දීර්ඝ කාලයක් තිස්සෙ අපට දකින්න ලැබුන දෙයක් තමයි ලේඛක ලේඛිකාවන් හා ප්‍රකාශක ආයතන අතර ඇතිවන ගැටුම්.. කර්තෘ භාගය නොගෙවීම , මුදල් ලබානොදීම , මුදල් ලබාගෙන පොත් මුද්‍රණය නොකිරීම එයින් කිහිපයක්.. ගොඩක් ලේඛක ලේඛිකාවන් තමන් ප්‍රකාශක ආයතනය සමඟ ඇති කරගත් ලිඛිත එකගතාවයන් මේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල පළ කරල තිබුනා. ඒ වගෙම හිතවත් ලේඛක ලේඛිකාවන් මට පෞද්ගලිකව ඔවුන් හා ප්‍රකාශක ආයතන අතර ඇතිකර ගත් එකඟතාවයන් එවල උපදෙස් පතපු අවස්ථාත් තියෙනවා..
නමුත් කණගාටුවට කරුණ නම් ඒ එකගතාවයන් එහෙමත් නැත්නම් ගිවිසුම් ඉතාමත් ප්‍රාථමික ඝණයේ ලේඛණ. අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී නීතීයේ පිහිට පතල බලාත්මක කල හැකි ලේඛණ නෙවෙයි ඒ එකක්වත්. ඇත්තටම ඒ ලේඛණ හුදු කඩදාසි පමණයි..
ඒ හින්දා මේ කියන්න යන්නෙ ඔබ ඇති කරගන්නා ලිඛිත එකගතාවයක් , ගිවිසුමක් කෙසේවිය යුතුද , එහි ඇතුළත් විය යුතු කරුණු මොනවාද , පිළිපැදිය යුතු උපචාර මොනවාද කියල කියන්න.. කරුණු වශයෙන් කියන්නම් ඔබට පහසු වේවි.
- ගිවිසුමට බැදෙන තැනැත්තන් අතරින් පළමු , දෙවන , තෙවන පාර්ශ්වයන් කවුද කියල නිශ්චිතව ඔවුන්ගේ නම් , ලිපින , හැදුනුම්පත් අංක සමඟ සඳහන් කල යුතුයි. ඕනෑතරම් පාර්ශ්වයන් ප්‍රමාණයක් ගිවිසුමකට ඇතුළත් කරගත හැකියි.
- ගිවිසුම අත්සන් කරන දිනය හා ගිවිසුමට එළඹුන දිනය හෝ ගිවිසුම බලාත්මක වන දිනය නිශ්චිතව සඳහන් කල යුතුයි. මොකද ගිවිසුමක් කඩවීමකදි නඩු පවරන්න නිශ්චිත කාලයක් තියෙනවා. ඒ හින්දා දිනය ඉතාමත් වැදගත්.
- පාර්ශ්වයන් එකඟ වන කොන්දේසි ඉතාමත් පැහැදිලිව අංකනය කර තියෙන්න ඕනි.
- ගිවිසුමේ කොන්දේසි හා නියමයන්වල කර්තෘ සතු අයිතිවාසිකම් හා ප්‍රකාශක සතු අයිතිවාසිකම් මොනවාද යන්න පැහැදිලිවම සදහන් කරන්න ඕනි.
- ගිවිසුම වලංගු වන්නේ කුමන කාල සීමාවක් සඳහා ද , එසේත් නැත්නම් මුද්‍රණවාර කීයක් සඳහාද යන්න නිශ්චිතව සඳහන් කල යුතුයි.
- යම් පාර්ශ්වයකට හෝ දෙපාර්ශවයට නියමිත කාලයට පෙර ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අනුගමනය කල ක්‍රියා පටිපාටිය , අනෙක් පාර්ශ්වය වෙත දැන්වීම් කල යුතු කාල සීමාව දැක්විය යුතුයි.
- යම් පාර්ශ්වයක් ගිවිසුම කඩකල විට ගතහැකි ක්‍රියාමාර්ග දක්වා තිබිය යුතුය.
ඒ වගේම පාර්ශ්වයන් අතර සංසරණය වූ මුදල් ප්‍රමාණයන් , චෙක්පත් , බැංකු ගිණුම් ඇත්නම් ඒවා අදාල දිනයන්ද සහිතව සඳහන් කල යුතුයි. - අවසානයේ පාර්ශ්වයන් ගිවිසුම අත්සන් කල බවට ප්‍රකාශයක් තිබිය යුතුයි. එහි දිනය හා ගිවිසුමට අත්සන් කල ස්ථානය සඳහන් වෙන්න ඕනි.
