තුර්කි ජාතික ලේඛක ඔර්හන් පමුක්ගෙ ජීවිතකතාව Istanbul | Memories and The City පොතේ Deluxe Edition එකේ හැඳින්වීම විදියට ඇතුළත් වුණු ලිපිය – ‘Taking photographs in Istanbul’, ජායාරූප කලාව ගැන ලේඛකයෙක් ලිව්ව, මං කියෙව්ව ස්මරණීය ම ලිපිය වෙන්න ඕනෙ. මා ගාව තියෙන පොතේ මේ ලිපිය ඇතුළත් නොවන නිසා, අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න ගත්තෙ. පොතටත් වඩා පොතක හැඳින්වීමක් මෙහෙම හිතට වදින්නෙ කලාතුරකින්. හැඳින්වීමකින්, පෙරවදනකින් පාඨකයාව අල්ලගන්න විදිය, කාර්යය දැනගෙන භාවිතයේ යොදවන අයත් දුලබයි.
පමුක් ජායාරූප ගැනීම ගැන ලිව්ව ආත්ම කථනයක් මෙහි අඩංගුයි. හුදෙක් දත්ත හෝ න්‍යාය පද්ධතියක් ම නෙමෙයි. පොඩිකාලෙ ඉඳන් ජායාරූප කලාව ගැන ඔහු මූලික දේවල් දැන ඉගෙනගත්ත විදිය, තාත්තා කියාදුන්නු දේවල්, තමන් වැඩෙද්දි ඒවයින් ඇතැම් අදහස් පිළිනොගත්ත විදිය, ජායාරූප අනාගතයට වටින්නෙ ඇයිද කියන එක, තමන්ගේ ජීවිතේට ජායාරූප බද්ධ වුණු හැටි ගැන පමුක් මෙහි කතාකරනවා. ඒවගේ ම අතීතෙ ගත්තු පරණ සුදු කළු පින්තූර පසුකාලීනව මිනිහෙක්ට වැදගත් වෙන විදි ගැන පොතේ දෙක හෝ තුන පරිච්ඡේදවලදි සඳහන් කෙරෙනවා.
තමන්ව හෙළිදරව් වෙයි කියල ලේඛකයො සාමාන්‍යෙන් නොකියන නොලියන පොඩි පොඩි දේවල් පවා ලියන තරමට පමුක් අවංක වීම ගැන ගෞරවයක් හිතේ උපදිනවා. (මං පමුක්ගෙ කතා රටාවට වගේ ම ආත්ම කථන සහ සංවාදවලට පවා කැමති ඒ සරල සහ තොරොම්බල් නැති බවට වෙන්න ඕනෙ). ජායාරූපකයට අහුවෙන්නෙ නැති, ජීවිතේ අනෙක් පැත්ත ගැන, රියලිටිය ගැන ඔහු විවෘතව ලියනවා. ජායාරූපයකට පර්ෆෙක්ට් හිඳීම වෙනුවෙන් මිනිස්සු වෙහෙසෙන විදිය, ඒ බොහෝ අවස්ථාවලදී වර්තමානයේ ඉන්න තත්ත්වෙන් නොඉඳ අනාගතේ පිළිබිඹුවක් කරගෙන තමන් යම් දියුණු ස්වරූපයක් දරන බව පෙන්වමින් පෙනී ඉන්න බව, හිනාවෙන්න ඕනෙ නිසා පොඩිකාලෙ කැමරාවක් ඉස්සරහදි ‘චීස්’ කිව්ව විදිය, අපි අපි දිහාම බැලීම වෙනුවෙන් ද ජායාරූප ගන්නෙ වගේ දේවල් කියවන්නාව මදකට නවත්තලා හිතන්න පොළඹවන දේවල්.
එතනදි, පමුක් ලියන සමහර වාක්‍ය ජීවිතේට අපි හිතල තිබුණු දේවල් නෙමේ නේද කියල හිතෙනවා.
