කොරෝනා වසංගත තත්ත්වය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ අවස්ථාවකදී මහර බන්ධනාගාරයේදී 11 දෙනෙකු ඝාතනය වීම අපරාධයක් බවට තීන්දු කරමින් ඊට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කිරීම යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වන සටනේ තීරණාත්මක කඩඉමකි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මේ සඳහා තීරණාත්මක ලෙස මැදිහත් වී කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් එම කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල් ද සිල්වා සඳහන් කළේ මේ සටන ආරම්භ කිරීමේදී යුක්තිය පිළිබඳ දැඩි විශ්වාසයක් තිබූ බවත්, සියලුදෙනාගේ සහයෝගයෙන් එය සාර්ථක කඩඉමක් දක්වා ගෙනඒමට හැකි වූ බවත් ය. අධිකරණ තීන්දුවට ගරු කරන බව ද ඔහු පැවසීය.
පසුගිය 26දා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මීට වසර 03කට පෙර මහර බන්ධනාගාරයේදී සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මෙම සිදුවීම අපරාධයක් බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය පුද්ගලයන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් නොපෙනෙන බව ද තීන්දු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම්වරයා මෙසේ ද සඳහන් කළේය.
‘මේක කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා කළ වෙඩි තැබීමක් නම් දණහිසෙන් පහළට වෙඩි තියන්න ඕනෙ. නමුත් ගරු අධිකරණය පැහැදිලිව තීන්දු කරලා තියෙනවා, උදරයෙන් ඉහළට වෙඩි තියලා කියලා. ඒ කියන්නෙ රැඳවියන් ඝාතනය කරන්නම කරපු එකක්. රැඳවියන්ගේ පපුවට සහ ඔළුවට තමයි වෙඩි තියලා තිබුණේ.’
මෙම සමූහ ඝාතනයේදී මියගොස් තිබුණේ ඇරැව්වලගේ භාවන්ත මහින්ද, අලංකාර දේවගේ අමිත් සුබසිංහ, වැලිකල විදානෙලාගේ කවිඳු සුළක්ෂණ විතානගේ, යකුපිටියගේ රසික හර්ෂණ කාරියවසම්, මාලන් ක්‍රේග්, විතානගේ අවිශ්ක මල්ශාන්, හෙට්ටිආරච්චිගේ ලහිරු නිමන්ත, සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාර, සුදු දේවගේ ප්‍රදීප් අතුල කුමාර, ඉන්දික පුෂ්පකුමාර, සරණප්‍රිය ජයසේකර පටබැඳිගේ සුමිත් කුමාර යන පිරිස ය.
පෙති ගැන වැපිරුවේ අසත්‍යයක්
මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග සහ ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිලි කිරීම සිදු කරන ලදි.
‘මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත්, බොහෝ විට සිදුවන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවට පත්වීමයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිත වන අතර, ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිළිගැනීම්වලට අනුව නිර්දේශ කිරීම තුළින් අතිමහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග සමනය වූවා පමණක් නොව, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හේතු විය. මෙම ඖෂධ කිසිවිටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර, කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගැනේ.
නිසි ප්‍රතිකාර මගින් මානසික රෝග බොහෝ දුරට සුව කළ හැකි අතර, නැවත නැවත රෝග තත්ත්වය ඇතිවීම වැළැක්වීමටද හේතු වෙයි. ඒ සඳහා භාවිත කරන ඖෂධ මගින් කිසිම කලහකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය වන අපි යළිත් අවධාරණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්තිවලින් නොමග නොයා මානසික ගැටළු ඇති විට වහාම ප්‍රතිකාරවලට යොමුවන ලෙස ඉල්ලා සිටිමු.’
21,000 ක් මොකටද ?
ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි. සංගමය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර තිබුණේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, වර්තමානයේ කොතලාවල විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ අංශ ප්‍රධානී, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් විසින් ය. බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ මානසික ආතතියට භාවිත කරන පෙති සහ නිද්‍රාජනක පෙති රැඳවියන් විසින් ලබාගෙන ඇති බවත්, එය ඔවුන්ගේ කලහකාරිත්වයට හේතුවක් වී ඇති බවත් ය. දැනට තුවාල ලබා රෝහල්ගතව සිටින රැඳවියන් ද අදාළ පෙති ලබාගැනීම නිසා තවමත් ව්‍යාකූලත්වයෙන් හැසිරෙන බව ද කොමසාරිස්වරයා සඳහන් කර තිබිණි. මෙවැනි පෙති 21,000 ක් පමණ අදාළ ඖෂධ ගබඩාවේ තිබී ඇති බවත්, එපමණ ප්‍රමාණයක් එහි ගබඩා කර තිබුණේ ඇයි ද යන ගැටළුව මතුවන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර තිබිණි.
එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද මේ අදහස පළකර තිබූ අතර, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයකු ද සම්බන්ධ වී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. ඒ සඳහන් කර තිබුණේ මහර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න පිළිබඳව ය. සිද්ධියෙන් පසු ඔහුට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් දී තිබුණේ කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් සමග සිටි නිසා නිවසේ නිරෝධායනය වන ලෙසයි. කෙසේ වෙතත් එය වාචිකව ලබාදුන් උපදෙසකි. මේ නිසා වෛද්‍යවරයාගේ පාර්ශ්වයෙන් අමාත්‍යංශයට මේ පිළිබඳ දැනුවත් කරමින් විද්‍යුත් ලිපියක් යවා තිබේ. ඒ අතරවාරයේ ය, මේ පෙති කතාව කරළියට එන්නේ.
වැලිකඩ මෙහෙයුම මහරට !
පෙති 21,000 සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පෝස්ටුවක සඳහන් වූයේ එය මහර බන්ධනාගාරය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත ඖෂධ ප්‍රමාණයක් බවයි. එම පෝස්ටුවේ මුල් හිමිකරු ලෙස අදාළ වෛද්‍යවරයාගේ නම ද සඳහන් විය. මෙම පෙති කතාව මුලින්ම පවසන ලද්දේ විමල් වීරවංශ ඇමැතිවරයා ය. ඒ පාර්ලිමේන්තුවේදී ය. ඔහු පැවසුවේ සරප් හෙවත් රිවස් නමැති පෙති වර්ගයක් මගින් මෙවැනි තත්ත්වයක් වැලිකඩ බන්ධනාගාරයේ ද ඇතිකිරීමේ සැලැස්මක් තිබූ බවත්, බුද්ධි අංශ මගින් එය අනාවරණය කරගෙන වැළැක්වූ බවත් ය. ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකුගේ ගෝලයෙකු විසින් එය සිදු කිරීමට සැලසුම් කර තිබූ බව ද ඇමැතිවරයා එහිදී පැවසීය. කෙසේ වෙතත් මහර දී එය වළක්වා ගැනීමට නොහැකි වූ බවත්, එයත් මේ පෙති මෙහෙයුමක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
පාලනයේ වගකීම
මේ සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැනි අවස්ථාවලට මුහුණ දීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට වෙනම පුහුණුවක් ලබාදෙන බවයි. ඔවුන්ට පාලනය කළ නොහැකි අවස්ථාවකදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමේ බලය බන්ධනාගාර කොමසාරිස්වරයාට ඇති බව ද සඳහන් කළ ඔහු, මෙහිදී සාමාන්‍ය සිදුවීමක් ප්‍රචණ්ඩ වන තුරු බලාසිටීමේ තත්ත්වයක් දැකිය හැකි යැයි ද පැවසීය. බන්ධනාගාර නිලධාරීන්ට සිරකරුවන් සමග කටයුතු කරන ආකාරය, හදිසි අවස්ථාවකදී ඔවුන් පාලනය කරන ආකාරය සහ සිරකරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති බවත්, පොලිසියට හෝ විශේෂ කාර්ය බලකාය වැනි ආරක්ෂක අංශවලට එවැනි පුහුණුවක් නොමැති නිසා මෙසේ වෙඩි තැබීම් සිදු වන බවත් සඳහන් කළ හිටපු කොමසාරිස්වරයා, කොවිඩ් තත්ත්වය හමුවේ කරන ලද ඉල්ලීමක් මූලික කරගෙන ආරම්භ වූ මේ තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් යොදවා පාලනය කිරීමට හැකියාව තිබූ තත්ත්වයක් බව පෙනෙන්නට ඇතැයි ද අවධාරණය කළේය.
