සුවහසක් රසිකයින් ගීතයෙන් සැනසූ ක්‍රිස්ටෝපර් පෝල් ගායන ශිල්පියා ගී ලොවින් සමුගනී….

Share post:

ඔහුගේ ගායන දිවිය පිළිබඳව සටහනක් !

හෙළ ගී කෙතට කලාකරුවන් රැසක් බිහිකල මොරටු පුරවරයේ , මොරටුවැල්ල ග්‍රාමයේ එස්. ඒ.පෝල් සහ මේරි වයලට් එලිසබෙත් අමරසේකර යුවලට දාව පවුලේ වැඩිමල් දරුවා ලෙස , ආදීහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එම්මානුවෙල් පෝල් උපත ලබන්නේ, 1936 වසරේ අප්‍රියෙල් මස 10 වෙනි දිනයි. උපතින්ම කතෝලිකයෙකු වූ ඔහු පාසැල් අධ්‍යාපනය ලබනුයේ මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහලෙනි. පාසැල් අවදියේ සිටම සංගීත විෂයට ප්‍රිය කල ඔහු පසු කලෙක සුනිල් ශාන්තයන් යටතේ සංගීතය හැදෑරීය.

ගුවන් විදුලිය තුලින් තමන් ගේ ගීතයක් ප්‍රචාරය කරගැනීමේ ආශාවෙන් පෙළුණු ඔහු , තම නැගණිය වූ බර්ණදෙත් පෝල් හා එක්ව සරත් විමලවීරයන් ලියූ, මොරටුවේ වර්නන් පෙරේරා සංගීතවත් කල,

” පීනා විලේ මැද ඕළු මලේ
සේයාව ඇඳුණු දියවැලේ”

ගීතය ගායනා කරන ලදී. ඒ ඔහුගේ මුල්ම ගීතයයි.
සංගීතයට මෙන්ම අධ්‍යාපනයටද එකසේ සමත්කම් දැක්වූ ඔහු, මෝටර් රථ කාර්මික ඉංජිනේරුවකු ලෙස සමත්ව, තමාගේ හැකියාව මත ප්‍රථම රැකියාව ලෙස මීගමුව නගරයේ මෝටර් රථ අළුත් වැඩියා කිරීමේ සේවා ස්ථානයක් ආරම්භ කරන ලදී. ඒ අතර තුර ගුවන් විදුලියේ සරළ ගී පරීක්ෂණයට ඉදිරිපත්ව “A” ශ්‍රේණියේ ගායන ශිල්පියෙකු ලෙසින් ද සමත්විය.
දේශපාලනයට අවතීර්ණ වූ ඔහු , ජේ.ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස මහත්වරුන් නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රවාහන කළාමනාකරු ලෙසත් , සෙවන ලොතරැයියේ භාරකරු හා ගම් උදාව සම්බන්ධීකරන නිළධාරී ලෙසත් රැකියාවන්හී නිරත විය.

ඔහුගේ ජනප්‍රිය වූ ප්‍රථම ගීතය වූයේ ,

” බෙල්ලෝ මුතු බෙල්ලෝ ” ගීතයයි. බැසිල් එම්. සිල්වා රචනා කල එම ගීතය සංගීතවත් කලේ , මොරටුවේ වර්ණන් පෙරේරා විසිනි.

එකල බොහෝ ගීත නිර්මාණය වූයේ හිංදි හෝ දමිළ අනුකරනයන් ලෙසටයි. අපේ කතා නායකයා බොහෝවිට ශ්‍රවණය කිරීමට ප්‍රියකලේ බටහිර ගීත බැවින් , ඔහු ප්‍රියකල බටහිර ගී තනු අනුව සිංහල වචන යොදා ගනිමින් ගීත නිර්මාණය කිරීමට උත්සාහ ගත් අතර , එම ගීත බොහෝ සෙයින් ජනප්‍රිය විය .

මෙම අනුකාරක ගීත බොහෝ විට ප්‍රති නිර්මාණය කලේ පැට්රික් දෙනිපිටිය සංගීතවේදීයායී. එහිදී ඔහු එම ගීතයන්හි තනුව පමණක් ගෙන අපට හුරු පුරුදු ලෙස සංගීත නාදයන් එක් කර ලීමට විශේෂ වෙහෙසක් ගෙන ඇත.
එම ගී අතර.

” පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා
මල් මාල ගොතා පලදන්න ගෙලේ දාලා
ගේ ගාව දොලේ මල් පිපුණු කැලේ
එනකල් සිටියා ඔබ කොහෙද ගියේ දාලා “
(බැසිල් එම්.සිල්වා/ පැට්‍රික් දෙනිපිටිය)

” හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ හඬනගා
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩවෙලා”
(ගුණරත්න අබේසේකර/ පී.එල්.ඒ සෝමපාල)

“ඇල දොල ගංගා යාවි ගලා
දියරැළි නංවා මුද සොයා
රන්වන් සමනළු රන්තටු සලලා
යයි පියඹාලා මල් සොයලා”
(කේ.එන්. කැමිලස් පෙරේරා/ පැට්‍රික් දෙනිපිටිය)

“රුවන් තොරන් තනා රන් තැබිලි පොකුරු ගසා
පුන්කලස් දෙපස තබා තිබේ
මඟ සරසාලා”
(බණ්ඩාර කේ.විජේතුංග/ෂෙල්ටන් ප්‍රේමරත්න)

“රෝස මලක් දුටුවාම
සිහිවෙන්නේ ඔබව සුදා
කොහෙදෝ කියා ඔබ ඉන්නේ
නෑනේ මෙමා දන්නේ දැන්”
(බැසිල් එම්.සිල්වා/ පැට්‍රික් දෙනිපිටිය)

