ශ්‍රී ලාංකේය බයිස්කෝෆ් සංස්කෘතියේ දැනට ශේෂව ඇති නටබුන් හා සිනමාවේ වර්තමානය හා අනාගතය කෙබඳුද ?

Share post:

මෙම සටහනට පාදක වන සිනමාශාලාව නම් මාතලේ සෙන්ට්‍රල් සිනමාශාලාව යි. එය දේශීය සිනමාවේ ආරම්භ යුගයේ දී ඉදිකරන ලද සිනමාශාලාවලාවක් බව කියෑවේ. එනම් ඒ 1954 දී ය.

එදා මෙදාතුර මෙම සෙන්ට්‍රල් සිනමාශාලාව මාතලේ හා ඒ අවට දිවිගෙවූ දෙස් / විදෙස් සිනමාට ප්‍රියකළ ප්‍රේක්ෂකයන්ගේ සිනමා මනදොළ සංසිඳවූ ප්‍රකට ස්ථානයක් වූ බව කියැවේ. එහි ස්වර්ණමය යුගය මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය වන අතර කඩාවැටීම මෙරට සිනමාවේ කඩාවැටීම සමගාමීව සිදුවූ බව පෙනේ. එදා මෙහි දිනපතා දර්ශන තුනක් පමණ 2005 වර්ෂය වන තෙක්ම පැවැත්වූ බව කියැවේ. ඉන් ඉක්බිතිව සිනමාශාලාවට නිසි ආදායමක් නො මැති වීමත් එම නිසාම සිනමාශාලාව නිසි පරිදි නඩත්තුව කර ගැනීමට නොහැකි වූ බවත් කියැවේ. එතැන් පටන් එහි කඩාවැටීම ක්‍රමිකව සිදුවන්නට විය.

දැන් මෙම සිනමාශාලාව බිමට සමතලා කිරීමටත් නොහැකි නිසා අවම වශයෙන් හෝ පවත්වාගෙන යෑමට එහි හිමිකරුට සිදුවී ඇති බව පෙනේ. එම හීමිකරු පෞද්ගලිකව මා නොදන්නා නොහදුන නමුදු ඔහු පිළිබඳව එක් කාරණාවක් නම් කිවහැකිය. එනම් ඔහු මෙම චිත්‍රපටය ශාලාවට ඉමහත් ආදරයක් දක්වන්නකු බවයි. වර්තමාන මෙම ඉඩම ඉහළ මූල්‍ය වටිනාකමකින් යුත්තය . එබැවින්ම මෙම චිත්‍රපට ශාලාව බීමට සමතලා කර ඔහුට මෙතැන කුමන හෝ ව්‍යාපාරික කටයුත්තක් සදහා යොදාගැනීමට ඉතා පහසුවෙන්ම පුලුවනි. එසේ නොකර ඔහු තවදුරටත් මෙම සිනමාශාලාව අපමණ අභියෝග මධ්‍යයේ පවත්වාගෙන යන්නේ ය. එය වෙසෙසින්ම අගය කළ යුතු කාරණාවක් බව පෙනේ. එහෙත් .. ඔහුට මේ ආකාරයෙන් තව කොපමණ දුරක් යා හැකිද යන්න සිතනු වටී.

මා පසුගිය දිනෙක කූඹියන්ගොඩ පාරෙන් මහනුවරට පෙරළා පැමිණෙන විට සෙන්ට්‍රල් සිනමාශාලාවේ “ඔබටයි ප්‍රියේ ආදරේ” – 1987 චිත්‍රපටය තිරගත වන බව දුටුවේ ය. මීට පෙර එහි තිරගත වී ඇත්තේ “නැලු ගිලුනත් බෑන් චූන්”- 1988 චිත්‍රපටය යි. මෙම චිත්‍රපට මෙලෙස මෙහි ප්‍රදර්ශනය කරන්නේ සිනමාශාලාව නඩත්තු කිරීමට බව පෙනේ. එහිලා Box අසුන් විශේෂයි. එම Box අසුන් මාතලේ හා ඒ අවට ප්‍රදේශවල සිට උපකාර පංතිවල සදහා එන දරු-දැරියන්ට හා පෙම්වතුන්ට විශේෂ බව කියැවේ.

