හමුවේ පුළුස්සා දැමූ තම අත් පිටපත් සමග මේ දෙවැනි කොටසේ අත් පිටපත ද පුලුස්සා දමන්නට ඇති බවත්ය.

ගොගොල් ගේ මෙම කතාව අවසන් නොවුන ද මෙම ටිකෙන් වුව ද ඔහු කතා කරනු ලබන දෙය ඉතා ප්‍රබල වන අතර බැහැර කළ නොහැකි සමාජ යථාර්ථ වාදය “මළ මිනිස්සු” පුරාම තැවරී ඇත.දෙතුන් වතාවක් ඉරා දමමින් පුළුස්සා දමමින් නැවත නැවත ලියන්නට යෙදුණු යෙදුනු මෙම නව කතාව මහා සම්ප්‍රදායට අයත් සම්භාව්‍ය නවකතාවක් ලෙස ද ප්‍රකට ය .
ඔහුගේ අනික් නිර්මාණ මෙන්ම මෙය ද හාස්‍යෝත්පාදනය මුල්කරගෙන ලියවුණු කතාවක් වන අතර ඔහුගේ සියලුම කෘතීන් තුළ මෙන් ම මෙහි දී ද පාදඩ පාලක, පාලිත සමාජය උපහාසයට ලක් කරන්නේ ඉතා බැරෑරුමවය .

මිය ගිය දාසයන් මිලට ගනිමින් අපූරු තාලයේ “මහත්මා හොරෙකු “වන “චිචිකෝව්‍” නම් වූ මහ අමුතු මිනිසා සමග ගොගොල් මළ මිනිසුන් සමග මුළු රුසියාව පුරාම සංචාරය කරනු ලබන්නේ පාඨක මනස ඒ තුළ කදිමට රඳවා තබා ගනිමිනි.
මළ මිනිස්සු නව කතාවේ වීරයා වන චිචිකෝව් වැදගත් හොරෙක්. සමාජයේ ඉහළ නැඟීම සඳහා ඕනෑම ආකාරයේ පහත් වැඩක් වුව ද කළ උන්නති කාමී ඒ මිනිසා හරහා අපූරු කතාවක් මවනා ගොගොල් ඉහළ නැගීමට හොරකම් කරනා මිනිසුන් සෑම සමාජ කාලයක ම සමාජයන් තුල පැලපදියම් ව සිටි බව අපට මතක් කර දෙයි .

මළ මිනිස්සු නව කතාව ලෝකය තුළ වඩාත් ප්‍රචලිත වීමට ඔහු මේල් කථානායකවරයාට ලබා දෙන අමුතු ම ජීවය හා අවධානය ද බොහෝ හේතු වන්නට ඇති බව ද සැලකේ. ඔහුගේ මෙම අන්ඩපාල නොම්බර
එකේ ලෝක හොරා සමග මවන අපූරු කතාව සදාකාලික තාරුණ්‍යයුතුව ලෝකය තුළ පවතී යැයි ගොගොල් පවා නොසිතන්නට ඇත.

ගොගොල් මෙම මළ මිනිස්සු නව කතාව ඔස්සේ කෙතරම් සූර ලෙසින් හා හාස්‍ය ජනක ලෙසින් සි සිය ලේඛනය හසුරුවා ඇත්ද යන්න මෙය කියවා බලා රස විඳ ම අවබෝධ කරගත යුත්තක් වන අතර එය එතරම් ම උසස් මෙම මෙන් ම රසවත් කෘතියකි. මුළු රුසියාව පුරා ම පාඨකයා ඉතා ආසාවෙන් කිසිදු වෙසක් නැතුව කැඳවාගෙන යන ගොගොල් තත් කාලීන රුසියානු සමාජය හාස්‍යයෙන් කුඩු පට්ටම් කර දමන්නේ අපූරුවට ය.

රුසියානු මහා ලේඛක පුෂ්කින් ගේ අදහසකට අනුව ඔහු ලබා දෙන වස්තු බීජයක් මත පෝෂණය වූ මෙම විශිෂ්ට නවකතාව ලෝක සම්භාවනාවට පාත්‍ර වන්නට හේතු වූයේ ම ගොගොල් ගේ මෙම හාස්‍යයෙන් පිරි කතා කලාව නිසා වන්නටම ඇත.
සාහිත්‍ය කලාවට මනා ලැදියාවක් කා කැමැත්තක් දැක් වූ පියෙකුට හා හා අධික ආගම් භක්තියකින් යුක්ත වූ මවකට දාව උපන් ගූගල් එම දෙදෙනාගේම චරිතයන් හි මිශ්‍රණයක් ලෙස සැළකේ. ඔහුගේ නිර්මාණ කුසලතාවයට ද සිය ජීවිතයේ අවසන් කාලයේ දක්වන අධික ආගම් උමතුව ද මෙම සිය පවුල් පරිසරය නිසා ඔහුට ලැබූනක් ලෙස විචාරක අදහසයි.

පාසල් කාලයේ කුඩා දරුවෙකු වූ ඔහු මිට්ටෙක් ලෙස පාසල තුළදී අවමානට ලක් වුවද එහිදී ඔහු සිතා ගෙන ඇත්තේ මම කවදා හෝ ලොකු මිනිසකු වෙන බවයි .එය සනාථ කරමින් ඔහු සදාකාලිකවම ලෝකය තුළ ලොකු මිනිසෙක් බවට පත් විය. එය අපට ද නොයෙක් අඩන්තේට්ටම් වලට හා නොසලකා හැරීම් වලට භාජනය වන අප ගේ නිර්මාණශීලී දරු පරපුරට ද මහත් ආදර්ශයක් ය.