‘When we faced the camera, we were ‘posing’ for the future’
පමුක්ගෙ තාත්ත තමන්ට අරන් දුන්නු කැමරාවක් ගැන කියලායි මේ ලිපිය පටන්ගන්නෙ. තමන් බොහොම ළඟින් ආශ්‍රය කළ තුර්කියේ වගේ ම ලෝකයෙත් ප්‍රකට ජායාරූප ශිල්පියෙක් වුණු, Ara Güler තමන්ට අවුරුදු 40 විතර වෙද්දි තමන්ගෙත් ජායාරූපයක් ගත්තම ‘අහා ! මාත් දැන් හැබෑවට ම ලේඛකයෙක්නෙ’ කියල තමන්ට දැනුනු ප්‍රහර්ෂය ගැනත් කියලයි පමුක් ලිපිය අවසන් කරන්නෙ. මේ ලිපිය කියවල පමුක්ගේ ජායාරූප කලාව ගැනයි එයාගෙ යාලුව ගැනයි හොයන් යන්න මං පටන්ගත්තෙ පිස්සුවෙන් වගේ.
‘Ara Güler තමයි අපිට ඉස්තාන්බුල් හරියට පෙන්නුවෙ’ පමුක් කියන්නෙ කෘතවේදීව. ‘ඉස්තාන්බුල්හි ජායාරූප ශිල්පියා’, ‘ඉස්තාන්බුල්වල ඇහැ ඔහුයි’, Ara Güler ගැන ඔහු ලියන ලිපිවල සඳහන් වෙනවා. මේ දෙන්නගෙ යාලුකම ගැන පමුක් අතින් ලියවිලා තියෙන දේවල්වලින් ඔහු කෙරේ තමන්ගෙ හිතේ තිබුණු ගෞරවය වගේ ම අවංක ආදරය දෝරෙගලනවා.
ඉස්තාන්බුල්වල තමන්ගෙ නිවසෙ බැල්කනියෙ ඉඳන් පමුක් ගත්ත නගරෙ ජායාරූප 8500කින්, 500ක් පමණ ඇතුලත් කරලා Balkon නමින් ජායාරූප එකතුවක් පොතක් බවට පත් කර තිබෙනවා. ඒවගේ ම 1940-1980 අතර කාලෙදි තුර්කියෙ මිනිස් ජීවිතය ඇසුරින් Ara Güler – ඔහුගෙ යාලු ජායාරූප ශිල්පියා ගත්ත ජායාරූප එක්කරල, Istanbul නමින් කරන ජායාරූප එකතුවේ හැඳින්වීම ලියන්නෙත් පමුක්. පමුක්ගෙ ජීවිතයට තර්ජන එල්ලවෙමින් තිබුණු කාලෙදි, Ara ඔහුගෙ ආරක්ෂාව හොයාබැලූ විදියත්, ඔහු සුරක්ෂිතව සිටීම ගැන දැනගෙන හොයා ඇවිත් වැළඳගෙන, ‘එයාලට බෑ ඔයාට මුකුත් කරන්න’ කියූ විදියත් පමුක් තව සටහනකදි මතක් කරනවා. මේ දෙන්නා ජායාරූප කලාව පැත්තෙන් වගේ ම මිත්‍රත්වය පැත්තෙනුත් දෙන්නව ම පෝෂණය කරගත්ත විදිය ගැන දිගටම කියවන්න හිතෙනවා.
ලේඛක ඔර්හන් පමුක්, ජායාරූප ශිල්පී ඔර්හන් පමුක් විදියට කියවගන්න අපිට මේ සටහනින් අවස්ථාව ලැබෙනවා. ඒ අතරෙ
චිත්‍ර ශිල්පී ඔර්හන් පමුක් සහ ගෘහ නිර්මාණ ශිල්පී ඔර්හන් පමුක් කියන අයත් අහුමුළු අස්සෙ ඉන්න බව හිතේ තියාගත්තට කමක් නෑ.