මට කාර්යෙන් බැස මෙම චිත්‍රපට ශාලාව නරඹන්නට සිත් විය. එනමුත් භික්ෂුවකට එය එතරම්ම සුදුසු නැති නිසා මඳක් කාර් එක නතර කර බලා හිද නැවත ගමන් ඇරඹීය.

තවමත් මෙහි ප්‍රක්ෂේපණ යන්ත්‍රය ( Projector ) ක්‍රියාත්මක වන්නේ 35 මි.මී පටලපටල මාර්ගයෙනි. දැන් ලෝකයේ පටලපටල නිපදවන්නේ ද නැත.

මේ පිළිබඳව අපූරු සටහනක් දේශීය සිනමාව යන විද්‍යුත් පිටුව සංස්කරණය කරන මුස්ලිම් ජාතික අස්වාන් හනීෆා
( Azwin Hanifa ) මහතා මවෙත මෙසේ එවා තිබුණි.

“ස්වාමීන්වහන්සේ .. මමත් මාතලේ ගියවිට මෙම සිනමාශාලාවට පොඩි walk එකක් දානවා. ගියසැරේ මං සෙන්ට්‍රල් එක පැත්තේ ගියවිට එහි කළමණාකරු සහ ticket keeper ප්‍රවේශපත්‍ර කවුළුව සිටින පුද්ගලයා.(Ticket Keeper ) සමග පැයකට වැඩිය කාලයක් කතාකරන්න අවස්ථාව ලැබුණා. මොකද .. මගේ පියා මාතලේ කෙනෙක්.මගේ පියාගේ ව්‍යාපාර තිබුනේ මාතලේ ගොන්ගාවල පාර සහ කැකිරාව කෙලින් වීදිය 1970-1985 කාලේ.ඉතිං අපි පොඩි කාලේ පාසැල් නිවාඩුව ගතකරන්නේ මාතලේ සහ කැකිරාව නගරවල. ඉතිං සිනමාහල් අපට විශේෂයි නිතරම වගේ චිත්‍රපට නැරඹුවා මමත් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ කෙනෙක්. ඉතිං සෙන්ට්‍රල් සිනමාහලේ දෙදෙනා සමග පැයක් කතාකරන්න ලැබුණා. ඒ අය පැවසුවේ මහත්තයා ! මේ හෝල් එක වහන්න බැරි නිසා අපි ඇදගෙන යනවා අපට හුගාක් පරණ ෆිල්ම් තමයි ලැබෙන්නේ අලුත් ෆිල්ම් කොළබ නුවර කුරුණෑගල දුවලා මෙහෙ එනකොට මාස හයක් විතර පරණයි. ඉතිං සෙනඟ නැහැ .මෙහෙ බොක්ස් පහසුකම් තියෙන නිසා චුට්ටක් හරි ප්‍රේක්ෂකයන් ඉන්නවා ඒ අයත් අමතර පංති යන 20-21 වයස් කාණ්ඩයෙ ජෝඩු. උදේ 10:30 ට බොක්ස් ටික විකුණන ගන්න පුලුවන් . 1:30 ෂෝ එකටත් ජෝඩු හතරක් හෝ පහක් එනවා. ඉතිං මෙහෙම තමයි සෙන්ට්‍රල් හෝල් එක දුවන්නේ.”

පසුගිය දිනෙක විශේෂඥ වෛද්‍ය නිඕමාල් පෙරේරා මහතා හා එතුමාගේ බිරිඳ වන වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මිය මා සමගින් ඔවුන්ගේ කුළුදුල් චිත්‍රපටය වන දඩඉම ~ 2023 පිළිබඳවත් එහි සාර්ථකවය හා ආගිය තොරතුරු පිළිබඳවත් කතාබහ කරමින් සිටින අතරතුරදී නිශානි මහත්මිය ඉතා අපූරු කතාවක් කීවාය . ඒ කුමක්ද ?.
එනම් විශේෂඥ වෛද්‍ය නිඕමාල් ප්‍රනාන්දු මහතා සේවය කරන රෝහලේ හෙදියන් බොහෝ දෙනෙකු කියා ඇත්තේ “සර් සර්ගේ චිත්‍රපටය අපි මේ මාසේ අපේ වැටුප ලැබුණු විසින්ම නරඹන්නට බලාගෙන ඉන්නවා කියලා. “