රුසියානු මුල්ම සම්භාව්‍ය ලේඛන කලාවේ මුල් ම පරපුරට අයත් වන මේ මහා ලේඛකයා ගේ නිර්මාණ කෞශල්‍යය, පසු කාලීනව බිහි වූ රුසියානු මහා ලේඛකයන් වන තෝල්ස්තෝයි හා දොස්තොව්ස්කි වැන්නන් පවා ගුරු තන්හි තබා කටයුතු කළ බව ප්‍රකට කාරණාවකි.

“අප සැම දෙනාම එළියට ආවේ ගූගල් ගේ හිම කබාය තුළිනි”!!! යන අමරණීය ප්‍රකාශය දොස්තොවුස්කි විසින් සිදු කරනු ලැබුවේ එනිසා ය (ගොගොල්ගේ හිම කබාය කෙටිකතාව ද මළ මිනිස්සු තරම් ප්‍රකට ය )
ඉතා කටුක එහෙත් හාස්‍ය පිරි විලාසයෙන් සමාජය විවේචනය කරමින් මළ මිනිසුන් විකුණමින් සමාජ දේහයේ තිබෙන සියලුම කුණු පැල්ලම් හා මැක්කන් ඇඟේ ගා ගනිමින් නිලධාරීන් ,වෙළෙන්දන්, මසුරන් ආදී එකී නොකී මහා මිනිස් සම්භාරයක් සමඟ ඇදෙන මෙම මහා නව කතාව අවසන් නොකල මුත් සාහිත්‍ය ලෝකය තුළ ශ්‍රේෂ්ඨ නව කථාවක් වන්නේ එය අද දක්වා ම කිසිදු පාඨක පාඨක හිඟයකින් තොරව පාඨක ලෝකය තුළ අතින් අත යන නිසා ය .

ජිවිතේ අවසාන කාලයේදී අධික ආගම් භක්තියකින් හා දේවගැතිවරයෙකු ට හසුව ඔහුගේ බසට නතු වීමෙන් හා ඇති වූ මානසික සංකූලතාවයන් නිසා තමා විසින් ම සිදු කරනු ලැබූ විශාල නිර්මාණ ප්‍රමාණයක් සියතින් ම ගිනි තබා විනාශ කළ මෙම මහා ලේඛකයා එම මානසික සංකූලතාවය තුළින් ම ඉතා අඩු වයසින් යථා ලෝකයෙන් නික්ම නොගියා නම් ඔහු අතින් තවත් කෙතරම් නම් අති විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයන් ප්‍රමාණයක් බිහි වන්නට තිබුණේ ද .

මරණ මංචකයේදී ඔහු හඬගා ඉල්ලා ඇත්තේ “මට ඉණිමඟක් දෙන්න” ,”මට ඉණිමගක් දෙන්න” ලෙසයි
එහෙත් ඔහුට ඉණිමඟක් දිය හැකි අයෙකු එහි නොසිටි අතර ඔහු සාහිත්‍ය ලෝකයේ පසුකාලීන නිර්මාණ කරුවන්ට හා පාඨකයන් ට නම් අනර්ඝ වූ ශක්තිමත් ඉනිමගක් නම් සාදා දුන්නේය.

මේ තරම් වැල් වටාරම් හා කතා මෙම පොත ගැන කීමට අපට හැකියාව ලැබුණේ අද වන විට සාහිත්‍ය ලෝකයේ තුත්තිරි ගස් පරිවර්තකයන් ද මහ විරුවන් ලෙස විරාජමාන වන සමාජ පරිසරය ක ඊට පෙර මෙරට තුළ මහා සාහිත්‍යයක් නිර්මාණය කිරීමට උර දුන් අව්‍යාජ,සරල නිහතමානී ලේඛකයා වන සිරිල් සී පෙරේරා මැතිදුන් ට පින් සිදුවන්නටය.
ඔහු ශ්‍රී ලාංකික පරිවර්තන සාහිත්‍යයේ මහා වනස්පතිය විය. ඔහු ගෙන් සෙවණ ලද ඔහු ගෙන් පෝෂණය වී මහා රුක්ෂ බවට පත් වූ ලේඛකයෝ කොතෙක්ක් ද?.

ගොගොල් ගේ මළ මිනිස්සු එළිදක්වා වසර 181 යටත් වන විට එය අප සිංහලෙන් කියවන්නට ද වී වසර 60කට අධිකයි .
ගොගොල් මෙන්ම අප හදවත්හි සිරිල් සී. පෙරේරාද එකසේ බුහුමනට ළක් කරමින් මේ මහා පොත හරහා අපූරු රුසියන් හා පොදු සමාජ තලයක ඇවිද ගිය මෙන් ම තවමත් යන මහ ජන ගඟට එක් නොවුණු පිරිස් නම් ඇත්තේ ඉතා අතලොස්සක් පමණක් වන්නට ඇති මුත් මෙය නොදන්නා අයෙක්නම් සාහිත ලෝකයේ නොමැති තරම් වනු ඇත.

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

2023/05/23

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...