මානව භාෂාව එහි මුල් කාලයේදි තනිකරම රූපකාත්මක යි. ඒ කියන්නෙ කාව්‍යාත්මයත් භාෂාත්මයත් එකිනෙකට සමපාතයි. අපි දැන් ඒ භාෂාවත් එක්ක ඉතිහාසයෙ ගොඩක් දුර ඇවිත් නිසා ඒ රූපක ගුණය ගෙවී ගිහින්. හරියටම කිව්වොත් අපට අමතක වෙලා. ඒ අර්ථයෙන් ගත්තහම දැන් කවියො කරන්නෙ එක්තරා විදිහකට භාෂාව එහි මුල් ස්වරූපයට සමීප කිරීමක්. ගෙවුණු භාෂාවකින් මේ වැඩේ කරන එක එච්චර ලේසි වැඩකුත් නෙමේ. වින්‍යා ජයසේකර කියන්නෙ අපට ඉන්න, ඒ වැඩේ ඉතාම බුහුටි විදිහට කරන කිවිඳියක්.
‘සරුංගල් ප්‍රේමිය’ වින්‍යාගෙ දෙවන කාව්‍ය ප්‍රයාසය. එය ඇය සතුව ඇයටම වූ කවියක් තියන බව සන් කරන කෘතියක්. වින්‍යාගෙ කවිය ඇතුළෙ මහා පරිමාණ අත්දැකීම් හමුවන්නෙ නෑ. ඒ වෙනුවට මනුෂ්‍ය ආත්මයේ සියුම් කලාප ගවේෂණය කරන කවියක් ඇය ලියමින් ඉන්නෙ. ඇය කේවල මනුෂ්‍ය හැඟීම නම් වූ අර්ථකථනමය වශයෙන් අදම්‍ය ප්‍රපංචයට රූපකමය හැඩයක් දෙන්න උත්සාහ කරනව. වින්‍යාගෙ පොත පුරා තියෙන්නෙ මේ කේවල මනුෂ්‍ය හැඟීමේ නන් විධ රූපක හැඩ.
මැටි අශ්ව තිළිණය
ඇඟට ලොකු කමිස කලිසම් අඳින
පය ලිහිල් සපත්තු ජෝඩුව
අද්දවා බිම
ඩකඩකස් නඳින් ඇවිදින
උදෑසන සුබපැතුමට
බෝතල් අඩි කණ්ණාඩිය
දබරැඟිල්ලෙන් ඔසවමින්
දත් අතර සිහින් කඩුල්ල පෙන්වා
ඇස් හීන් කර සිනාසුණ
පෙනෙන තැනක අසුනක
හැමදාම මට ලැබුණු
කෑම පැයම
හිස නූස්සා ගෙවන
මඟුල් ඇරයුම්පත
වෙවුලන ඇඟිලි තුඩින් පිළිගෙන
මඟුල් දා සෙනඟ අතරේ නොපෙනුණ
නම ලියූ සුබපැතුම් පත රැගෙන
ආලින්දයේ ටීපෝව මතට ගොඩවුණ
රෑ දිවා ඇසිපිය නොලා
මා යනෙන මඟ බලා හිඳින
මැටි අශ්ව තිළිණයකි
වරපට මා අතට දී
සෑදලය මත
මොහොතකට වඩා හිඳුවන
(පි. 13)
මැටි අශ්ව තිළිණය නම් මේ කවියෙ වස්තුවිෂය ඉතාම සාමාන්‍යයි. අප්‍රකාශිත ප්‍රේමයක් වටා මේ කව ගෙතෙන්නෙ. එහෙම දේවල් අපේ සාහිත්‍ය ඇතුළෙ ඕන තරම් ලියවිලා තියනව. හැබැයි වින්‍යා මෙතනදි ස්පර්ශ කරන්නෙ එවැනි අත්දැකීමක සිදුවීම්මය කලාපයට වඩා හැඟීමමය කලාපය. අන් කවීන්ගෙන් වින්‍යා වෙනස් වන තැන එතැන. ඇය ගොඩනගන අහිමි වීම, එහෙමත් නැත්නම් මගහැරීම පිළිබඳ රූපකය තමයි මේ වස්තුමය මැටි අශ්ව තිළිණය. ජීවිතේ ඒ නිශ්චිත මොහොතින් ඉදිරියට කතක ස්ත්‍රියට ගමන තියෙන්නෙ ඒ මැටි අශ්වයා සමග. වරපට අතට ගෙන සෑදලය මතට මොහොතකට නැගී හිඳ ඈට ඇති ගමන පිළිබඳ කිවිඳිය කිසිවක් කියනු වෙනුවට සහෘදයාව ඒ ගමන කැටුව යනව!
සරුංගල් ප්‍රේමිය ඇතුළෙ ගොඩක් වෙලාවට කිවිඳිය කරන්නෙ කවි මොහොතක් නිර්මාණය කිරීම. ඒ කවි කියවන මොහොතම තමා කවිය වෙන්නෙත්. කවිය වෙනම කියවන්නිය වෙනම තබනු වෙනුවට ඒ කවි මොහොත කියවන්නිය තුළ නිර්මාණය කරන කවියි මෙහි තියෙන්නෙ. හරියටම කිව්වොත් ඒ කවි ඒවා තුළ ජීවත් වෙන්න මිසක මේ වගේ විග්‍රහ පිණිස නෙමේ.