මෙමගින් මෙරට සිනමා ක්ෂේත්‍රයේ ලැඟ සිටින ඇත්තන් අවබෝධ කරගත යුතු විශාල සමාජ යථාර්ථයක්.ඇත්තේ ය. එනම් ඒ මධ්‍යම පංතික ජනතාවට වර්තමානයේ සිනමාශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීම ආර්ථික වශයෙන් කොතරම් අභියෝගයක් වී ඇත්ද යන්නයි.
මෙකී කරුණු කාරණාවලට අනුව වර්තමානයේ දී අපට මෙරට හුදෙකලා සිනමාශාලාවල ශෝකාන්තයත් Complex Cinama හි නැගීමත් මැනවින් පෙනේ.

හැත්තෑහය වසරක ( 1947 – 2023 ) ශ්‍රීලාංකේය සිනමාව මේ ගෙවා දමන්නේ සංක්‍රමණික අවධියකැයි මට සිතේ. ඒ එදා මෙදාතුර මෙරට කම්කරු හා මධ්‍යම පංතිය සතුව පැවති මෙරට චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය ‍ක්‍රමානුකූලව ඉහළ මධ්‍යය පංතිය වෙත මාරුවීම යි. එය ඕනෑම අයකුට බැලූ බැල්මටම නොතේරෙන නමුදු යථාර්ථය එය වන්නේ ය. ඊට මෙරට ඉහළ මධ්‍යයම පංතිය සදහාම වෙන්වූ Complex Cinama උදාහරණයක් වශයෙන් පෙන්වාදීමට පුලුවනි.

මෙම ඉහළ මධ්‍යය පංතික මනෝභාවය වූ කලී අනුකරණවාදී හා ප්‍රදර්ශනවාදී එකක් වන්නේ ය. එහිලා ඔවුන්
යුරෝපීය ජීවන හා සමාජ රටාව තම ආර්ථික තත්වයට අනුව හැකි උපරිම ආකාරයෙන් තම ජීවිතවලට ගලපා ගැනීමට උත්සුක වන බව පෙනේ. එහිදී ඔවුන්ගේ ප්‍රධාන සිනමා ධාරාව වන්නේ හොලිවුඩ් සිනමාව යි ( Hollywood Cinama).එසේම විවිධ පුද්ගලය මනෝභාවයන්ට හා රුචිකත්වයන්ට අනුව ඔවුහු ඉන්දියානු සිනමාව ( Indian Cinama ) ද ඇසුරු කරන්නේ ය. මීට සමගාමීව ඔවුනට සිංහල සිනමාව කෙරෙහි ඇත්තේ ඉතා මඳ සැලකිල්ලකි. එයද තරමක් හෝ ඇත්තේ වැඩිහිටියන් අතර වුවද තරුණ තරුණියන් අතර නැත්තටම නැත්තේ ය .

Complex Cinama ව තුළ Box අසුන් කියා දෙයක් නොමැත. ඔවුන් එහි එන්නේ පූර්ණ සිනමා රසවින්දනය පිණිස මිස වෙනත් අරමුණු සදහා නොවේ. එහිලා තරුණ තරුණියන් ද එසේය . ඔවුනට අතේ මිටේ මිලමුදල් යහමින් තිබෙන උදවිය නිසා අනවශ්‍ය කාරණාවල ඔවුන් සිනමාශාලා යොදා නොගන්නේ ය.

සැබවින්ම මෙය සමාජ පංතිය පිළිබඳව ප්‍රශ්නයකි. ඊටත් ඔවුන් යුරෝපය ප්‍රේක්ෂකාගාරය අනුගමනය කිරීමට
බොහෝ සෙයින් උත්සුක වීම යටකී කාරණාවට වෙසෙසින්ම බලපාන බව මට සිතේ.මීට කදිම උදාහරණයක් වශයෙන් KCC-MULTIPLEX සිනමා සංකීර්ණය පෙන්වාදුමට පුලුවනි.මෙරට සමාජයේ ඕනෑම තරාතිරමක ගැහැණු දරුවකුට එහි තනියෙන් ගොස් තමුන් කැමති චිත්‍රපටයක් නැරඹීමට හැකියාව හා වාතාවරණයක් නිර්මාණය වී ඇත්තේ ය. ඊට එහි දැඩි ආරක්ෂාව හා ඒ පිළිබඳව වගකීම වෙසෙසින්ම ඉවහල් වී ඇත. එනමුත් ඊට සාපේක්ෂව මෙරට හුදෙකලා සිනමාශාලාවකට ගොස් ගැහැණු දරුවකුට තනියෙම චිත්‍රපටයක් නැරඹීමට හැකිද යන ගැටලුව අපට මතුවේ.

