කවිතාව තුරුළු කරගත් කිවිඳියකගේ ආගමනය “අර්ධාංගනී”

Share post:

විචාරය කරනු පිණිස පොතපත මට නිරතුරුව ලැබෙන බව කිව යුතුය .
එසේ එවන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව හෝ අපේක්ෂාව වනුයේ තම පොතපත පිළිබඳව සාධාරණ හා අපක්ෂපාතී විචාරයක් ලියා ගැනීම බව පෙනේ.ඒ සෑම පොතක් පිළිබඳවම විචාර ලියන්නට ගියොත් මට වෙනත් වැඩක් කරන්නට කාලය නැතුව යනවා නිසැකය. එහෙයින් ඉඳහිට හෝ ඉන් පොතක් දෙකක් කියවා බලා ” හොදයි යයි ” සිතුණ පොතපතක් පිළිබඳව විචාරයක් නොවුණත් කිසියම් වූ තුලාත්මක සටහනක් තැබීමට මම කිසිවිටකත් අමතක නොකරමි.
මට සාපේක්ෂව හොදයි යයි නිගමනය කරන කිසිවක් ඔබට සාපේක්ෂව හොද නැති වීමට පුළුවනි. “හොද” යන්න ආනුභවික නොවූ ඇගයුම්ශීලි සංකල්පයක් වන හෙයින් ඒ මත පදනම්ව නිශ්චිත කිසියම් අදහස් පළ කිරීම සාර්ථක හෝ අසාර්ථක යයි යමෙකුට ඉඳුරාම කිව නොහැක.(මෙම වර්තමානයේ සාහිත්‍ය නිර්මාණකරණය සම්බන්ධයෙන් වඩාත් ගැලපෙන කාරණාවක් බව පෙනේ.)

පාසැල් සංදියේ පටන්ම මෙරට ජාතික පුවත්පත් හා වාර ප්‍රකාශනවලට තම කාව්‍යය නිර්මාණ යොමු කරමින් ද තම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් එය තවදුරටත් ඔපමට්ටම් කරගනිමින් ද පැමිණි තුෂාරී ජයසිංහ නැමති මෙම කිවිඳිය වෘත්තියෙන් පාසැල් ගුරුවරියකි. ඇයගේ කුළුදුල් කාව්‍යය සංග්‍රහය යි ‘අර්ධාංගනී” ~ 2023.
ඒ පිළිබඳව තබන විචාර සටහනයි මේ!!

කාව්‍යය සංග්‍රහය න්‍යයාත්මක කියවීම කෙබඳුද ?

“අර්ධාංගනී ” කාව්‍ය සංග්‍රහය මා නෙත ගැටුණු විගසම එම පොත පිළිබඳව කිසියම් වූ පහන් සිතුවිල්ලක් මසිතට නැගුණේ එහි වූ සෑම කාව්‍යයක්ම ඉතා නිර්ව්‍යාජ වූ බැවිනි. එහිලා බිරිඳක් , මවක් හා ගුරුමාතාවක් වශයෙන් තමා ලද විවිධ අත්දැකීම් හා සිතුවිලි තම නිර්මාණ ප්‍රකාශනය වූ කවිය තුළින් අව්‍යාජව රසික හදවත් ආමණ්ත්‍රය කොට ඔවුනට තමා අවට වූ සමාජය පිළිබඳව කිසියම් වූ සංවේදීතාවක් ලබා දීමට කිවිඳිය වෙසෙසින්ම සමත් වී ඇති බව පෙනුණි. සැබෑ කවීත්වය හා අව්‍යාජත්වය පිළිබඳව දැඩි ඌණතාවකින් පෙලෙන වර්තමාන සිංහල කවිකෙත අරබයා ගත් කල්හි එය ඉතා වැදගත් කාරණාවක් බව මට සිතේ.