යට දැක්වෙන තානායම් අඳුර නම් කවිය ඒ තුළ ජීවත් වනු පිණිස මිස අන් කුමක් සඳහා ද?
හැම වීදියකම
කරදර අතුරා තිබුණු
කුඩා කඳුකර පෙදෙසක
දුම් රියෙහි මග හරස් කළ
සුළි කුණාටුවකි
පමා වූ ඒ රිය
කිසිදා නොඒ නම් සිතූ
එළිමහන් කඳවුරෙහි
ගිනිමැලය ඉදිරියේ
ඔබේ ඇස් දැල්වුණ මොහොතකි
නොසන්සුන් මනස අබියස
වැව පෙනෙන මානයේ
කුඩා තානායමක
ඉරීසියා උපදවන තරමේ
සන්සුන් බවකි
හුදකලාවේ නිරස බිඳ
නතර වීමට අවසර නොමැති
දෙපස කඳු අතරින්
ගලාබස්නා
ගැඹුර නොහදුනන හැඟුම් ගඟකි
එතැන් සිට
මුහුණක නමක මතකය ඉතිරි
විටින් විට මා වටා පැතිරි
පොකුරු පහනේ ආලෝකයෙන් පලාගිය
තානායම් අඳුරකි
(පි.37)
සෝපාකගෙ කතාව බෞද්ධ සාහිත්‍යයෙ එන පුරාණෝක්තියක්. මේ පුරාණෝක්තිය එය පැවති අර්ථ සන්දර්භයෙන් ගලෝල නූතන ප්‍රේම සන්දර්භයකට ගේන්න සියුම් පරිකල්පන ශක්තියක් තියෙන්න ඕන.
හුදකලාවෙන් විරෝධය පළ කර
උර දරා මුදා නොහෙළු
මියෑදුණ පෙම
මැදියම තෙක් හඬන
සෝපාක කෙනෙකි නුඹ
ප්‍රේමයේ මහරු පහුරෙන් වැටී
ගිලී මියගියවුන්ද ඇත
මල් තබා එළි දල්වා
සොහොන්පල්ලා තබා තනියට
වලප නික්මුණා මිස
දෙණ කර තබා ගිය අයෙකු නම් නැත
(පි. 20)
මෙහි එන පෙම්වතා කාලයත් සමඟ සාමාන්‍යකරණය වෙන්න බැරි කෙනෙක්; ‘සුගත්’කෙනෙක්. ඔහු කාලය දිගේ මියැදුණු ප්‍රේමයේ කලේබරය අරන් ඇවිදිනව. මේ අත්දැකීම මෙවන් රූපක තලයකට එසවීම තමයි කවිය වෙලා තියෙන්නෙ.
එබඳු ගොඩනැංවීම් සරුංගල් ප්‍රේමිය පුරා විසිරිලා තියනව. කවියෙන් එළියට අරන් ඒව ගැන කතා කරන එක සාධාරණ නොවුණත් මේ කෘතියේ කේන්ද්‍රීය තානයට මේ භාෂාමය එසවීම් හේතු වෙලා තියන නිසායි මතු උපුටන…
‘ඇඳ රැල්ලකින් පවා
පිළිවෙළ රකින’
‘ඉරීගිය විශ්වාසයේ ඇතිරිලි මත’
‘කලකට ඉහත පැටලුණ
විශ්වාසයේ විස කටුව’
‘රැගෙන ගිය පසු ඈ
සැඳෑ ස්කූටරය
සන්සුන්ව පිටව එමි
හෙට උදේ ඇහිඳිනා තුරු
සඟවා නොසන්සුන් බවක
කන්තෝරු යතුර’
වින්‍යා භාෂාව එක්ක කරන මේ අධිසෙල්ලම ඇතැම් වෙලාවක කියවන්නියව විඩාපත් නොකරනවත් නෙමෙයි. සංරචනමය වශයෙන් එකිනෙකට නොපෑහෙන රූපක එකම කවියක් තුළ යෙදීම, ඇතැම් රූපක කවියේ අත්දැකීම් පරිසරයට නොගැළපීම වැනි තාක්ෂණික දෝෂ වින්‍යාගෙ කවියෙ ඇතැම් තැනක හමුවෙනව.
සරුංගල් ප්‍රේමිය ජීවිතයෙ සමීප ම වළල්ල ඇතුළත දේවල් පිළිබඳ කවි එකතුවක්. අප පසුකරන විඳීම් මොහොතවල් මේ තරම් සියුම්ද කියන එක පසක් කරන කවියක් වින්‍යා ලියමින් ඉන්නව. ඒ ලිවීම් මාවත වැටිල තියෙන්නෙ ජීවිතයේ අභ්‍යන්තරයට. සමහර විට මනුෂ්‍ය හැඟීමවලට මේ වගේ රූපකමය හැඩයක් නොලැබුණා නම් ඒව මොන වගේද කියල අපට යන්තමින්වත් හිතාගන්න බැරි වෙනව. වින්‍යා අතින් එවන් කවි සරුංගල් තවත් අහසට ඇදේවි…