ඊනියා මුග්ධ දේශපාලනයේ ගොදුරක්ව අනිවාරතේ වසර 14ක්, සමාවෙයං ආරුරන්

Share post:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 14ක් සිපිරි ගෙහි ලා සිටි සිවලිංගම් අරූරන් අද (16 මැයි 2023) නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත් අඩංගුවට ගන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට තැත්කල බව පවසමින්. ඒ රංගනයෙන් අරූරන් සහෝදරයා ට සිය ජීවිතයෙන් අහිමි වූ ස්වර්ණමය කාලය වසර 14ක්. මෙය කාටනම් ප්‍රතිපූරණය කළහැකිද ? මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද?

නමුත් මේ වසර 14 කාලයේ ඔහු සම්මානලාභී නවකතාකරුවෙකු වුණා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම දමිළ භාෂීය නවකතාවට වසර දෙකක දී සම්මාන ලබන්නේ ඔහු. ඒ 2016 සහ 2022 වසර වල. සිරගතව සිටියදී ඔහු රචනා කර සාහිත්‍ය කෘති සංඛ්‍යාව 08ක්. මෙහි අමුණා ඇත්තේ ඔහු 2022 වසරේ සම්මානයට පාත්‍ර වූ ආතුරසාලෛ (ඉස්පිරිතාලය) නවකතාවේ කවරය.

මේ මොහොතේ ඊනියා මුග්ධ දේශපාලනයේ ගොදුරක්ව අනිවාරතේ වසර 14ක් සිරගතව සිටි ඔහුගෙන් දකුණේ අප සමාව ඉල්ලිය යුතුයැයි යෝජනා කරන්න කැමතියි. ඒ අනෙකක් නිසා නොව මේ මුග්ධයින් සිංහාසනාරූඪ කළේ අපම වන .බැවින්.
සමාවෙයං ආරුරන් සහෝදරයා | மன்னிக்கவும் தோழர் ஆரூரன் | Sorry comrade Aruran

කපිල එම්. ගමගේ

ආතුරසාලෙයි..!

(මගේ ආදරණීය සාහිත්‍යය නෑයා, ආරුරන්ට ආදරයෙනි)

ඇදි ඇදී ආ වසර ගනනක..
මුසුප්පු කාලය තුල..
රෝගී කෙඳිරිලි මිස

එළිමහන් කඳවුරේ
එකලාව අප ගැයූ..
වසත් ගීයක් නැත.!!

ඉබාගාතේ ඇවිද යන සඳ
පියාපත් බැඳ දමා
කූඩු කළ විහඟෙකු..
නැගූ කූජනයක
ශෝකී තානය..

අයෝමය කම්බි දැල්
කූරු අතරින්
සවනත වැකුණා
යන්තමින් මතකය..!!

ඔබ මෙන්ම.. පසිඳ සිප්සත..
රෝගී දනන් අතරෙහි
නමාගෙන හිස
ආගිය ගමන් මිස..

ඔජ වඩන්නට දිවියක්
අපට ද තිබුණේ නැත..!

රජුන් සුවපත් කරන ඔසු මිස
දනන් සුවපත් කරන ඔසුවක්..
එළිමහන් රෝහලෙක..
බෙහෙත් ගබඩාවෙක..

අහම්බෙන්වත්..
හමුවුණේ..නැත ..!

ආරුරන්, මා සොයුර ..
ගිලන් අත
සෙනෙහසින් දිගු කරමි…
ඉතින්වත් තදින් අල්ලාගන්න..
ආතුරසාලෙයි සිසාරා
ඔසු සොයා
ගමන් ඇරඹිය යුතුය..

සුහර්ෂිණී ධර්මරත්න

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...