රසිකයා කාව්‍ය සේවනයෙන් අත්පත් කර ගන්නා ලද වින්දනය – ආශිර්වාදය අර්ථ සම්පන්න වන්නේ එමගින් ඔහුගේ ජීවිතාවලෝකනය – සහනුභූතීක ධාරිතාව පෘථුල වන කල්හිදී ය. කවියා මවන භාව ලෝකය ස්වාත්මිකාරයෙන් ගැනීමටත් එම හාව ලෝකය සමග සහෘද්භාවයෙන් සම වැඳීමට කාව්‍ය රසිකයාට හැකිවන්නේ රසියාගේ භාව සමෘති අවදි කරලීමට ඊට ඇති ශක්තිය අනුවය . මක්නිසාදයත් ඒ භාව හා සමෘති මනුෂ්‍ය ජීවිතය සමඟ ඵෙන්ද්‍රීයව බැඳී පවතින බැවිනි. ඒවා ජීවිතයයෙන් කිසිවිටෙකත් වෙන් කළ නොහැකි ය. ඒ අනුව කාව්‍යය මගින් සිදුවන හෘද සංවාදය – භාව භාෂණය මනුෂ්‍ය ජීවිතය හා අත්‍යන්තයෙන්ම බැඳී පවතින්නාක් බව අපට තේරුම් ගැනීමට අසීරු නොවනු ඇත. එවන් ඉතා වැදගත් හෘද සංවාදයට හා භාව භාෂණයට බදුන් වන කාව්‍යයන් කීපයක්ම “අර්ධාංගනී” කාව්‍යය සංග්‍රහයට ඇතුළත් වන්නේ ය.

ඒවා අතර සිර වූ සිතුවිලි , සපත්නී , කමා කළ මැන , කුලැත්තියකගේ විලාපය , ඉඳුවර , යකඩ දෝලි, මනමේ , අරධාංගනී , ස්වර්ණමාලියගේ විමානය , ස්නේහයේ කිරුළ , ධරණි, බොරදිය , සිතතරාගේ ප්‍රේමය , රුවල , පාලම , වනස්පතිට , කුමුදුනිය මගේ, බිනරමලී , බොන්සායි ප්‍රේමය , උතුරු තරුව , අප්පච්චි, අහම්බකාරක , අසෙණි, පිටුපෑම දඩුවමකි , අසම්මත, බොහිමියානුවාගේ ප්‍රේමය , රළු වතට මුවාවී ඉකිබිඳන සිත්, අහසක් හැඬුවා,.සමුගැනීම යන කාව්‍යයන් මගේ අවධානය හා තවත් විටෙක විශේෂ අවධානය දිනාගත් කාව්‍යයන් වන්නේ ය.

මිහිරි ඇති ඔහු වයන නාදය
එහෙත් සතුටක් නෑ සිතේ
අතවැසි හිඳ කරපු හදියට
සමාවක් දෙමි මම කෙසේ
නුඹගේ ගුත්තිල අසම සම වූ
වයන පද මනරංජනේ
කොපි කරන්නට හැකිය හැමටම
එහෙත් කිසිවක් සමනොවේ
( කමා කළ මැන )

කුලගෙට ආව දවසේ සිට පිසුව බත
අදටත් පිසිනවා සතුටින් එකුල කත
මහ වැසි කුණාටුත් නියඟත් ඈ දකින
නොසැලී සිටියේ මහමේරුව සදිස කත
( අර්ධාංගනී )

අතුපතර විසිදා
සිසිල පතුරවනා
සෙවණ දී සොඳිනා
හිටියේ දිරි දෙමිනා
පය අසල හිඳිනා
මා හොදින් වැඩුණා
නුඹේ හිස සිඹිනා
සිහින පොදි ගැහුණා
වනස්පති නමිනා
විකසිතව දිලුනා
කෙලෙස මා පෙනෙනා
තණ පතට වැසුණා
( වනස්පති )