“මේ කටුරොද ගම්මානේ
රන් තරුව ඔබයි මැණිකා
රන් සමණලයෙකු වාගේ මම ඔබව සොයා එනවා”
(බැසිල් එම්.සිල්වා/ පැට්‍රික් දෙනිපිටිය)

“වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා
ඉනවටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳල”
(බණ්ඩාර කේ.විජේතුංග/පැට්‍රික් දෙනිපිටිය)

” මැණිකා මැණිකා මැණීකා”
(බණ්ඩාර කේ . විජේතුංග/පැට්‍රික් දෙනිපිටිය)

“හැමදාම මේ කැලෑවේ”
(බැසිල් එම්.සිල්වා/ පැට්‍රික් දෙනිපිටිය)

“මුස්තපා මම මුස්තාපා”
(බණ්ඩාර කේ .විජේතුංග/පැට්‍රික් දෙනිපිටිය)

“මංගල්ලේ ලංවුනා”
(බණ්ඩාර කේ.විජේතුංග/ පැට්‍රික් දෙනිපිටිය)

සරළ ගී ගායන ශිල්පියෙකු ලෙස ගැයු පහත සඳහන් ගීතද ජනප්‍රිය විය.

“රන් කිරුලේ රන් පාටට”
(හඩ්සන් සමරසිංහ/ වික්ටර් රත්නායක )

“සුවිසල් මැදුරක “
(කේ ඩී කේ.ධර්මවර්දන/ වික්ටර් රත්නායක)

“විස්වාසය නිදන් කෙරුව “
(කේ.ඩී.කේ.ධර්මවර්දන/ වික්ටර් රත්නායක)

“දිදුලන රන්තරු”
(බණ්ඩාර කේ.විජේතුංග/සුනිල් ශාන්ත)

“ඔබගෙ සුන්දර කඳුලැල්ලේ”
(ඩෝල්ටන් අල්විස්/වික්ටර් රත්නායක)

“උදේ ගෙදර හරිම යුද්ධයක්”
(සිරිල් ඒ. සීලවිමල/මහින්ද බණ්ඩාර)

“මා ගැන කවුරුත්”
(පද්ම කුමාර මෙත්තසේන/මහින්ද බණ්ඩාර)

“ඉස්සර මගෙ තරුණ කාලේ”
(ක්‍රිස්ටෝපර් පෝල්/නිමල් ඩයස්)

“නිල්මිණි නෙත් යුග කුමටද රන්කඳ”
(සිරිල් ඒ.සීලවිමල/ලාල් හීනටිගල)

“කිරි කවඩිය කොමළ සිනාවයි”
(සිරිල් ඒ සීලවිමල/ මහින්ද බණ්ඩාර)

“ඔබ මගෙයි මා ඔබෙයි කියාලා”
යුග: අයිරින් සිල්වා
(සිරිල් ඒ.සීලවිමල/ ලාල් හීනටිගල)

“ඉස්සර කාලේ”
(ආනන්ද පද්මසිරි/ එච්.එම්.ජයවර්ධන)

“තරුණ කමට”
(ක්‍රිස්ටෝපර් පෝල්/සමන්ත පෙරේරා)

“ඔය මුහුණේ නිල්”
(බණ්ඩාර කේ.විජේතුංග/නිමල් ඩයස්)
ගීත මෙන්ම,

” ඉල්ලීමක් ඔබේ ඉටු කර ලන්නයි”
“ලස්සන සුදුමල්”
“ආවා ආවා කොහෙද කියා”
“දැල් ඇදලා වෙහෙස වෙලා”
“පෙම් රණහංසි”
“උකුලට ගෙන හිරවුන කලේ”
“වනමල් පෙති සොලවා”
“මගේ ජීවිතේ මතුවේවි වේදනා”

ඇතුළු ගීත විශාල ප්‍රමාණයක් ඔහු විසින් ගායනා කර ඇත . ඔහු ගැයු ගීත කිහිපයක්ම ඔහු විසින්ම රචනා කරගෙන ද ඇත .වෙළද දැන්වීම් කිහිපයක් සඳහාම හඬ දායකත්වය දැක්වූ ඔහු, 1967 වසරේදී, ඉංග්‍රීසි ගුරුවරියක් වූ ලිලානි ගුණසේකර මහත්මිය සමඟින් විවාහ දිවියට ඇතුලත් විය. ඔවුනට එක් පුතණුවක සහ දියණියන් දෙදෙනෙකි.මෙයට කලකට පෙරදී ක්‍රිස්ටෝපර් පෝල් ගායන ශිල්පියාගෙ ප්‍රිය බිරිඳ රෝගාතුරව හිඳ මරු වසඟයට පත් විය.

2021 අගෝස්තු මස දිනයකදී ජාතික රූපවාහිනි යේ පැවති ” බයිලා සාදය” සංගීතමය වැඩ සටහනට සිය දියණිය වූ ශාමිලා පෝල් සමඟින් ඔහු සහභාගි විය . ගීත ගායනයට අපහසු තත්ත්වයේ පසුවෙන ඔහුගේ ගීත දියණිය වූ ශාමිලා විසින් ගායනා කරන ලදි.
(ජාතික රූපවාහිනී ආයතනය ඔහුට දැක්වූ ගෞරවය පැසසුම් කටයුතුය.)

අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පියාට මොක්සුව ප්‍රාර්ථනා කරමු.

සටහන: ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

2023 මැයි 18

ඡායාරූප අනුග්‍රහය – දයාන් විතාරණ(මයික් එක අතැතිව ඉන්න ඡායාරුපය)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...