‘ලාඩං’ රටේ අමතක කර දැමුණ ජන කොට්ඨාශයක අතීත වර්තමාන පුවත විමසුමක්

Share post:

‘ලාඩං’- කමල් පී පෙර්රා
නුවරළිය-ලාංකිකයන්ගෙ විනෝද පාරාදීසය. අඩු ගානෙ හුඟක් අය එහෙම විශ්වාස කරනව. යටත්විජිත සමයෙන් පසු කාලයක් යනතුරු නුවරඑළියෙ ආගෝස්තු සංචාරක සමය හැඳින්වුවෙ බ්ලැක් සීසන් කියල. එතකොට අප්‍රියෙල් වයිට් සීසන්. දැන් දෙකම ඩාක් සීසන්. නුවරඑළිය කසල ගොඩක් බවට හැරෙන ගාබේජ් සීසන්. විශේෂයෙන්ම අප්‍රියෙල් මාසෙ. ඉස්සර නුවර යළියට පුංචි එංගලන්තෙ කියන්න අඩුම ගානෙ එහි ගොඩනැගිලි නිසාවත් පුළුවන්. ඒත් දැන් ඒ තිබ්ච්ච සුන්දරත්වයේ අවසන් ලකුණුත් මකාගෙන මෝල් ගස් වගේ අරලියා හෝටල් කීපයක් පැලවෙලා. මේ ප්‍රාග්ධනය ඉදිරියේ ඉස්සරහට එහි මෙතෙක් ජාම බේරගෙන හිටපු අයටත් කෙලවෙන්න නියමිතයි.

යටත්විජිත සමයෙදි නුවරඑළිය සැනටෝරියමක් වගේම එළවලු සහ සත්ව ගොවිපලක් බවට හරවන්න අනුපමේය මෙහෙයක් කරපු සැමුවෙල් බේකර් දඩයක්කාරයා නිසා අද නුවරඑළියට ඒ හැඩය ලැබෙන්න සැලකිය යුතු දේවල් ටිකක් වුනා. ඔහු විසින් රම්බොඩ දුර්ගය හරහා අනේක විධ වෙහෙස හා පාඩු විඳගෙන ගෙනා සතුන් සහ වගාවන් එහි ඔහුම කියන හැටියට සාරවත් කලු පසේ මුල් අදිනව. සුද්දො යද්දි අපිට වගාවන් මාර්ග සහ වෙනත් පද්ධති ගානක් එක්ක නුවරඑළියත් රටෙත් තව බොහෝ දේවල් ඉතුරු වෙනව. ඒත් එක්කම සුද්ද ගෙනාපු ගවයන් වෙනුවට අපේ දුඹුරු හම තියෙන සිවල් රැළකුත් අපට උරුම වෙනව. අද ව්‍යසනයට හේතුව සුද්දටත් වඩා සුද්දගෙන් පස්සෙ ආපු හිවල් රෑන.

සුද්දන් විසින් අරඹපු වතු වගාවත් සමග ඔවුනගේ ජීවිතවල විනෝද අවශ්‍යතා වෙනුවෙන් වෙනම යටිතල පහසුකම් නිර්මාණය වුනා. ඒ උඩරටට පමණක් විශේෂ වෙච්ච දෙයක් නෙවෙයි. කලුතර තෙබුවන කියන හරියෙ සුද්දන්ගෙ විශාල ගොල්ෆ් ක්‍රීඩාංගනයක ලකුණු අදටත් තියෙනව. නුවරඑලිය සහ කොළඹ රේස් පිටි දෙක තුරග තරග හේතුවෙන් ඉතිහාසගත වෙන්නෙත් යටත් විජිත සමයේ දෑවැද්දක් හැටියට. සුද්දන් විසින් වතු වගාවේ ශ්‍රම අවශ්‍යතා සපුරා ගන්න ගෙන එනු ලබන ඉන්දීය වතු කම්කරුවන් කියන්නෙ ලංකාවට කිසිදාක හෝ අමතක කරන්න බැරි අවමන් සහගත තුවාලයක්. මේ රටේ අනාගත ආර්ථික පදනම දමන් වහලුන් වගේ උම්බලකඩ ගස් යටත් අහුල ගන්න පුළුවන් වගේ ටොම් පචත් එක්ක අරගෙන ආපු මිනිස් කොටසක් මෙහෙදි ඉතාම නින්දිත විධිහට පාලකයන් සහ සිංහලයන් යන දෙපිරිසම අතින් අසාධාරණයට ලක් වෙනව. ඉතාම කෲර විදිහට කොටසක් මෙහෙ මුල් ඇද්දටත් පස්සෙ පලවා හැරෙනව. ඉතිරි මිනිස්සු 1990 ගණන වෙන විටත් විදුලි බුබුලක් නොදුටු ඉතාම අඩු පහසුකම් ඇති වතු වල අන්ත පීඩිත ජීවිත ගෙවනව. දෙවන පෙල පුරවැසියන් හැටියට. ඒත් අදටත් සිංහල සමාජයට මෙන්ම දේශපාලකයන්ටත් පොදුවේ මේ අසරණ ශ්‍රමික පිරිවර ගැන වගක්වත් නෑ.