කටුමැටි බිත්තියෙන් වට වූ
අපේ ගෙපැළේ
පොල් අතු ඉරා හඳ තරු
යායම බැබළේ
දරු පැටවුන් නිතරභ
සෙනෙහස වපුළේ
රජ මාලිගාවක් මැවුණා මට
මගේ ගෙපැළේ

( ස්නේහයේ කිරුළ )

කැලෑ ගමක පිපිලා සිටි බිනරමලී
සිත්සත්තෙන් නගරයට ආ බිනරමලී
ඊයේ දිනේ මා හැඬුවූ බිනරමලී
ළමා දිනය සමරනවා බිනරමලී

බිනරමලීලා සමරන ළමා
ලොවේ
නීති රීති පොත්වල තව
ලියැවේ
ඒවා කඩන විට දෙන දඬුවම්
පිටුවේ
පොඩි මල් කැකුළු තව තව කදුළින්
නැහැවේ
( බිනරමලී )

සොඳුරු රස්තියාදුවක හිමිකරු
නැතත් හිමි කිසිවක් පියකරු
තුටින් ඉසිලී ගයන ගී සරු
සුන්දරයි හද බොහෝ ගරු සරූ
වනසතාටත් හිමිය නිවහන
අහස් වියනයී ඔබේ නිවහන
පිනි කඳුලු මල් වැසිත් දුන්නම
අව් රැසින් පිස දැමී සියොලග

( බොහිමියානුවාගේ ප්‍රේමය )

චුන්ද සූකරයෙක් ඇවිත් උඹ
යඳමින් බැඳ දැං
සින්ද සිතුවිලි බොල් අහසට යට
දැවී අළුවී නිවී .යං
මන්ද කාරණ සිතනු ලඝු කර
පෙමිත් හිමගිර වගේ නං
චන්ද කින්නර ජාතිකයේ
සිටි කිඳුරී වගේ තමයි මං
( සමුගැනීම )

විටෙක පොදු සිංහල ව්‍යවහාරයෙන් ද තවත් විටෙන ජන කවි ඇසුරෙන්ද එකිනෙකට වෙනස් අත්දැකීම් සදහා ඒවාට උචිත කාව්‍ය ආකෘති තෝරා ගනිමින්ද කිවිඳිය විසින් නිර්මිත භාෂාව කාව්‍යාත්මක ගුණයෙන් අනූන ය. පෞද්ගලික වේදිත තේමා කොටගත් කාව්‍ය නිර්මාණ බහුතරයක් මගින් කිවිඳිය පාඨකයන්ට අත්විඳීමට සලස්වා ඇති ජීවන ප්‍රවෘත්තීන් බහුතරයක වස්තු වීෂයය වනුයේ ප්‍රේමය වටා බව පෙනේ.එසේම ඒවා බහුතරයක් ප්‍රේමයේ විප්‍රලම්භය සහිත වූ රචනාද වීම විශේෂයකි.ඇතැම් කාව්‍යය මගින් ( උදා – කුලැත්තියගේ විලාපය , සුවඳ කැකුළු , කුමුදුනිය මගේ , බිනරමලී,, රළු වතට මුවාවී ඉකිබිඳන සිත, සමිදු වඩිනු මැන, නිරාගමිකයාගේ කරිඬුව ) කිවිඳිය සමාජයට වෙත හෙළන්නා වූ මානවීය දෘෂ්ටිය අතිශයින්ම වැදගත් ය. එමගින් කිවිඳිය වරෙක තම මානව දයාවේ ගුණසුවඳ ප්‍රකට කරවන අතර තවත් විටෙක කාව්‍යයක් තුළින් සංවේදී චිත්ත රූප ජනනයේ ඇති වැදගත්කම ප්‍රකට කරයි. එපමණක්ද නොව කවිය සංක්ෂිප්ත කළ මාධ්‍යයක් වීම ,නූතන තේමා සංස්පර්ශයට හෝ දාර්ශනික සංකථනයට කිසිදු බාධාවක් නොවන බව මෙමගින් කිවිඳිය විසින් මැනවින් ප්‍රකට කර ඇත්තේ ය. ස්ත්‍රී දෘෂ්ටියෙන් මිදී මෙය නුතන මෙරට මිනිසාගේ පරත්වාරෝපණය නැමති මානසික සංකීරණය ගවේශනය කිරීමට දරණ ලද කාව්‍යාත්මක වෑයමක අව්‍යාජ ථලයක් බව දැක්වීම යුක්ති – යුක්ත වන්නේ ය.

