ගැහුවොත් කවි පොතක් හෙම අපටත් ජොලිය, ලිව්වා වගේ අම්මා සහ සඳ එළිය

Share post:

ලියලා “වැස්ස ඇය සහ මම” නමින් කව
තිබුණා එකව අග එය හඳයගේ බව
ප්‍රතිචාරයට ටික දවසක් පමා වුව
තොස පළ කරමි ඒකට කල් නොගෙන තව

ලද ඉසිඹුවෙන් පසුවෙන මෙම කල ගෙතුළ
කණිමුද හෙමි හෙමින් හදවත කවි පතුල
තව තව දකින්නට කවියෙකුගේ ඇතුළ
එක්ස්පීරියන්ස් ටික දිග අරිමුද පෘතුල

මතකයි හදා පෙන්නූ ටෙලියෙන් ටෙලිය
ඊටත් හපන් ඩ්‍රාමා තුළ කළ කෙලිය
ගැහුවොත් කවි පොතක් හෙම අපටත් ජොලිය
ලිව්වා වගේ අම්මා සහ සඳ එළිය

කවියයි උඹයි අතරෙහි ඇති පෙමට මිත
තව එක උදාහරණයකුත් ළගම ඇත
පෙන්නා කොච්චරද ඒ පිළිබඳව හිත
ආවේ නෙරූඩා සමගින් තිරය වෙත

ඉන්නේ බලන් උඹෙ කවි රුව ගුණ දෙසය
ඇරයුම තව තවත් එහි ගැවසෙන ලෙසය
යනවා නම් ඇවිද හොයමින් කවි රසය
දෙන්නේ නොපැකිලව උඹ හට උරහිසය

ප්‍රියන්ත කොඩිප්පිලි

වැස්ස, ඇය සහ මම

මං බලා සිටියා
වැහි බීරුම මැදින්
ඔබ එනතුරු
සුකුමල හිනාව රැගෙන
පෙර දා වාගේ

වැහි මීදුම අතරේ
මතු වෙවී දිය වෙවී
ඔබ එනවා
හෙමි හෙමින් පා තියන්
මඩ වතුරේ

වැහි බිංදු පා කරන
සුළං රැලි වලට බෑ
කියඹු වැල් ගලවන්න
කොපුල් මත
රටාවට ඉරි ඇන්ද

වීදුරුව අස්සෙන්
යාන්තං මං දැක්කේ
ඔබේ ඇස් වල කඳුළු
වැහි බිංදු වාගේම
දිළිසෙනා අපූරුව

‘ඇයි ඔයා අඬන්නේ?’
මා ඔබෙන් ඇසුවාට
වැහි වළාකුලු පාට
කොට ගවුමේ රැලි හදන්
කාර් එකට ගොඩ වුණා.
විතරමයි ඔබ

කල්පයක් තරම් දිග
තත්පර ගෙවී ගියා
අප අතර වචනයකුදු
නොදොඩාම,
ඔබ ඉවත බලාගෙන
කාර් එකේ ජනේලෙන්

මට පුරුදු මුණිවත ම
රකිද්දී සීරුවෙන්
පොද වැස්ස නැවතුනා
අහස පැහැබර වුණා.
මදෙස හොරැහින් බලා,
නෙතු අගින් ඔබ,
ඉඟි කලා

වැහි වට බිම
තෙත බරයි තවම
කඳුළු දෙකොපුලේ
දිලිසෙමින් තාමත්
ඔබ සිනාසෙනු දකින
මා දෙනෙත්
තෙත් වෙන්නේ
කුමකටද මට සිතෙයි!

London Kavi

අශෝක හඳගම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...