කමල් පෙරේරා තමන්ගෙ නවකතාවට පාදක කරගන්නෙ මේ මහා ශ්‍රමික බලකායෙන් බිඳී ගිහින් පසුව සිංහල පිරිස් සමගත මුහු වෙමින් අද වන විට නුවරඑළියේ සංචාරකයන් පිනවන පෝනි සහ අසුන් සමග හෙට්ටු වෙන මිනිස් ජීවිත. එක් අතකින් එය පීඩිතයාගේම වෙනත් ශාඛාවක කතාව. කුදිරකාරයන් පිළිබඳ සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් කමල් සිය පරිකල්පනය මෙහෙයවීම අගය කළ යුතු කරුණක්. එක් අතකින් එය රටේ අමතක කර දැමුණ ජන කොට්ඨාශයක අතීත වර්තමාන පුවත විමසුමට ලක් කිරීමක් වගේම වඩා විමසිලිමත් පාඨකයෙකුට සිය ගවේෂණය පිණිස මාවතක්ද විවර කර දීමක්.

කමල්ගෙ කතාව මුල සිට අගට සම්බන්ධ කරන හුය වෙන්නෙ කුදිරකාර පරම්පරාවට සම්බන්ධ පීඩිතම ස්ථරයට අයිති නැති එහෙත් ප්‍රාග්ධන ආධිපත්‍ය හමුවේ පහලට වැටෙන තරුණයෙකු සහ ඔහු සමග පෙමින් බැඳෙන සිංහල තරුණියකගේ පෙම් සැරිය. එහෙත් කමල් මේ පෙම උපයෝගී කරගෙන අතීතය සහ වර්තමානය අතර සරමින් කුදිරකාර පරම්පරාව වගේම ඔවුන් සමග වෙලෙමින් වෙන් වෙමින් යන පීඩිත වතුකර දමිල ජනතාවගේ කතාවත් සිය කෘතියට අරගෙන එනවා. එදා සිට අද දක්වාම විවිධ බලවේගවල ගොදුරු බවට පත් මේ මිනිසුන් සිය දේශපාලන බලය වෙනුවෙන් පාවිච්චි කරන දේශපාලකයන් ගේ න්‍යාය පත්‍ර වලට ගොදුරු වෙන ආකාරය වගේම ඒ රැහැන් වලින් මිදී ඔවුන් නැගී සිටින්නට දරන අසාර්ථක උත්සාහයන්ද තම කෘතියට ගේනව. ඒ අතරම කමල් මේ මිනිසුන් අතරට මැදිහත් වෙන අන්තවාදී අදහස් තියෙන කණ්ඩායමක් ගැනත් ඉඟි කරනව. මට ඒ ඉඟි කිරීම නම් දැනුනෙ තමන් අද ඉන්න දේශපාලන ස්ථාවරයත් සමග වර්තමාන දේශපාලනයේ තියෙන බෙදුමක පොඩි කේන්තියක් පිරිමැහීමක් වගේ.

ලංකාව අද පසු කරමින් ඉන්නෙ තවදුරටත් අපේ පාලකයන් කියන්නෙ අපේ ඡන්දෙන් පත්වුනත් අපේ තේරීම් නෙවෙයි කියන කටුක යථාර්තය හොඳින්ම දැනෙන මොහොතක. එක් පසෙක ඉන්දු ඇමරිකා කඳවුරත් අනෙක් පස චීන රුසියා කඳවුරත් අතර අපි සැන්විච් පේස්ට් එක විතරයි. කෑ ගහන කවුරුත් මේ පාන් පෙති දෙක ගැන අවංකව කතා කරන්නෙ නෑ. කොයි පාන් පෙත්තට හරි ගෑවිලා ගොඩ යාම හැරුණ විට වෙන විකල්පයක් අපේ දේශපාලනයට ඇත්තෙ නෑ. යම් දවසක ඉන්දියාව ඇමරිකානු කඳවුරෙන් කැඩිලා චීනයට ආශක්ත වුනොත් අපිට ගන්න වෙන තීරණය කොයි වගේ වෙයිද? එදාට අද ඉන්න ඉන්දීය විරෝධීන් කොතන ඉඳියිද?

