රිචඩ් බාක් විසින් රචනා කරන ලද Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය ලිහිණියකුගේ ප්‍රයාමය යි. රාණි සේනාරත්න පරිවර්තනය කළ මෙම කෘතිය පාඨකයාට විශිෂ්ට කියවීම් අත්දැකීමක් ලබාදෙන කෘතියකි.
මෙම කතාව ජොනතන් ලිවිංස්ටන් ලෙස නම් ලද මුහුදු ලිහිණියා වටා ගෙතී තිබේ. ඔහු සැම මොහොතකම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටිනා ලිහිණියෙකි.මේ ලෝකයට තමා පැමිණියේ කුමක් නිසා ද? ජීවත් වන කාලය තුළ තමා අත්පත් කරගත යුතු විජයග්‍රහණ මොනවද? එහි උපරිම සීමාවක් තිබේද? ඒ ජොනතන්ට මතුවන ප්‍රශ්නාවලියයි. මුහුදු ලිහිණින් තුළ පවතින අවශ්‍යතා ආහාර,ආරක්ෂාව,නින්ද මතු නොව ලිහිණියකුට තම ජීවිතයේ අත්පත් කරගත හැකි විශිෂ්ටතම පියාසැරිය අත්හදා බැලීම ඔහුගේ අරමුණයි. එය ලිහිණියකුගේ පියෑඹීම කුසගිනි නිවාගැනීම යැයි සිතන වැඩිහිටියන්ට අභියෝග කිරීමක් මෙන්ම ඔවුන්ගේ රැහේ සම්ප්‍රදායන් බිඳ දැමීමකි.
“ඒ උනත් අහසෙ පාවුණා කියලා බඩ පිරෙනවායැ. පියාඹන එකේ පරමාර්තෙ කෑම කන එකයි. “
“මුහුදු ලිහිණින් කවම කවදාවත් අන්ධකාරේ පියාඹන්නෙ නෑ”
රැහේ කිසිවෙක් නොකළ දෙයක් කිරීම හේතුවෙන් ඔහු තම වර්ගයාගේ උදහසට ලක්වේ. දීර්ඝ කාලයක් ලිහිණි සම්ප්‍රදායන් තුළ සිරවී සිටින ලිහිණින්ට ජොනතන්ගේ පියෑඹීමේ ආශාව උමතුවක් ලෙස පෙනෙන්නේත් එය රැහේ සම්මූතීන්වලට අනුකූල නොවන්නේ එබැවිනි. එහෙත් ලිහිණි ජොනතන් ස්වාධ්‍යයනයෙන් අත්හදාබැලීම් කරමින් වේගවත් පියාසැරිය ඉගෙන ගනියි.
“පැයට හැතැම්ම දෙසිය දාහතරක වේගයෙන් යන මුහුදු ලිහිණියෙක්! ඒනම් අති විශිෂ්ට ජයග්‍රහණයකි. ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්මකි. ඒ මොහොතේදී ලිහිණි ජොනතන් වෙනුවෙන් අලුත්ම යුගයක් ආරම්භ විය. “
ලිහිණි ජොනතන්ට රැහේ කිසිවෙක් තමා කියන දේ විශ්වාස නොකරන, ඇහුම්කන් නොදෙන බව දැනුනද එය තනිකමක් හුදකලාවක් බව සිතමින් ඔහු උකටලී නොවෙයි. එකී හුදකලා බව තුළම ඔහුට තමන්ව මුණ ගැසේ. අභියෝග එලෙසින්ම දැකීම, එයට මුහුණදීම හා ඉන් පලා නොයෑම,ආත්ම විශ්වාසය තුළින් ඉදිරියට ගමන් කිරීම ජොනතන්ගේ විජයග්‍රහණයේ මාවත වන්නේය.
කතාවේ දෙවන කොටසේ අපට හමුවන ජොනතන් තමන් වගේම වේගවත් පියාසැරියක යෙදෙන ලිහිණින් පිරිසක් සොයා ගනියි. ඔවුන් දමග කාලය හා අවකාශය ජයගනිමින් සිටිනු දක්නට ලැබේ. දිව්‍යලෝකය කුමක්දැයි ඔහු වටහා ගනී. ජීවිතයෙ පරිපූර්ණත්වය ඔහු සොයා ගනී. මෛත්‍රිය සහ ආදරය ලෝකය තුළ වගා කළයුතු බව ඔහු අවබෝධ කරගනී. පරිපූර්ණත්වය ළගාකරගත හැක්කේ මෛත්‍රීය ආදරය පෙරදැරි කරගනිමින් එකිනෙකා සමග තම ජීවන අත්දැකීම් බෙදාගනිමින් බව ඔහු අපට පසක් කරවයි.
“ඔයා පරිපූර්ණ වේගය ඇල්ලුව මොහොතෙදිම ඔයා දිව්‍යලෝකය අල්ලන්ට පටන් ගන්නවා. ඉතිං ඒ කියන්නෙ පැයට හැතැම්ම දාහකටත් දසලක්ෂයකටත් වේගයෙන් පියාඹීම නෙවෙයි. ආලෝකයේ වේගයෙන් පියාඹීමවත් නෙවෙයි.”
මේ ලෝකයේ සෑම කෙනෙක් තුළම පවතින අභ්‍යන්තර ශක්තිය අවදි කරගැනීමට හා ඒ තුළින් තම විජයග්‍රහණ ලබාගැනීම ලිහිණි ජොනතන් අපට කියාදෙයි
“සිතිවිල්ලක් විතර ඉක්මනින් පියාඹන්න ඕනෑනං ඒකියන්නෙ කොහාට වුණත් පියාඹන්න ඕනේනං ඔයා පටන්ගන්න ඕනෑ දැනටමත් ඔයා ඉන්නෙ එතනට ගිහිල්ලයි කියල හිතලා”
තෙවන කොටසේ අපට හමුවන ලිහිණි ජොනතන් කාලය අවකාශය ජයගනිමින් තම පරිපූර්ණත්වය ළඟා කරගෙන අරමුණු සඵල කරගත් විශිෂ්ටයෙකි. ඔහු තවත් එවැනිම : සම්මුතින්වලට අභියෝග කළ වරදට රැහෙන් පිටමං කරන ලද එහෙත් විශිෂ්ටත්වය ළඟා කරගත යුතු යැයි ලලාසාවෙන් පෙළෙන ලිහිණින්ට මග පෙන්වන මාර්ගෝපදේශකයෙක් බවට පත්ව සිටියි.
“ඔයාගේ ඇහැට පේන දේ විශ්වාස කරන්න එපා. ඒ සේරම පෙන්වන්නේ සීමාවන් විතරයි. ඔයාගේ අවබෝධය ඇසුරින් බලන්න. ඔයා දැනටමත් දන්න දේ හොයාගන්න. එතකොට පියාඹන ආකාරය ඔයාට පෙනෙයි. “
ඔබ තුළ නිදා සිටින ලිහිණි ජොනතන් අවදි කරන්න.
විජයග්‍රහණ ලබන්න. පරිපූර්ණත්වය ලබාගන්න.
ඔබේ දැනුමෙන් තවත් අය පෝෂණය කරන්න.
ආදරයේ මෛත්‍රියේ පණිවිඩය අවකාශයට මුදාහරින්න.
ආලෝකවත් කෙනෙක් වන්න