එසේ නම් වූයේ කුමක්ද? ආණ්ඩුවේ ඇමැතිවරයකු මෙවැනි සැලසුමක් ගැන දැනුවත් ය. අදාළ වීඩියෝ පට අනුව මුල් අවස්ථාවේදී මේ ගැටුම් පාලනයට අදාළ උපදෙස් ලැබී නැත. මේ තත්ත්වයන් නිසා බරපතළ සිදුවීමක් සිදු විය. බරපතළ අපරාධයක් සිදු විය. ඉන්පසු හදිසියේම පෙති කතාවක් කරළියට ආවේය. ඇමැතිවරයා, ඉන්පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉන්පසු බන්ධනාගාරයේ පාලන කොමසාරිස්වරයා ආදී වශයෙන් පිළිවෙළින් ආණ්ඩුව පාර්ශ්වය පෙති කතාව සමාජගත කළේය. ඉන්පසු පෙති පිළිබඳව දන්නා, විශේෂයෙන්ම මානසික ආතතියට ලබාදෙන මේ කියන ආකාරයේ පෙති පිළිබඳව දැනුම ඇති මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වේ මෙම පෙතිවලින් ආණ්ඩුව කියන ආකාරයේ ප්‍රචණ්ඩ හැසිරීමක් සිදු නොවන බවයි. නිද්‍රාවට පත්වීම හෝ මනස කලබලයකින් තොරවීම මෙමගින් සිදුවන බව ඔවුහු අවධාරණය කරති.
මහරින් ආසාදිතයන් 183 ක්
කොවිඩ් – 19 වසංගතය මෙරට ව්‍යාප්ත වූ 2020 මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා වූ පළමු අදියරේදී බන්ධනාගාර තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ අඩුවෙන් ය. නමුත් ඔක්තෝබර් මාසයේ මුල සිට වාර්තා වූ වසංගතයේ දෙවන රැල්ල තුළ බන්ධනාගාරවලට ද වෛරසය ව්‍යාප්ත විය. නොවැම්බර් 30 වැනිදා වන විට බන්ධනාගාර ආශ්‍රිතව රැඳවියන් සහ සිරකරුවන් 1,091 කට වෛරසය ආසාදනය වී තිබිණි. ඒ අතරින් 1,033 දෙනෙක් රැඳවියන් වූ අතර, 58 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් විය. සිද්ධිය වූ දිනය වන විට ඔවුන් අතරින් දෙදෙනකු මියගොස් තිබිණි. නොවැම්බර් 29 වැනිදා සිදුවීම ආරම්භ වන අවස්ථාවේ මහර බන්ධනාගාරයෙන් ආසාදිතයන් 183ක් වාර්තා වී තිබිණි.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම් පවා බන්ධනාගාර තුළ නොවීය. නිදසුනක් ලෙස බන්ධනාගාරවලට ඔරොත්තු නොදෙන තරමේ විශාල තදබදය නිසා රෝගය පාලනයකින් තොරව පැතිරී යමින් තිබිණි. අදාළ සිදුවීම ඇති වූ මහර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 1,000කට පමණි. එහෙත් සිදුවීම අවස්ථාවේ රැඳවියන් 2,300ක් පමණ එහි රඳවා තිබිණි. පොදුවේ ලංකාවේ බන්ධනාගාරගත 26,000ක් පමණ වන රැඳවියන්ගේ පොදු තත්ත්වය එයයි.
ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සමාජ දුරස්ථභාවය පවත්වාගත නොහැකිවීමට අමතරව ජලය, වැසිකිළි ආදී පහසුකම්වල ගැටළු නිසා විශේෂයෙන්ම මහර බන්ධනාාගරයේ තත්ත්වය අතිශය බරපතළ විය. රෝගය වැළඳෙන්නන් සහ රෝග ලක්ෂණ පෙන්වන්නන් අනෙකුත් අය සමග එකට රඳවා තැබීම නිසා වෛරස ව්‍යාප්තියේ අවදානම තවත් වැඩි විය. එසේම රෝගීන්ගේ ආශ්‍රිතයන්ට සහ රෝග ලක්ෂණ පෙන්වන්නන්ට පවා කොවිඩ් වෛරසය හඳුනාගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්ෂණ නොකිරීම නිසා රැඳවියන්ගේ ආතතිය වැඩිවෙමින් තිබිණි. ආහාර ලැබීම අක්‍රමවත් වීම, ආහාර ප්‍රමාණවත් නොවීම සහ ලැබෙන ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු වීම යන හේතු නිසා තත්ත්වය තවත් පීඩාකාරී වී ඇත. පවතින වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබාදිය හැකි අයට ඇප ලබාදීම සහ සිරකරුවන් සම්බන්ධයෙන් සිව්වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම්වලටද බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
සාකච්ඡා සහ ගැටුම්
මහර සිදුවීමට දින හතරකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ද, පසුව අඟුණකොළපැලැස්ස සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන්ද ඉහත තත්ත්වයන් පෙන්වාදෙමින් උද්ඝෝෂණ කිරීම ඇරඹූහ. මහර බන්ධනාගාරයේ රැඳවියන් ද එසේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ විය. ඒ නොවැම්බර් 29 වැනිදාය. රැඳවියන් පැවසූ ආකාරයට නොවැම්බර් 29 දා සවස පහට පමණ සිය ඉල්ලීම් පිළිබඳව බන්ධනාගාර පරිපාලනය සමග සාකච්ඡා කිරීමට රැඳවියන්ගේ නියෝජිත පිරිසක් ගොස් ඇත. ඔවුන් සමග සාකච්ඡා කිරීම වෙනුවට ඔවුන් දණ ගස්වා, පොලුවලින් පහර දීම නිසා කෝපයට පත් රැඳවියන් ගැටුමක් ආරම්භ කළ බව රැඳවියෝ පැවසූහ. එහිදී විශේෂ කාර්ය බලකාය පැමිණ අමානුෂික අයුරින් වෙඩි තැබූ බව ද ඔවුහු පැවසූහ. නමුත් පොලිසිය සඳහන් කළේ රැඳවියන් පිරිසක් ගැටුම අවස්ථාවේ ප්‍රධාන දොරටුවෙන් පළායෑමට පැමිණීම නිසා තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබීමට සිදු වූ බවයි.
කෙසේ හෝ මෙම සිදුවීමෙන් 11 දෙනෙකු මියගියේය. 71 දෙනෙකු බරපතල තුවාල ලබා තිබිණි. බන්ධනාගාර නිලධාරීන්ට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට පියවර ගත් බවත්, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් පහක් යෙදවීමට පියවර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පැවසීය.
එදින රාත්‍රී අටට පමණ බන්ධනාගාරය තුළ ගිනි ගැනීමක් සහ පිපිරීමක් වාර්තා විය. බන්ධනාගාර නිලධාරීන් පවසා තිබුණේ සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට, ලේඛනාගාරයට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබූ බව ය. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ හයක් යෙදවිණි. බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග රැඳවියන් පිරිසක් පළායෑමට තැත් කළ බවක් ද පොලිසිය පාර්ශ්වයෙන් පවසා තිබිණි. රෝහල්ගත කළ රැඳවියන් 71 දෙනාගෙන් 48 දෙනෙකුට කොවිඩ් වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු කර තිබූ අතර, ඒ අතරින් 26 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව නොවැම්බර් 30 පස්වරුවේ රාගම රෝහල් බලධාරීන් තහවුරු කරන ලදි. ඒ අනුව රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් රැඳවියන්ට තිබූ සැකය නිවැරදි බව තහවුරු විය.
අදිසි හස්තයක්
මේ සිදුවීම විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ පත්කොට තිබෙන අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. පසුව අජිත් රෝහණ කමිටුවෙන් ඉවත් වන බව ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණි.
2020 නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ මෙය අදිසි හස්තයකින් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් බව ය. එහෙත් බන්ධනාගාරවල පැවති සාධාරණ ප්‍රශ්න ප්‍රමාණයක් කඩිනමින් විසඳීමට රජය අසමත් වීම මෙම ගැටුමට බලපෑ බවද ඇමැතිවරිය සඳහන් කළාය.
