හදිසි කලබලය පිටුපස අරමුණු රැසක් : මින් පසු කොළඹ 07 මේවා බෑ – රනිල්

Share post:

මැයි 12දා සිට කොළඹ නගරයේ ආරක්ෂාව තරකෙරුණු අතර, රට පුරා අලුතින් මාර්ග බාධක රැසක් ද ස්ථාපිත කරනු ලැබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ වර්ධනය වෙමින් පවතින මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ මැඩපැවැත්වීම මාර්ග බාධක යෙදීමේ අරමුණ බවයි. එසේ ම බුද්ධි තොරතුරක් කොළඹ නගරයේ ආරක්ෂාව තරකිරීම සිදු වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම කටයුතු හෙට (15) පෙරවරු 06 දක්වා සිදුකෙරෙන බව ද ඔහු වැඩිදුරටත් අප කළ විමසීමේදී පැවසීය.

මීට අදාළ ව පසුගිය 12දා පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලුම ඉහළ පොලිස් නිලධාරීන්ට යොමුකරන ලද ලිපියක ශීර්ෂය ලෙස සඳහන් වූයේ ‘සමස්ත දිවයින ම ආවරණය වන පරිදි අපරාධ වැලැක්වීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම’ යනුවෙනි.

පොලිස්පති ලිපිය

එම ලිපියේ මෙසේ ද සඳහන් විය.

‘පසුගිය වර්ෂයේ දිවයින තුළ පැවති ආරක්ෂක තත්ත්වය හේතුකොටගෙන අපරාධ වැලැක්වීමේ මෙහෙයුම් සඳහා ප්‍රමුඛතාව ලබා දී ක්‍රියා කිරීමේ අවස්ථා අවහිර වීම හේතුවෙන් දිවයින තුළ නීති විරෝධී අවි ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අවශ්‍ය කරන සැකකරුවන් නිදැල්ලේ සැරිසැරීම හේතුකොටගෙන අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කරන්නේ පොලිසිය සහ හමුදාව එක්ව රැට පුරා මාර්ග බාධක ස්ථාපිත කර ඇති බවයි. අවශ්‍ය අවස්ථාවකදී යෙදවීම සඳහා හමුදාව සූදානම් කොට ඇති බව ද සඳහන් කරන බ්‍රිගේඩියර්වරයා, අපරාධ වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද පවසයි.

අන්තරේ ?

කොළඹ විශ්වවිද්‍යාලය අසල ආරක්ෂක භට කණ්ඩායම් රැසක් යොදවා තිබිණි. ඊට හේතුව නිශ්චිත නැතත්, පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට අදාළ තොරතුර මුලින්ම වාර්තා කර ඇත්තේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවයි. එම විශ්වවිද්‍යාලයේ කිසියම් කණ්ඩායමක් විශාල පිරිසක් රැස්කරමින් සිටින බවත්, ඊට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද සම්බන්ධ වන බවත්, ඒ වෙනුවෙන් කෑම පාර්සල් විශාල ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බවත් අදාළ තොරතුරේ සඳහන් වී ඇත.

විරෝධතා ?

එසේ ම යුද හමුදා බුද්ධි අංශය මගින් වාර්තා කර ඇතැයි පැවසෙන්නේ ඉදිරි දින කිහිපය තුළ කොළඹ නගරයේ දැවැන්ත විරෝධතා කිහිපයක් සිදු වනු ඇති බවයි.

රනිල්ගේ උපදෙස

මේ අතර හදිසියේ ආරක්ෂක අංශ යොදවා කොළඹ විශ්වවිද්‍යාලය අසල ප්‍රදේශය අවහිර කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (13) පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා ඇති බවත්, එහිදී පොලිස්පතිවරයා විසින් මෙම තොරතුර දේශබන්දු තෙන්නකෝන් මගින් පැමිණි බව සඳහන් කර ඇති බවත් වාර්තා වේ. මෙසේ හදිසියේ එම ප්‍රදේශයේ ආරක්ෂාව මේ ආකාරයට තරකිරීම තානාපති අංශවලට මෙන්ම වෙනත් රජයේ ඉහළ පෙළේ කටයුතුවලට බලපෑමක් එල්ල කර ඇතැයි ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට  පෙන්වා දී ඇති බවත්, මෙවැනි කටයුතු මින්පසු සිදු නොවිය යුතු බවට අවධාරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් බහුතරයකගේ අදහස වන්නේ මේ හරහා වෙනත් සැඟවුණු අරමුණක් ඉටුකර ගැනීමට ආණ්ඩුව උත්සාහ ගනු ඇති බවයි. එය ජනාධිපතිවරයා නොදැන සිදුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ද බහුතරයකගේ මතයයි.

වැඩමුළුව

එසේ ම නීති ආධාර කොමිෂන් සභාව මගින් ඊයේ (13) ගාල්ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධ වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිත ව තිබිණි. එහෙත් එක්වරම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුම් දී තිබුණේ බුද්ධි අංශ තොරතුරක් මත ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කටයුතු ඇති නිසා වැඩමුළුවට සහභාගි විය නොහැකි බවයි.

මේ නිසා පහළ නිලධාරීන් පිරිසක් වැඩමුළුවට සහභාගි කරවන බව ද දැනුම් දී ඇත.

මහින්ද ?

සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන ලද්දේ යම් දේශපාලන වෙනසක් සම්බන්ධයෙන් වන තීරණයක් නිසා මෙසේ හදිසියේ ආරක්ෂාව තර කරන බවකි. ඒ සම්බන්ධයෙන් සොයාබැලීමේදී දැනගැනීමට ලැබුණේ ආණ්ඩුව නියෝජනය කරන කොටසකගේ එවැනි ඉල්ලීමක් ඇතත්, එය බහුතරයකගේ ඉල්ලීම නොවන බවයි. එම කොටස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් දිගින්-දිගටම ඉල්ලා ඇත්තේ මහින්ද රාජපක්ෂ යළිත් අගමැති ධුරයට පත්කරන ලෙසයි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...