මෙවන් වටපිටාවක් තුළ Complex Cinama ව තුළ සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරය අතිශයින්ම සුළුතරයක් බව පෙනේ. එම සුලුතරය බහුතරය කරගැනීමට තියා කිසියම් දුරට හෝ වර්ධනය කරගැනීමට මෙරට නූතන සිනමාකරුවන්ට හැකිවේද යන්න මට නම් ගැටලුවකි. සැබවින්ම අභියෝග ඇත්තේ මෙතැන ය.

මේ වනවිට පූර්ව කොවිඩ් සමය තුළ නිර්මාණය කරන ලද චිත්‍රපට එකින් එක පෝලිමේ ප්‍රදර්ශනය වනු ඇත. එහිලා චිත්‍රපට මණ්ඩල වූ මාෆියාව පිළිබඳව විශේෂයෙන් කතාකළ යුතු වන්නේ ය. එහි මෙරට ගරිල්ලා මාර්කටින් කරන උදවියට හැර වෙනත් නවක නිෂ්පාදකයකුට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරගැනීම මහා අභියෝගයක් වී ඇත්තේ ය. මෙහි අවසනාව කොතරම්ද යත් අවසනට ඔහුට ඉතිරිවන්නේ මුලුමහත් සිංහල සිනමාවට.පිළිබඳව මහත්වූ කලකිරීමක් පමණි. එසේම වේදනාවක් පමණි.

වර්තමානයේ මෙරට චිත්‍රපටයක් නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ සාධක දෙකක් මත බව පෙනේ. ඉන් පළමුවැන්න නම් චිත්‍රපටයක් තමුන්ගේම නිෂ්පාදනයක් ලෙස අධ්‍යක්ෂණය කිරීමයි. දෙවැන්න නම් රක්ෂණ අලෙවි නියෝජිතයකු කිනම් වර්ගයක හෝ රක්ෂණයක් අලෙවි කරවා ගැනීමට “අරක හම්බවෙනවා” -“මේක හම්බවෙනවා” යයි කප්පරක් බොරු කියමින් කුමන තරාතිරමක හෝ අයකු අන්ඳවා ගන්නා සේ මෙරට අධ්‍යක්ෂකවරයකුටද කිනම් හෝ නිෂ්පාදකයකු බොරු කප්පරයක් කියමින් අන්ඳවා ගැනීමට හැකි නම් පමණයි. මෙහි අවසන අධ්‍යක්‍ෂවරයා චිත්‍රපටය නිර්මාණය කොට තමුන්ගේ ගාස්තුව අරගෙන තම අතපිස දමාගන්නා අතර අහිංසක නිෂ්පාදකයට චිත්‍රපටය කරගහගෙන යා යුතුව ඇත්තේ ය. එසේ ගියාට කම් නැත අඩුම තරමේ චිත්‍රපටය ගිය පිරිවැයවත් ඔහුට පියවාගත හැකිනම් ? අහෝ .. බහුතර නිෂ්පාදනයන්ට ඒකත් නැත.
මෙරට ගරිල්ලා මාර්කටින් ක්‍රමයට අනුව නිෂ්පාදනයන් අල්ලාගෙන චිත්‍රපටය කරන අවසාන කාලපරිච්ඡේදය මෙය වන්නේ ය. මෙතැනින් එහා මෙරට සිනමාවේ අති දැවැන්තම කඩා වැටීමේ මූලාරම්භය සනිටුහන් වනු ඇත.

