ලියලා “වැස්ස ඇය සහ මම” නමින් කව
තිබුණා එකව අග එය හඳයගේ බව
ප්‍රතිචාරයට ටික දවසක් පමා වුව
තොස පළ කරමි ඒකට කල් නොගෙන තව
ලද ඉසිඹුවෙන් පසුවෙන මෙම කල ගෙතුළ
කණිමුද හෙමි හෙමින් හදවත කවි පතුල
තව තව දකින්නට කවියෙකුගේ ඇතුළ
එක්ස්පීරියන්ස් ටික දිග අරිමුද පෘතුල
මතකයි හදා පෙන්නූ ටෙලියෙන් ටෙලිය
ඊටත් හපන් ඩ්‍රාමා තුළ කළ කෙලිය
ගැහුවොත් කවි පොතක් හෙම අපටත් ජොලිය
ලිව්වා වගේ අම්මා සහ සඳ එළිය
කවියයි උඹයි අතරෙහි ඇති පෙමට මිත
තව එක උදාහරණයකුත් ළගම ඇත
පෙන්නා කොච්චරද ඒ පිළිබඳව හිත
ආවේ නෙරූඩා සමගින් තිරය වෙත
ඉන්නේ බලන් උඹෙ කවි රුව ගුණ දෙසය
ඇරයුම තව තවත් එහි ගැවසෙන ලෙසය
යනවා නම් ඇවිද හොයමින් කවි රසය
දෙන්නේ නොපැකිලව උඹ හට උරහිසය
ප්‍රියන්ත කොඩිප්පිලි
වැස්ස, ඇය සහ මම
මං බලා සිටියා
වැහි බීරුම මැදින්
ඔබ එනතුරු
සුකුමල හිනාව රැගෙන
පෙර දා වාගේ
වැහි මීදුම අතරේ
මතු වෙවී දිය වෙවී
ඔබ එනවා
හෙමි හෙමින් පා තියන්
මඩ වතුරේ
වැහි බිංදු පා කරන
සුළං රැලි වලට බෑ
කියඹු වැල් ගලවන්න
කොපුල් මත
රටාවට ඉරි ඇන්ද
වීදුරුව අස්සෙන්
යාන්තං මං දැක්කේ
ඔබේ ඇස් වල කඳුළු
වැහි බිංදු වාගේම
දිළිසෙනා අපූරුව
‘ඇයි ඔයා අඬන්නේ?’
මා ඔබෙන් ඇසුවාට
වැහි වළාකුලු පාට
කොට ගවුමේ රැලි හදන්
කාර් එකට ගොඩ වුණා.
විතරමයි ඔබ
කල්පයක් තරම් දිග
තත්පර ගෙවී ගියා
අප අතර වචනයකුදු
නොදොඩාම,
ඔබ ඉවත බලාගෙන
කාර් එකේ ජනේලෙන්
මට පුරුදු මුණිවත ම
රකිද්දී සීරුවෙන්
පොද වැස්ස නැවතුනා
අහස පැහැබර වුණා.
මදෙස හොරැහින් බලා,
නෙතු අගින් ඔබ,
ඉඟි කලා
වැහි වට බිම
තෙත බරයි තවම
කඳුළු දෙකොපුලේ
දිලිසෙමින් තාමත්
ඔබ සිනාසෙනු දකින
මා දෙනෙත්
තෙත් වෙන්නේ
කුමකටද මට සිතෙයි!