රනිල් නුවරඑළියට ගිහිල්ලා නුවරඑළියෙ ලස්සන විනාශ කරන උස මොල්ගස් ගැන විවේචනය කරනව. හැබැයි ඒවා පාලක අනුග්‍රහයෙන් ඉදි වෙනකොටත් එයා පාර්ලිමේන්තුවෙ ඉන්නව. එදා මේක නොදැක්ක එයා අද මේක දැකල පරල වෙනව. මේ සියල්ලය එකම සෙල්ලමක කොටස් විතරයි. ඒ නිසා රටක් හැටියට ගත්තත් අපි තවමත් පාලකයන් සහ ප්‍රාග්ධන හිමියන්ගේ අශ්වයන්ට ලාඩං ගහන උන් විරමයි. ඒ අර්ථයෙන් නම් කමල්ගෙ කුදිරකාරයන් සහ අපි අතර වෙනසක් නැති තරම්.

සාහිත්‍යකරුවගෙ වගකීමක් වෙන්නෙ තමන් ජීවත්වන සමාජය හෙලිදරවු කිරීම. මාරියෝ වර්ගාස් යෝසා වැනි දැවැන්ත ලේඛකයො තම කෘති හරහා තමන්ගේ කලාපය නග්න කරන ආකාරය ඉතාම ප්‍රබලයි. ඔහු ඒ සඳහා විවිධ ආකෘතීන් භාවිතා කරනව. කමල් තම කතාවෙ පරිච්ඡේද හරහා විවිධ චරිතවල කතන්දරයක් ලෙස තම කතාව ඉදිරියට පෙල ගස්වමින් කතාවේ ඒකාකාරී ගලා යාම බිඳ දමන් උත්සාහ දරනව. ඒත් අශ්වයන් සහ කුදිරකාරයන්ගේ ජීවන පුවතේ විවිධ විස්තර කථනයන් සඳහ එළඹීම මගින් ඔහුගේ කතාව කියවාගෙන යාමේ වෙහෙසකර බවක් දනවන බවත් කිව යුතුයි. ඒ නිසාම කමල් තුළ ඉන්න සංස්කාරකයට තවත් ඉස්සරහට එන්න ඉඩ දුන්න නම් වඩා හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ තමන්ගේ දේශපාලන ජීවිතය පුරාම අනුගමනය කරපු මාවත ඒ කියන්නෙ රටක් සංවර්ධනය වනුයේ ප්‍රාග්ධන හිමියන් අසීමිත ලාබ ලබද්දී උන්ගේ පිඟානෙන් වැටෙන ඉඳුලින් පීඩිතයා සැනසෙන විටය කියන ධනවාදී දැක්ම අනුව අපේ රට 2048දී ස්වර්ගය බවට පත් කරන්න හදනව. ඒ ස්වර්ගය වෙනුවෙන් තැනෙන කාපට් පාරෙදි ලංකාවෙ බොහෝ මිනිසුන්ට නරකාදිය මගදිම හමුවෙන්නට නියමිතයි. කුදිරකාර පරම්පරාව වගේම තවත් බොහෝ පාර්ශව වලට ඉදිරිය තීරණාත්මක වේවි. සාහිත්‍යකරුවෙකු හැටියට කමල් තමන් ජීවත්වන සමාජයේ අමතක කර දැමෙන ආන්තික පිරිසක් ලේඛණගත ඉතිහාසය තුළ යළිත් ස්ථාපිත කරනව. ඒ නිසාම කමල්ගෙ මැදිහත්වීම වැදගත් සාහිත මැදිහත්වීමක්.
කමල්ගෙ කතාව ඉවර වෙන්නෙ රවී සහ මහී එක් බරපතල බාධකයක් පියමං කරල අනාගතය උදෙසා අඩිතාලම දමන්නට සැරසෙන මොහොතක. කුදිරකාර රස්සාවේ ශේෂ හැටියට ඉන්න අනෙක් පීඩිතයන්ට වඩා යම් වාසියක් ඔවුන් දෙන්නට තියෙනව. ඒත් ඒ වාසිය ප්‍රාග්ධනයේ බලය හමුවේ අලගු තියන්නත් මදි. ඒ නිසාම ඉදිරිය තියෙන්නෙ සාමූහික ශක්තිය මතම පමණයි. රවී සහ මහීට පමණක් නොව අප කාටත් ඉදිරිය තියෙන්නේ සාමූහික ශක්තිය ගොඩනැංවීම තුළින්ම පමණයි.

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...