ඊළග කාරණාව වශයෙන් මා දකින්නේ මෙරට සිනමා ක්ෂේත්‍රය අපේ බූදලයක් අපෙන් පස්සේ මෙරට සිනමාවක් නැත යයි සිතමින් කුමන හෝ සාධනීය වැඩක් යමෙකු කිරීමට සැරසෙත්ද එය කඩාකප්පල් කරමින් බහිරවයන් සේ රැදී ඉන්න පිරිසක් මෙම ක්ෂේත්‍රයථ අරක්ගෙන සිටීමයි. ඔවුනට ඇත්තේ කෝකටත් තෛලය සේ අතීතයක් පමණි. වර්තමානයක් හෝ අනාගතයක් කියා ඔවුනට කිසිවක් නොමැත.එසේ සිතීමට ඔවුනට අවශ්‍යතාවයක්ද නොමැත. මොකද .. ඒ අපෙන් පසු මෙරට සිනමාව ඉවරයි යයි ඔවුන් මනෝමය වශයෙන් සිතා සිටින බැවිනි.

ඊළග කාරණාව නම් වර්ධනයේ ක්‍රියාත්මක වන චිත්‍රපටය ප්‍රදර්ශන මණ්ඩලය හා ප්‍රදර්ශන මාෆියාව යි. එය මේ වනවිට ඉතා සූක්ෂම හා පහත් ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ය. එහිලා “අපි මහා කුලකයේ සිනමාකරුවන්” යයි සිතාගෙන සිටින පිරිසක් විසින් එය ඉතා සූක්ෂම ආකාරයෙන් මෙහෙයවන බව පෙනේ. ඔවුන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය පිණිස සිනමාශාලා ඕනෑම සංඛ්‍යාවක් හිමිවන අතර අන්‍යෝන්‍යයන්ගේ චිත්‍රපට ඔවුනට අදාල නැත.

තව කාරණාවක් නම් මෑතකදී සිට මෙරට බොහෝ සිනමාකරුවන්ට හා සිනමාකරුවන් වීමට සිහින දකින උදවියට තවත් එක් අමුතු තාලේ පිස්සුවක් සෑදී ඇත්තේ ය. එනම් ඒ තම චිත්‍රපටයේ තිර රචනය ලිවීමටත් පෙර එය Netflix / Platform එක වෙනුවෙන් නිර්මාණය කීරීමට සිහින දැකීමයි ලොව චිත්‍රපටය නිර්මාණය කරන්නේ එහි ගුණාත්මක. කලාත්මක හෝ වාණිජ ප්‍රවේශය මූලික කරගෙන මිස Netflix / Platform එක වෙනුවෙන් නොවේ. එහිලා මෑතකදී සිට Netflix / Platform එක විසින් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමට ආරම්භ කර ඇත්තේ ය. ඔවුන් ද පළමුව සිතනුයේ මා පෙර කීයූ චිත්‍රපටය හෝ ටෙලිනාට්‍යයේ ගුණාත්මක හා කලාත්මක ප්‍රවේශ පිළිබඳව ය. ඒත් … අපි හරි වෙනස් ය.

Netflix / Platform වූ කලී වර්තමාන ලෝකයේ බීලියන ගණනාවක බලවත් ප්‍රේක්ෂකාගාරයකට හිමිකම් කියන අති ප්‍රබලතම Platform එකක් වන්නේ ය. මමද එහි සාඩම්බර ප්‍රේක්ෂකයකු වන්නෙමි. ඔවුන් විසින් චිත්‍රපට තෝරා ගැනීමේ දී විශේෂයෙන්ම අවධානයට ලක්කරන කොනේදිසි පනස්හතක් පමණ ඇති බව කියැවේ. එහිලා මූලිකම කොන්දේසිය වන්නේ එම චිත්‍රපටය නියෝජනය කරන රටේ ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය පිළිබඳව ය.

කිව යුත්තේ රට ද ස්ථිරසාර වැඩපිළිවෙළක්‌ ( National Plain ) නැතිවා සේම මෙරට සිනමාවට ද ස්ථිරසාර වැඩපිළිවෙළක් නැති බවයි. එනම් ඒ හැත්තෑහය වසරක පිරුනත් බිමින් නොයන ශ්‍රීලාංකේය සිනමාවේ වර්තමාන පැටිකිරිය යි.
එසේ වී නම් ශ්‍රීලාංකේය සිනමාවේ හෙටදවසේ අනාගතය කෙබඳුද?

[ මෙහි ඇතැම් ඡායාරූප “දේශීය සිනමාව” විද්‍යුත් පිටුවෙන් උපුටාගන්නා ලද බව කාරුණිකව දන්වමි. ]

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...