කවියකුගේ හෝ කිවිදියකගේ හෝ ප්‍රකාශනයෙහි ප්‍රබලත්වය ඔහු හෝ ඇය විසින් භාවිතා කරන කාව්‍යය භාෂාවේ අපූර්වත්වය මත රඳා පවති. තම නිර්මාණයට පාදක වන අත්දැකීම් කුමක් වුවද ,එය කවියා හෝ කිවිඳිය විසින් කාව්‍යයාත්මක ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීම සදහා භාෂාව භාවිතා කරන ආකාරයෙහි රම්‍යතාව, විශිෂ්ටත්වය අතිශයින්ම වැදගත් වන්නේ ය. ඒ අනුව ගත් කල්හි කිවිඳිය විසින් තම ” අර්ධාංගනී” තම කළුදුල් කාව්‍යය සංග්‍රහය උදෙස භාවිතා කර ඇති කාව්‍යය භාෂාව .. කාව්‍යය හා බැදී පවතින්නේ එකිනෙක ගලවා වෙන් කළ හැකි ලෙස නොවේ. මෙය , තවත් ආකාරයකින් විස්තර කලහොත් කිවිඳිය විසින් තම පරමාර්ථය ස්වකීය නිර්මාණය හා සහනුභූතිකව බැදෙන කාව්‍ය- රසිකයාගේ හදවතෙහි ගැඹුරුම තැනකට ආමණ්ත්‍රය කොට ඔහුගේ භාව ලෝකය අවදි කිරීමට තම කවිබස ඉතා සංයමයෙන් යුතුව යොදාගෙන ඇති ආකාරය වැදගත් සේම ප්‍රශංසනාත්මක වන්නේ ය.

“අර්ධාංගනී” කාව්‍යය සංග්‍රහය සමස්තයක් වශයෙන් ගත් කල්හි කුළුදුල් කිවිඳියකගේ අව්‍යාජ ප්‍රයත්නයක් බව කිවයුතු අතර එහි අතරින් – පතර ඌණතා ද ඇති බවද සදහන් කළ යුත්තේ ය. ඒ කිවිඳියගේ මතු සාර්ථකත්වයට හේතුකාරණා වනු පිණිස ය. එහිලා මා දකින ප්‍රධාන ඌණතාවය නම් කිවිඳිය විසින් කාව්‍යයන් මාතෘකා අනුව පෙළ ගැස්වීමේ දී දක්වා ඇති නොසැලකිල්ල යි .කිනම් හෝ කාව්‍යයක රිද්මයක් හෝ ගලා යෑමක් තිබිය යුතුවන්නා සේම එම කාව්‍යයන් මාතෘකා අනුව එකින් පෙළ ගැස්මෙහිලා ද රිද්මයක් තිබිය යුතු වන්නේ ය. නොඑසේනම් කාව්‍යය වින්දනය කිරීමේදී වින්දකයා වෙහෙසට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නේ ය. මෙම කාව්‍යය වින්දනය කිරීමේදී එය මා නොමඳව අත් වින්දේ ය. එය වින්දකයාගේ රසඥතාවයට බෙහෙවින් බලපාන බව කිව යුතුය.මෙම කාරණාව සම්බන්ධයෙන් ලංකාව වන් රටක එතරම් සැලකිල්ලක්
දැක්වුවද ජාත්‍යන්තර වශයෙන් නම් ඉතා අවධානයක් යොමු කරන කාරණාවක් වන්නේ ය.