- ඒ වගෙම පාර්ශ්වයන් ගිවිසුම අත්සන් කරන්න ඕනි. එක් පාර්ශ්වයක් හෝ දෙකම ලියාපදිංචි සමාගමක් නම් එහි වලංගු ධූර දරන අධ්‍යක්ෂකවරයෙක් අත්සන් කරන්න ඕනි. ඒ වගේම සමාගමේ නිල මුද්‍රාව තබන්න ඕනි.
- ගිවිසුමක් පාර්ශ්වයන් පමණක් අත්සන් කලාට වලංගු වෙන්නෙ නෑ. එය වලංගු ගිවිසුමක් වෙන්න සාක්ෂිකරුවන් දෙදෙනෙකුවත් අත්සන් කරන්න ඕනි. සාක්ෂිකරුවන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුවත් යොදාගන්න පුළුවන්. ගිවිසුමේ ඉන්නෙ පාර්ශ්වයන් දෙකනම් සාක්ෂිකරුවන් දෙදෙනා දෙපාර්ශවය නියෝජනය වන පරිදි යොදාගැනීම තමයි ආරක්ෂාකාරී හා සාමාන්‍ය ක්‍රමය.
- මෙවැනි ගිවිසුමක් නීතිඥවරයෙක් , නොතාරිස්වරයෙක් ඉදිරියේ අත්සන් කිරීමේම අවශ්‍යතාවයක් නෑ. නමුත් නීතිඥවරයෙක් ඉදිරියේ අත්සන් කිරීම තුලින් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. මොකද ඔහු දෙපාර්ශවයේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කරාවි. ඒ වගෙම එම ගිවිසුමේ අගට නොතාරිස් සහතිකය නමින් සඳහන් කරුණු ඇතුළත් ප්‍රකාශයක් ඇතුළත් වෙනවා. ඒ ප්‍රකාශයේ ඔහු ඉදිරියේ මුදල් හුවමාරුවක් උනාද නැද්ද යන්න , පාර්ශ්වකරුවන් ඔහු ඉදිරියේ අත්සන් කල බව වැනි ඉතාමත් වැදගත් කරුණු ඇතුළත් කරනවා. අනික කරුණනම් නොතාරිස්වරයා මේ ගිවිසුම අත්සන් කර සහතික කරනවා.
- නොතාරිස්වරයෙක් ඉදිරියේ අත්සන් කරන ගිවිසුමක තවත් වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඒ තමයි නොතාරිස්වරයා ලියා සහතික කරන ගිවිසුමක් ඉඩම් ලියාපදිංචි කාර්‍යාලයේ ලියාපදිංචි කිරීමේ හැකියාවක් පවතිනවා. අවශ්‍ය නම් ලියාපදිංචි නොකර ඉන්නත් පුළුවන්.
- සමහරවිට යම් පාර්ශ්වයක් වඩාත් බලවත් වනවිට , ඒ පාර්ශ්වයට වාසිදායක , බැලූ බැල්මට අනෙක් පාර්ශ්වයට අසාධාරණයක් , අගතියක් වන කොන්දේසි ඇතුලත් කරන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න නම් ලේඛකයා හෝ ලේඛිකාවට මොළයක් විතරක් නෙවෙයි හොද කෂේරුකාවක් තියෙන්නෙ ඕනි. හැබැයි ඔබ එවැනි අසාධාරණ කොන්දේසි සහිත ගිවිසුමකට කුමන හෝ ආකාරයෙන් ඇතුලත් වී ඇත්නම් බය වෙන්න එපා. ඒ වගෙ ගිවිසුමකට අත්සන් කලත් ඔබය නීතිය ක්‍රියාත්මක කරවා ගන්න පුළුවන්. අපේ නීතියේ තියෙනවා අසාධාරණ ගිවිසුම් නියම පනත කියල එකක්. ඒ පනත ප්‍රකාරව අසාධාරණ ගිවිසුම් නියමයන්ට ඉඩක් නෑ. නීතිය ඔබේ පිහිටට ඉන්නවා.
චතුරංග අමරතුංග
2023/05/18