පිටතත් නොසන්සුන්
නොවැම්බර් 30 වැනිදා පෙරවරුවේ සිට ම තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි මාධ්‍ය මගින් පැවසුණද, මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම ඇතුළු විමර්ශන නිලධාරීන්ට පවා බන්ධනාගාරයේ සියලු ස්ථානවලට යෑමට අවස්ථාව ලැබී තිබුණේ නැත. ඊට හේතු වී තිබුණේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පාර්ශ්ව පවසා තිබුණේ ඔවුන්ට බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ නොලැබුණු බවකි. එහෙත් එය අසත්‍ය බව කොමිසම පසුව තහවුරු කළේය. මේ වනවිට බන්ධනාගාර තාප්පයට පිටින් රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් රැස්ව සිටි අතර, පොලිසිය ඔවුන් වරින් වර එතැනින් ඉවත් කිරීමට කටයුතු කරන ලදි. ඔවුන්ගෙන් ඇතැමුන් පැවසුවේ තමන්ගේ පුත්‍රයා හෝ ස්වාමියාට අධිකරණයෙන් ඇප ලැබී තිබුණද, කොවිඩ් වෛරසය හඳුනාගැනීම සඳහා වන පීසීආර් පරීක්ෂණ නොකිරීම නිසා බන්ධනාගාරයෙන් එළියට ඒමට නොදෙන බවයි. තුවාල ලැබූවන් සහ මියගිය රැඳවියන් පිළිබඳ නිශ්චිත තොරතුරු ඔවුන්ට ලබානොදීම නිසා බන්ධනාගාරයෙන් පිටත තත්ත්වය නොසන්සුන් විය.
කෙසේ වෙතත් පසුදින, නොවැම්බර් 30 දා රාත්‍රී 8ට පමණද නැවත බන්ධනාගාර පරිශ්‍රයෙන් වෙඩි හඬ කිහිපයක් සමග විලාප හඬක් ඇසී තිබිණි. 2012 නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය පිළිබඳ අසා ඇති ප්‍රදේශවාසීහු සිදුවන්නේ කුමක්දැයි සිතාගත්හ. කෙසේ වෙතත් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පොලිසිය පාර්ශ්වයෙන් පැවසුවේ රැඳවියන් පිරිසක් ගේට්ටුව අසලට පැමිණීම නිසා ඔවුන් පළවා හැරීමට අහසට වෙඩි තැබූ බවයි.
කුට්ටුමනීගේ සිට මහර දක්වා
1983 ජූලි 25 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේදී කුට්ටුමනී හෙවත් සෙල්වරාජා යෝගචන්ද්‍රන් ඇතුළු සිරකරුවන් 35 දෙනෙකු අධිකරණය විසින් රාජ්‍ය ආරක්ෂාව භාරයට පත්කර තිබියදී ඝාතනය කෙරිණි. ඉන් දින දෙකකට පසු තවත් 17 දෙනෙකු එහිදී ම ඝාතනය කෙරිණි. 1997 දෙසැම්බර් 12 වැනිදා කළුතර බන්ධනාගාරයේදී රැඳවියන් තිදෙනෙකු, 2000 ඔක්තෝබර් 25 වැනිදා ගලෙන්බිඳුණුවැව පුනරුත්ථාන මධ්‍යස්ථානයේදී රැඳවියන් 28 දෙනෙකු, 2012 නොවැම්බර් 09 සහ 10 දෙදින රැඳවියන් 27 දෙනෙකුද ඇතුළුව අවස්ථා ගණනාවකදී රාජ්‍ය ආරක්ෂාව භාරයට පත්කර සිටි රැඳවියන් ඝාතනය වූ අතර, මහර බන්ධනාගාරයේ සිදුවීම ද එහි තවත් දිගුවකි. ඉහත සියලු සිදුවීම්වලට අදාළව විධිමත් විමර්ශනයකින් පසු චූදිතයන්ට දඬුවම් ලබාදීමක් සිදු නොවීය. ගලෙන්බිඳුණුවැව සිදුවීමේදී පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබුණද, පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි.
කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරය ඇතුළේ සිටින්නන් මරා දැමිය යුතු යැයි කියන, මේ මරාදැමීම් නිවැරදි යැයි කියන, ඔවුන්ගේ මව්පියන් පවා වරදකරුවන් කරන්නට සූදානම් සමාජයක, පක්ෂපාතී නොවන මනසකින් මහර බන්ධනාගාරයේ සිදුවීම විග්‍රහ කරගැනීම ඔබේ වගකීමකි. කවර තත්ත්වයක් යටතේ වුවද කිසිවකු ඝාතනය කරන්නට කිසිවකුට අයිතියක් නැත. රාජ්‍යයට එහිදී ඇත්තේ අතිශය බරපතළ වගකීමකි. සියල්ලන්ට එක සමාන නීතියක් සහිත, නිදහස් රටක් වෙත යෑමට මේ අපරාධ රාජ්‍යයේ තවත් සැතපුම් කණු කීයක් පසුකරන්නට සිදුවේද?