මෙහි කවරය නම් කාව්‍යය සංග්‍රහයේ වූ කාව්‍යාත්මක ගූණය පිටතට නිරාවරණය කිරීමටත් පාඨක හිත කාව්‍යය සංග්‍රහය වෙත දිනාගැනීමටත් කිසිසේත්ම උපකාරී නොවන බව කණගාටුවෙන් වුවද කිව යුතුය.එය සැලකිල්ලට ගෙන ඉදිරිදී තම කාව්‍ය නිර්මාණ සංග්‍රහයවල පිටකවර නිර්මාණය පිළිබඳව විශේෂ අවධානයක් හා සැලකිල්ලක් යොමුකරනු වටී.
මෙම කාව්‍යය සංග්‍රහය පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පොත් ව්‍යාපෘතිය යටතේ ආධාර ලද සේම පුස්තකාලය සදහා නිර්දේශිත වූවකි. එයද කාව්‍යය සංග්‍රහයේ ගුණාත්මක ප්‍රවේශය පිළිබඳව වැදගත් සහතිකයක් වනබව පෙනේ.
මා විචාර සදහා පොතපත් තෝරා ගන්නා විට එහි නිර්මාණය ප්‍රවේශය , එයින් ජනිත වන ගුණාත්මකව බව හා එහි සමාජ වටිනාකම යනාදී කරුණු කාරණා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව නොකියාම බැරිය . ඒ මා පිළිබඳව හා මගේ විචාරය පිළිබඳව විශ්වාසය තබන මෙරට සුවහස් පාඨකයකයන්ගේ ජීවිත පරිඥානයත් නිර්මාණ වේශයත් වර්ධනය කරනු පිණිසමයැ. ඒ අතින් ගත් කල්හිද “අර්ධාංගනී” කිසියම් වූ වැදගත්කම දරණ කාව්‍යය සංග්‍රහයක් බව පෙනේ.

සමාලෝචනය ———

අපූර්ව වූ සංකල්පනයෙන්ද කිසියම් වූ බුද්ධි ප්‍රභාවයෙන් ද තරමක විප්ලවවාදී දෘෂ්ටියෙන් ද නැවුම් ගෛලයකි ද එසේම කවි බසකින් ද පෝෂිත “අර්ධාංගනී” කාව්‍යය සංග්‍රහය තුළින් මෙරට වත්මන් කවිකෙතට කිසියම් වූ දුරක් යාහැකි ප්‍රතිභාපූර්ණ තුරුණු කිවිඳියකගේ ආගමනය සිදුවී ඇති බව පසක් කරමින් ද එසේම අනාගතයේ දී මෙරට කාව්‍යය රසිකයින්ගේ භාව ක්ෂේත්‍රය පුළුල් කිරීමට ඇවැසි නිර්මාණ ශක්තිය කිවිඳියට නිබඳව හිමි වේවා යයි පතමින් ද මෙම සටහනට නැවතිමේ තිත තබමි.

කාව්‍යකරණය වූ කලී මානවයා විසින් කරන ලද ආදිතම ප්‍රබන්ධකරණය බව පෙනේ. එහෙයින් මානව වංශයේ මූලාරම්භක අවදියේ දී සෑම ලේඛකයකුම කවියකු හා කිවිඳියක විය . මක්නිසාදයත් ඒ ආදිතම මානව භාෂාව හා කවිය යනු එකක්ම වූ නිසාය .ජීවිතයේ සත්‍යය හා සුන්දරත්වය අවබෝධ කර ගැනීම වූ කලී සැබවින්ම කවීත්වය ලැබීම වන්නේ ය.
පෙදෙහි රසහව්-දෙනෙතා ඉතා දුලබෝ
[ කව්සිළුමිණ ]
( කාව්‍යයෙහි රස භාව
විඳිය හැක්කා වූ අය ඉතා දුර්ලභය. )
කිවිඳිය … ඔබට සුබපැතුම් !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...